මිහින්තලා කඳු ශිඛරය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පුණ්‍ය භූමියකි. ධර්මාශෝක අධිරාජයාණන්ගේ අතිජාත පුතු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයේ අමිල ප්‍රතිඵලය වූයේ නිර්මල බුදු දහම ලංකාවට ලැබීමයි. සත්ව හිංසනය විනෝදාංශය වූ යුගයක එය රාජ රාජ මහාමාත්‍යයන්ගේ හුදු ක්‍රීඩාවක්ම විය. පොසොන් සඳ නැගෙද්දී සතා සිවුපාවා පමණක් නොව ගස්වැල් පවා යම් ප්‍ර‘බෝධයකින්, නිදහසකින් ප්‍රමුදිතව පරිසරයට නැවුම් බවක් එක් කරමින් තිබුණ මොහොතක් විය.
සමණාමයං මහා රාජ ධම්මරාජස්ස සාවකා
යනුවෙන් මනෝහර නද කන වැකෙත්ම දෙවනපෑතිස්ස නිරිඳුන් අහස් කුස සිසාරා බැලුවේ තමාගේ නමින් තමන් අමතන්නට තරම් ජගතකු ලොව නැති බව පසක් කරමිනි. එහෙත් කසාවත දිදුළමින් තමා දෙස බලා සිටිනා ඒ උත්තම පුරුෂයාගේ දෙනෙත් තම දෙනෙත් හා ගැටෙත්ම සර්වාංගයටම යම් දැනීමක්, විදුලි කෙටීමක් වැනි දෙයක් සිදු වූ බව තමන්ට දැනුණි. අතැති දුනු හිසත් බිම දමා වැඳ නමස්කාර කළේ මිහිඳු මහරහතන් වහන්සේ දැක හඳුනාගෙන නොව සසර පුරුද්දට මෙනි.
ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් ලොව්තුරා බුදුරඳුන් වදාළ මාහැඟි ධර්මයෙන් බිඳක් මහමෙව්නා උයන පිංබිමක් කරමින් මිහිඳු මහ තෙරණුවෝ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය මගින් රජුන්ට නිවැරදි දැක්ම පැහැදිලි කර දුන්හ. සත්‍ය ගවේෂී උදාර මිනිසකු බිහිකිරීමට සමත් මේ දහම් පණිවුඩය මිහින්තලා ගල අසලින් දෝරෙ ගලා ගියේ ලක්වැසි ජනතාවම නව මාවතකට, නව දිසාවකට යොමු කරවමිනි. විමානවත්ථු, ප්‍රේතවත්ථු වැනි මාහැඟි සූත්‍ර දේශනාවන් මගින් අනුරපුර වැසියාට රජ ගෙදර ධර්ම මන්දිරයක් කරමින් දේශනා කළේ මෙරට බෞද්ධ චින්තන ප්‍ර‘බෝධයට නව මංපෙත් විවර කරමිනි. ගස්, ගල්, පර්වත වන්දනා කරමින් මිථ්‍යා ඇදහිලිවලින් තම දෛනික ජීවිතය ගැට ගසාගත් මෙරට ගැමි ජනතාවට නව දර්ශනයේ ආලෝකය ක්‍රම ක්‍රමයෙන් වැටෙන්නට විය.
ප්රාග් ඵෙතිහාසික යුගයේ සිට මිථ්‍යා සංකල්පවල ඇලී සිටි ජනතාවට බෞද්ධ දර්ශනය නව චින්තන ධාරාවක්ම විය. අරිට්ඨ කුමරා පැවිදි කරවා සංඝ ශාසනය පිහිටු වූ අතර, අනුලා දේවියගේ නායකත්වයෙන් භික්ෂුණී ශාසනය බිහිවිය. අටමස්ථාන, සොළොස්මස්ථාන බිහි වූයේ මේ ධර්ම ප්රචාරයේ අමිල ප්‍රතිඵල ලෙසය. මිහිඳු මාහිමියන් ඉගැන්වූ වත්පිළිවෙත් මග සාමකාමී එකක්ම විය. චාම් දිවිපෙවතකට ආධාරයක්ම විය. රටට ආදර්ශමත් භික්ෂු පරපුරක් බිහි වූ අතර, රට සාදන මග කියාදෙන, රජුට අනුශාසනා කරන, රජුට අණ දියහැකි මහා සංඝ පරපුරක්ම වූහ. ශ්‍රී ලංකාවේ ගම් නියම්ගම් සෑමතැනම වෙහෙර විහාර ඉදිවිය. ඒ සියල්ල හෙළ බෞද්ධයාගේ මෙන්ම බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන විය.
දේවානම්පියතිස්ස රජතුමා හතළිස්දහසක් සමග තිසරණ පන්සිල්හි පිහිටීමත්, අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදිවීමත් මේ නව පිබිදීමේ ප්‍රබලත්වය අවබෝධ කර ගැනීමට ප්රමාණවත්ය. සසර දුකෙන් එතෙර වීමට මග කියාදෙන සච්ච සංයුක්තය, දෙලොවම දිනන මග පෙන්නුම් කරන බාල පණ්ඩිත සූත්‍රය ඇතුළු ආසිවිසෝපම, අනමතගගිය, ගෝමයපිණ්ඩක, ධම්මචක්කපවත්තන සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් ගණනාවක්ම වදාළේ මෙරට ජනතාවගේ සිත්සතන්, මිත්‍යා ඇදහිලි විශ්වාසයන්ගෙන් ඈත්වී නව දර්ශනයේ පදනම, ගැඹුර, හරය, වටහා ගැනීමට ඉඩකඩ ලබා දෙමිනි.
මිහින්තලාව, අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම, කිරිවෙහෙර, සිතුල්පව්ව, තිස්සමහාරාමය, සීගිරිය, දඹුල්ල ආදී බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රද්ධා භූමි නිර්මාණය වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵල ලෙසය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවා තම නැගණිය වූ සංඝමිත්තා මහ තෙරණිය වෙතින් භික්ෂුණී ශාසනය පිහිටුවීමත් මිහිඳු මහරහතන් වහන්සේගේ උදාරත්වය කියාපාන්නකි. මහ වනවදුලු ඉතා මනරම් වෙහෙර විහාර බවට පත්කරවන්නට සමත් වූහ. රහතන් වහන්සේ දොළොස්දහස බැගින් වැඩ සිටි තිස්සමහාරාමය, සිතුල්පව්ව වැනි ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ සංකේත රැසකට නායකත්වය දුන්නේ මිහින්තලා අරණෙන් විහිදුන ආලෝකයයි. කලා ශිල්ප පමණක් නොව මහා විහාර සම්ප්රදාය ගුරුකොට බිහි වූ පිරිවෙන් රැසක් ලංකාවේ විවිධ ප්‍ර‘දේශවල ගිහි- පැවිදි උතුමන් රැසක් ශ්‍රේෂ්ඨ ධර්මඥානයෙන් අගතැන්කොට ජාතියට දායාද කළ අධ්‍යාපනයක් බිහි කළහ. සාහිත්‍ය භාෂාව කලාව වඩාත් නවීකරණය වූ අතර, ඒ යටතේ දසදහස් සංඛ්‍යාත වූ පොත්පත්, විද්‍යාගාර, ලේඛක ලේඛිකාවෝ වැනි කවිකිවිඳියෝ ජාතියේ පිනෙන්ම පහළ වූ අදීන ජාතියක හැඩතල නිර්මාණය වූහ. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ උදාර මිනිස් වර්ගයකට අවශ්‍ය පසුබිම සකස් විය. හැදියාව, මිනිස්කම ප්රමුඛ වූ මහා ගුණ සමුදායකට උරුමකම් කියන ජාතියක් සේ නිර්මාණය වූහ.
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය හෙළ ජාතියේ අරටුව බවට පත් වූ අතර, කෘෂිකාර්මික ජීවිතය පදනම විය. ලක්ෂ ගණනින් කෙත්යායවල් ඉදිකළ අතර, දහස් ගණනක් මහ සඟරුවනට දන් දෙන ජාතියක් සේ ගොඩනැගූ විට ලොව මවිත කරන අහස් කුස පරයන දාගැබ්, මහ සයුර පරයන වැව් සංස්කෘතිය, පෙති පිළිම, අලංකාරවත් කැටයම්, චිත්‍ර නිර්මාණය වූහ. අදත් සීගිරිය කැටපත් පවුර, ඇම්බැක්කේ දේවාලය, මහ සෑරඳුන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ ආදී ශ්‍රේෂ්ඨ ශාසනික දායාද අප සතුව ඇත්තේ, මුළු ලොවම ගරු සම්මාන පුදන්නේ සලකන්නේ එදා මිහින්තලාවේ ආරම්භ කර අපට දායාද කළ මේ මහාර්ඝ වස්තු නිසාමය. වෙසක්, පොසොන්, ඇසළ පොහොයට පමණක් නොව සියලුම පුරපසළොස්වක පොහොය දිනවල දස දහස් ගණනින් උවැසි උවැසියන්ගෙන් වෙහෙර විහාර පිරී යන්නේ මේ අසිරිමත් ක්රියාදාමයේ ප්රතිඵලයන් වශයෙනි.
මිහින්තලාවෙන් හැමූ සම්බුදු දහමේ සුවඳ මුළු දෙරණ පුරාම සිසාරා පැතිරුණි. අදත් ඒ දහම් සුවඳ ලක්වැසි ජනතාව දොහොත් මුදුනින් බැතියෙන් ගෞරවයෙන් පිළිගෙන සමරති. පොසොන් තොරණ, දන්සල් විචිත්‍ර වූ අලංකාර නිර්මාණවලිනුත් සමලංකෘත මේ අසිරිමත් දිනය දාන, ශීල, භාවනා විවිධ වැඩසටහන් තුළින් බෞද්ධ අබෞද්ධ සැවොම සමරති.
ජාති, කුල, ආගම්වලින් තොරව මේ ඵෙතිහාසික දිනය සමරන අතර, එය ජාතියේම වාසනාවකි. එදා මිහින්තලා අරණින් හමා ආ දහම් ආලෝකය තවත් වසර දසදහස් ගණනක් පැතිරී යනු ඇත.
හිටපු සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ශාස්ත්‍රපති වතුරවිල හේමාලෝක නායක ස්ථවිර