තිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන හා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වය මත සංඝාවාසයක් සහ ධර්ම ශාලාවක් සහිත මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු විහාරාධිපති ශාස්ත්‍රපති පාතකඩ විමලඤාන ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මත සිදු කෙරුණි.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා,
“අද ඉදිකිරීම් සඳහා මුල්ගල් තබන මෙම විහාරස්ථානයේදී අනාගතයේ දෙමළෙන් බණ අහන්න දෙමළ අය මහණ කරන්න හැකියාවක් ලැබෙන ස්ථානයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ස්ථානය පදනම් කරගෙන බෙදීම් ඇති කරන්න, ආගම් අතර භේද ඇති කරන්න කටයුතු නොකරන තැනක් බවට පත්වේවා යැයිද මම ප්‍රාර්ථනා කරනවා. එසේම මෙම ස්ථානය මනුෂ්‍යත්වයේ හා සංහිඳියාවේ මූල කඳවුරක් වේවා යයිද මම ප්‍රාර්ථනා කරනවා
බුදුන් වහන්සේට පුළුවන් වුණා නම් ජාති, කුල, මල, භේදවලින් තොරව කටයුතු කරන්න, ඒ ආගමේ අනුගාමිකයන් වන අපටද සියලූම භේදවලින් තොරව කටයුතු කළ හැකි විය යුතුයි.
1954 පස් වැනි මස 17 වැනි දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තතෙන් මෙම විහාරස්ථානයේ පුණ්‍යෝත්සවයක් සංවිධානය කර තිබූ බවට අදාළ දැන්වීමක් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන්වහන්සේ විසින් මාවෙත ඉදිරිපත් කර තිබෙනවා. එසේම 1946 දෙසැම්බර් 18 වන දින ලියාපදිංචි කර ඇති මෙම විහාරස්ථානයේ ඔප්පුව සහිත ලිපි ලේඛණ පවා උන්වහන්සේ මා වෙත ඉදිරිපත් කළා.
ඒ නිසා මා මෙහිදී පැහැදිලිවම සඳහන් කරනවා මෙම විහාරස්ථානයේ අලුතින් ඉදිකිරීමක් හෝ ඉඩම් අලුතින් ලබාදීමක් හෝ නොවන බවට. මෙම විහාරස්ථානයට ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. මෙම විහාරස්ථානයට අදාළ ඉතිහාසගත තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එම සියලුම ලිපි ලේඛණ පිළිගත් නිසා තමයි යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා මෙම විහාරස්ථානයට අදාළව නව ඉදිකිරීම් සඳහා බලපත්‍රය හා අවසර පත්‍රය ලබාදී තිබෙන්නේ.
මෙම විහාරස්ථානයේ මුල් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩසිටි කළුතර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ අත්අකුරින් විහාරස්ථානයට අදාළව ඉදිරිපත් කළ ලිපි ලේඛණ පවා මා දැක තිබෙනවා. එමනිසා මෙම විහාරස්ථානයේ වර්තමාන ඉදිකිරීම් සැබවින්ම ඓතිහාසික පැරණි විහාරස්ථානයක් සංවර්ධනය කිරීම බව මෙහිදී මා අවසන් වශයෙන් සඳහන් කරනවා.”