ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘන්වහන්සේලා සැමරීමේ මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 08දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. අමරපුර මහා නිකායට අයත් පාර්ශවයන්හි මහ නායක, අනුනානයක ස්වාමීන්වහන්සේලා, ලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ පින්වතුන්, ශ්‍රී ලංකාවේ බුරුම සහ තායිලන්ත තානාපතිවරුන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වූහ.
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය වර්තමානයේ හොබවති. අමරපුර මහා නිකාය උප පාර්ශ්වයන් 22කින් සහ විහාරස්ථාන 3351කින් යුක්තය. විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය යටතේ පාලනය වෙයි. අමරපුර නිකායට අයත් එම සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කර ශ්‍රී ලංකා අමරපුර නිකායේ විහාරස්ථාන නාමවලිය ග්රන්ථයක් ලෙසින් උරුමයක උල්පත පදනම මෙම සැමරුම් උළෙලේදී එළිදැක්විය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ චරිතාපදානය ඇතුළත් කෘතියක් ද මීට සමගාමීව එළිදැක්විණි. මෙම ග්රන්ථ එළිදැක්වීමට සහ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමට ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ දායකත්වය ලබාදෙන ලදී.
විවිධ යුගයන්හි පැමිණි අභියෝග හමුවේ වූ බාධක වලට මුහුණ දෙමින් මහ සංඝරත්නය නිර්මල බුදු දහමත් සඟ සසුනත් සුරැකූහ. වර්ෂ 1753 දී සියමෙන් මෙරටට රැගෙන ආ උපසම්පදාව සීමාවන් පනවමින් සමස්ත ශාසනයට නොලැබීම හේතුවෙන් වර්ෂ 1978 දී වැලිතර මහාකරාවේ ඥාණවිමලතිස්ස හිමියෝ දැඩි පරිශ්‍රමයක් දරමින් බුරුම දේශයට වැඩම කොට අමරපුරයේදී උපසම්පදාවට පත්ව එම උපසම්පදාව රැගෙන ආ සේක.
එසේ පැමිණ වර්ෂ 1803 දී බලපිටි මෝදර මාඳු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේදී භික්ෂු සංඝයාට පැවිදි උපසම්පදාව ලබාදීමට කටයුතු කළහ. මෙරට සඟ සසුනටත් සම්බුද්ධ දේශනාවටත් අපරමිත මෙහෙරක් සිදුකරන අමරපුර මහා නිකාය එසේ ස්ථාපිත කෙරිණි.
වර්ෂ 1956 දී අමරපුර මහා සංඝ සභාව ආරම්භ වෙයි. ඒ සඳහා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී, අතිපූජ්‍ය වලගෙදර සෝමලෝක තිස්ස, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවංශ, අතිපූජ්‍ය පින්වත්තේ දේවානන්ද, අතිපූජ්‍ය බේරුවල සිරිනිවාස, අග්ගමහා පණ්ඩිත දවුල්ධෙන ඥාණෙස්වර, අතිපූජ්‍ය වැලිගම ඥාණරතන යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කටයුතු කළහ.
අමරපුර නිකාය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් සසුන් කෙත බැබැලවීමට අතිපූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත වාදීහ සිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, රාජගුරු ශ්‍රී සුභූති විදුරුපොළ පියතිස්ස වැනි මහා යථිවරායණන් වහන්සේලා කටයුතු කළ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.