පොසොන් පුරපසළොස්වක පොහොය සිහිපත් වන විට අපගේ සිතට නැගෙන්නේ මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි. ඒ අසිරිමත් සම්ප්‍රාප්තිය වූ මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතික හා ආගමික අංශයන්හි නව පරිවර්තනයක් හා සුවිශේෂී සන්ධිස්ථානයක් උදාකිරීමට සමත් විය.
මහින්දාගමනය සිදුවන විට යක්ෂ, නාග, දේව ආදී ගෝත්‍ර මෙරට ජීවත් වූ බව වංශ කතාවේ සඳහන් වේ. ඒ අනුව ප්රාග් බෞද්ධ සමයේ විධිමත් ආගමක් නොවූ අතර, ඇදහිලි සමූහයක් පමණක් පැවති බව හඳුනාගත හැකි වේ. මෙලෙස පැවති කිසිදු ඇදහිලි ක්‍රමයක් මගින් මිනිස් ජීවිතයේ හරය මෙන්ම මිනිස් ජීවිතය අර්ථවත් ලෙස ගත කළයුතු පිළිවෙළ ලක්වැසියන්ට ඉගෙනීමට තරම් ප්‍රබල මට්ටමක නොවීය. එසේ පැවති ඇදහිලි ක්‍රම තුළ දියණු මට්ටමේ සන්නිවේදන ක්‍රමයක් අඩංගු නොවීය. මෙබඳු ආකාරයේ පරිසරයක් තුළ ජනතාවද තමාට රිසි සේ විවිධ ඇදහිලි ක්‍රම අනුගමනය කරන්නට ඇත. පාලන තන්ත්රයේ සිටි රජවරුන්ද සෑම ආගමික විශ්වාසයක්ම එක හා සමානව සලකා ඇත.
මෙවැනි වකවානුවක් තුළ දේවනාම්පියතිස්ස රජු සමයේ මිහිඳු මාහිමියෝ ඇතුළු පිරිස ලංකාද්වීපයට බුදුදහම හඳුන්වා දුන්හ. එසේ හඳුන්වාදුන් බුදුදහම රාජානුග්‍රහය මත රාජ්‍ය ආගම බවට පත් විය. එකම රජෙකුගේ පාලන තන්ත්රයක් යටතේ බුදුදහම හඳුන්වා දීමත් සමග එය රාජ්‍ය ආගමක් බවට පත් වීම දේශීය සංස්කෘතියේ නව යුගයක් උදාකිරීමට සමත් විය. රජතුමා හා ප්‍රභූ පිරිස බෞද්ධ ශ්‍රාවකයන් වීම හේතුකොට ගෙන මහජනතාවද ඒ මග අනුගමනය කිරීමට කටයුතු කළහ. රාජනුග්‍රහය මත බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වූ අතර, එය බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු විය.
ඒ අනුව ධර්ම දේශනා පැවැත්වීම මුල්කොට ගනිමින් මිහිඳු මාහිමියෝ මිනිසුන් තුළ විශාල ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීමට කටයුතු කළහ. එහි පළමුවැනි දේශනය වූයේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. එහි අරමුණ වූයේ බුදුදහම වටහා ගැනීමට තරම් දියුණු තාර්කානුකූල බුද්ධියක් ඇති රජුට ත්‍රිවිධරත්නය පිළිබඳ මූලික අවබෝධයත්, චතුරාර්ය සත්‍ය හා බුදුදහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව මනා අවබෝධයත් ලබාදීමයි.
මිහිඳු මාහිමියන්ගේ දේශනා මගින් අද දක්වා පවතින බෞද්ධ චින්තනයේ අනන්‍ය ලක්ෂණයන් වන පාපයට බිය වීම හා පාපයට ලැජ්ජා වීමත් පිනට දහමට ළැදිකමක් වර්ධනය කරවීමත් අරමුණු විය. දේවදූත සුත්‍රය, අග්ගිඛන්දෝපම සූත්‍රය හා බාලපණ්ඩිත සූත්‍රය ආදී දේශනාවන් මගින් ජීවිත යාථාර්ථයත්, සසරේ අනියත බව හා භයානක බවත් පෙන්වා දීම මගින් සසරින් මිදීම පිළිබඳව අවබෝධයක් ලබාදීමත් අරමුණු විය.
මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දුන් බුදුදහම අරිට්ඨ කුමරු පැවිදි උපසම්පදා වීමත් සමග ශ්‍රී ලංකාද්වීපයෙහි මුල්බැස ගත්තේය. ඒ සමග සඟ සසුන ඇති විය. මහමෙව්නා උයන පූජා කිරීමෙන් අනතුරුව ප්‍රධාන නගරය ඇතුළත් වන සේ එහි සීමා මායිම් පිහිටුවීම සම්බුද්ධ ශාසනය ශ්‍රී ලාංකිකයන්ගේ දේශීය උරුමයක් බවට පත්කිරීම සඳහා මිහිඳු හිමියන් විසින් ගන්නා ලද ධූරදර්ශී ප්රයත්නයකි. අනතුරුව ලක්දිව පුරා ධර්මය බෙදාහරින ප්‍රධාන මධ්‍යස්ථානය මහා විහාරය විය.
ප්රාග් ඇදහිලි ක්‍රමවලට වඩා බුදුදහම මිනිස් ජීවිතයේ සෑම පැතිකඩක්ම විනිවිද දැකිය හැකි ආකාරයේ හරවත් ඉගැන්වීම්වලින් යුක්ත වූවක් විය. දාර්ශනික පදනමකින් යුක්ත වූවක් වූ මෙහි උසස් බුද්ධිමතුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද එක ලෙස ගැළපෙන පරිදි සරල අයුරින් සකස් වූ ධර්ම කොටස් ඇතුළත් විය. මෙහි අදහස් ලාංකිකයන්ට බෙහෙවින්ම ගැළපීම හේතුකොට ගෙන ජනතාව අතරට ගිය නව දහම සංවිධානාත්මක ලෙස ප්‍රචලිත වීමද සිදුවිය.
සමාජයේ මිනිසුන් ජීවත් වීමේදී මිනිසුන් සමග සිරිත්විරිත් ගොඩනගා ගත යුතු ආකාරය, මිනිසා පමණක් නොව සතුන් මෙන්ම ගස් කොළන් ආදී ස්වභාවධර්මය කෙරෙහිද සමාජ ධර්මතා හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳවද මග කියාදුනි. පවුල් ජීවිතය, අඹුසැමි සම්බන්ධතා, සමාජ යුතුකම් හා වගකීම් ආදී සියල්ල හසුරුවා ගත යුතු ආකාරයත්, සිත දියුණු කර ගැනීමෙන් අනතුරුව ලෝකයේ උත්තරීතර තත්ත්වයට වුවද පැමිණිය හැකි බවත් බුදුදහමේ හර පද්ධතිය මගින් පිළිබිඹු විය. බොදු පිළිවෙත් ප්රාග් ඇදහිලි සමගින් බොහෝ දුරට ගැළපෙන ලෙස නිර්මාණය වීම බුදුදහමෙහි ජනප්‍රියතාවට හේතුවක් විය. ඒ අනුව ප්රාග් බෞද්ධ ඇදහිලිවලට නව අරුතක් ලබාදෙමින් මිහිඳු මාහිමියෝ වෘක්ෂ වන්දනයට බෝධි වන්දනයත්, පර්වත වන්දනය වෙනුවට චෛත්‍ය වන්දනයත් හඳුන්වා දුන්හ.
ප්රාග් බෞද්ධ යුගයේ සිට සිංහල භාෂාව ආර්යයන්ගේ හා දේශීය භාෂාවේ සම්මිශ්‍රණයෙන් දිගු කලක් තිස්සේ සංවර්ධනය වූවකි. බුදුදහම හඳුන්වාදීමෙන් පසුව පාලි භාෂාවේ බලපෑමත් සමගින් සිංහල භාෂාව තවදුරටත් සංවර්ධනය වීමේ ප්‍රතිඵලය මත බුදුදහම හෙළ බසින් ලිවීමට පදනම වැටුණි. බුද්ධ චරිතයේ සිදුවීම් පදනමකර ගෙන ගැඹුරු අරුත් ඇති බුදුදහම පවා හෙළ බසින් ලියැවුණු දියුණු වූ බෞද්ධ සාහිත්‍යයකට පදනම වැටුණි. දේශීය සාහිත්‍ය නිර්මාණ මිනිසාගේ දෙලොවටම වැඩ පිණිස උසස් රසවින්දනයක් ලබාදීමට හැකි අයුරින් නිර්මාණය විය.
මෙරට භික්ෂුණී ශාසනය ඇතිකිරීමේ අවශ්‍යතාවක්ද පැනනැගුණු අතර ඒ සඳහා සංඝමිත්තා තෙරණිය වැඩම කරවා ගැනීමට කටයුතු කෙරිණි. සංඝමිත්තා තෙරණිය භික්ෂුණී ශාසනය පමණක් නොව 18 කුලයක ශිල්ප ශ්‍රේණීන් හා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද රැගෙන ලක්දිවට පැමිණියහ. මහින්දාගමනය සමග භික්ෂු ශාසනය මෙන්ම භික්ෂූණී ශාසනයද මෙරට ස්ථාපිත වීම බුදුදහම රට පුරාම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට බලපෑවේය.
මිනිසා සතු විවිධ දක්ෂතා මෙන්ම කුසලතා ඔප්නංවන ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ බිහි විය. සංඝමිත්තාවන් සමග පැමිණි පිරිස අතර විවිධ කර්මාන්ත සදහා දස්කම් දැක්වූ කාර්මිකයෝ සිටියහ. ශ්‍රී ලංකාවේ ස්ථිර ගොඩනැගිලි තැනීම දැන සිටි බවට තොරතුරු සඳහන් නොවේ. ඒ අනුව ගල්, ගඩොල්, මැටි භාවිතයෙන් ස්ථිර ගොඩනැගිලි තැනීම හඳුන්වා දීමේ පුරෝගාමීන් බවට ඔවුහු පත්වූහ. බුදුදහමින් උකහා ගත් චාම් හරවත් දර්ශනීය ලක්ෂණයන් ගෘහ නිර්මාණ ශිල්පය සමග මනාව මුසුකොට ගනිමින් බෝධිඝර, ආරාම, පිළිම ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි මෙන්ම නිර්මාණශීලී මූර්ති හා චිත්‍ර මගින් ඔපවත් වූ සඳකඩපහන, මුරගල ආදී නිර්මාණාංග බිහිකරම්න් ප්‍රෞඪ සංස්කෘතියක් උරුම කර දුන්හ.
බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයෙහි චාම් බව, හරවත් හා දර්ශනීය බව බුදුදහමින් උකහා ගත් ලක්ෂණ බවට පත් විය. බුදුදහම මගින් මිනිස් සිතේ ඇති කළ තැන්පත් බව, ඉවසීමේ ගුණය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව සමාධි පිළිමය හා අවුකන පිළිමය ආදී මූර්ති මගින් පිළිබිඹු කරවන්නට විය. බුදුදහමින් ලබා ගත් ආභාසයෙන්ම කළු ගලකට බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ නිරූපණය කිරීම මගින් මෙම ප්‍රතිමා නෙළීමේ කුසලතාව හා හෙළ කලාකරුවා තුළ පැවති හික්මීම පිළිබිඹු කරයි. වාරි කර්මාන්තයේ දියුණුව ඔප්නැංවුණු විශිෂ්ට නිර්මාණ කුසලතාද සිංහලයාට දායාද විය. ලොව කිසිදු රටක දක්නට නොලැබෙන බිසෝකොටුව වැනි ජල පාලන උපකරණ අපගේ වාරි ශිල්පීන් අතින් බිහි වූයේ එහි අසිරිය ලොව මවිතයට පත් කරවීමක් වශයෙනි. මේ අනුව බලන විට ගෘහ නිර්මාණ ශිල්පය, ලේඛන කලාව, අක්ෂර කලාව, කලා ශිල්ප, පුදපූජා, ආගමික හා සංස්කෘතික ආදී වූ සියල්ල මහින්දාගමනයත් සමග ලංකාද්වීපයෙහි ස්ථාවර විය.
දෙහිඕවිට, සුශිලෝදය පිරිවෙන් ආචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍ය පලුගොල්ලේ විජිත හිමි