මාවනැල්ල, දොඩන්තලේ, ඓතිහාසික ශ්‍රී සෙනෙවිරත්නාරාම උපෝසථ රජමහා විහාරයේ පෞරාණික සංඝාවාස ගොඩනැගිල්ලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු වසර 02ක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව විහාරස්ථ දායක දායිකාවෝ පවසති.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද මංසන්ධියේ ඇති ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති දාස්වත්ත මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ පසුකල විට දොඩන්තලේ අම්බලම හමුවේ. එතැනින් දකුණට ඇදී යන මාර්ගය දිගේ කිලෝමීටරයක් පමණ පසුකළ තැන කුඹුරුයායක් ඉස්මත්තේ ඓතිහාසික ශ්‍රී සෙනෙවිරත්නාරාම උපෝසථ රජමහා විහාරය හමුවේ.
මෙම රජමහා විහාරය ඉදිකර ඇත්තේ සිංහල රාජධානියේ අවසාන මහා අධිකාරම්ව සිටි (1778-1815) මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් හේරත් නිලමේතුමන් විසිනි. පසුව මෙම විහාරය ශ්‍රී සෙනෙවිරත්නාරාම උපෝසථ රජමහා විහාරය ලෙස නම් කර තිබේ. මෙම විහාරය ඉදිකරනවාත් සමගම අටුවක් සහිත කාමර 08කින් යුත් මැද මිදුලක් සහිත ගොඩනැගිල්ලක් ඉදි කර තිබේ.
පසුව භික්ෂු සමාජය ආරම්භ කිරීමත් සමග එදා සිට අද දක්වා මෙම ගොඩනැගිල්ල සංඝයා වහන්සේලා විසින් පරිහරණය කිරීමට පටන් ගෙන තිබේ. වසර 220ක් පමණ පැරණි මෙම සංඝාවාස ගොඩනැගිල්ල 1978 නොවැම්බර් මස 18 වැනි දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්රකාශිතව ඇත.
මෙම සංඝාවාස ගොඩනැගිල්ලේ වර්තමානයේ සියලුම බිත්ති ගරා වැටීමට ලක්වී ඇති අතර, උළුවහු, ජනෙල්, වහලේ සවිකර ඇති රීප්ප, පරාල කාලයක සිට දිරාපත්වී යමින් පැවැති යුගයක පසුගිය රජයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික උරුමයන් පිළිබඳ හිටපු අමාත්‍ය ජගත් බාලසූරිය මහතා විසින් සිය ප්‍රතිපාදන යටතේ 2019 වසරේ මෙම සංඝාවාස ගොඩනැගිල්ල අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට රුපියල් මිලියන 05ක මුදලක් වෙන් කරදී තිබුණි. පසුව 2015 වර්ෂයේ සංඝාවාස ගොඩනැගිල්ලේ වහල අලුත් වැඩියා කිරීමේ අරමුණින් සංඝාවාස ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි තාවකාලික මඩුවක් ඉදිකර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසර කිහිපයකට පෙර ආරම්භ කළ සංවර්ධන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇති බවත්, වරින්වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ආපසු යන බවත් වර්තමාන විහාරාධිකාරී පූජ්‍ය හේනානිගල විපුලසාර ස්වාමීන් වහන්සේ පැවසූහ.
මෙම විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය හුණුගල් කඩුල්ලේ විපස්සී ස්වාමීන් වහන්සේ පසුගිය ජූනි 27දා අපවත් වීමත් සමගම දැනට උන්වහන්සේගේ ශිෂ්‍ය දෙනමක් වන පූජ්‍ය හේනානිගල විපුලසාර හා පූජ්‍ය හේනානිගල විමලඥාන පොඩි ස්වාමීන් වහන්සේලා දෙනම මෙම ඓතිහාසික විහාරස්ථානයත්, සංඝාවාස ගොඩනැගිල්ලත් රැකබලා ගනිමින් සිය දායක දායිකාවන්ගේ ආගමික හා සාමාජික කටයුතුද හැකි අයුරින් නොපිරිහෙලා ඉටු කරමින් වැඩ වාසය කරමින් සිටිති.
පූජ්‍ය හේනානිගල විපුලසාර ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ මෙසේ පැවසූහ.
මෙම සංඝාවාස ගොඩනැගිල්ල ලංකාවේ දැනට තිබෙන පෞරාණික ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ලේ සියලුම බිත්ති, ඇතුළත ඇති අටුව සම්පූර්ණයෙන් දිරා යෑමත් සමගම සංවර්ධන කටයුතු ආරම්භ කළා. සංවර්ධන කටයුතු ආරම්භ කළත් වසර කිහිපයක සිට එය සම්පූර්ණයෙන් නැවතී ගොස් තිබෙනවා. වරින් වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ බලා යනවා. මෙම ඓතිහාසික සංඝාවාස ගොඩනැගිල්ල බෞද්ධ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මනින් අලුත්වැඩියා කර අනාගතයේදී බිහිවන දූ දරුවන්ට ආරක්ෂා කරදීම මගේ බලාපොරොත්තුවයි
කෑගල්ල - චමින්ද ජයලත්