මෙවර ශ්‍රීපාද සමයේදී ප්ලාස්ටික් බෝතල් ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් එම භූමියට මුදාහැර තිබෙන බවට වාර්තාවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
පරිසරයට මුදාහැර ඇති ප්ලාස්ටික් බෝතල්වලින් වැඩි ප්‍රමාණයක් ජල බෝතල් බවට තහවුරු වී තිබෙන බවත්, මීට අමතරව පොල්තෙල් හා වෙනත් පාන වර්ග ගෙනගිය බෝතල්ද තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
පරිසරයට ආදරය කරන කණ්ඩායම් විසින් හිස් ප්ලාස්ටික් බෝතල්වලින් හා පොලිතින්වලින් කොටසක් ඉවත් කර තිබුණද, සැලකිය යුතු ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණයක් තවමත් ශ්‍රීපාදස්ථාන භූමියේ පහළ කොටස්වල තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එබැවින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රීපාදය වන්දනාමාන කිරීමට යන සෑම කෙනෙකුම තමන් රැගෙන යන ප්ලාස්ටික් හා පොලිතින් නැවත රැගෙන යන ලෙසත්, ඒවා බැහැර කිරීමේදී අදාළ ස්ථානවලට පමණක් බැහැර කරන ලෙසත් ඉල්ලා සිටින බවද විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මෙවරපොහොය දිනයෙන් පසු ශ්‍රීපාද සමය අවසන් වන බැවින් ඉදිරි දිනවල මාර්ග දෙපස හා ඉඳිකටුපාන, මහගිරිදඹය යන ප්‍ර‘දේශවලට බැහැරකරන ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීමට කිසිවෙකු නොමැති බවද ඒ මහතා පවසා සිටියේය.
ඇතැම් පිරිස් ප්ලාස්ටික් බෝතල් දෙක තුනක ජලය පුරාවාගෙන යන බවත්, ඉන් බොහෝ බෝතල් ප්‍රමාණයක් හිස් වූ පසු පහළට මුදාහරින බවට තහවුරුවී තිබෙන බවත් පැවසූ හේමන්ත විතානගේ මහතා, එලෙස පහළ කොටසට මුදාහරින කිසිදු බෝතලයක් හෝ පොලිතින් කවරයක් ගැනීමට නොහැකි බවද සඳහන් කළේය.
එබැවින් මින් ඉදිරියට මෙම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු පවසා සිටියේය.