කන්දේමැදගම නිකසලානුවර පිහිටි ඓතිහාසික මහාගිරි චේතියාරාම රජමහා විහාරය වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් මේ වන විට වල්වැදී අභාවයට යමින් පවතී.
විශාල පර්වතයක් කේන්ද්‍ර කරගනිමින් මෙම විහාර භූමිය නිර්මාණය වී ඇති අතර එය මැදගම කන්ද නමින් හැඳින්වේ. මෙම පර්වතයෙහි ක්‍රි.පූ. අවදියට අයත් කටාරම් සහිත ලෙන් 21ක් විහිද තිබේ. මහනුවර අවධියෙහි බිතු සිතුවම් සහ ප්‍රතිමා සහිත කටාරම් කෙටූ ලෙන් විහාරයක් මෙම පර්වත මධ්‍යයේ පිහිටා ඇති අතර ඊට සමීප එක් ලෙනක පූර්ව බ්රාහ්මී ලෙන් ලිපියක් ද දැකගත හැකිය.
පර්වත මුදුනෙහි අඩි 40ක් පමණ උස් වූ පැරණි දාගැබක් හමුවේ. ජනප්රවාදයට අනුව ලංකාවේ ප්‍රථම පාලකයා වූ විජය රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තනවන ලද විජය සොහොන එයයි. මෙම පර්වත කලාපය ආකර්ෂණීය ප්‍රදේශයක් වන අතර ස්වභාවික වෘක්ෂලතාවන්ගෙන් පරිපූර්ණ වනසතුන්ද නිදහසේ හැසිරෙන මනස්කාන්ත වූ ප්රදේශයකි.
සංචාරක පුරවරයක් බවට පත් කළ හැකි මෙම පුදබිමෙහි මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ කැණීම් ද අතරමග නවතා දමා තිබේ.
මේ අතර මෙම පුදබිමට නිසි ආරක්ෂාවක් ද නොමැති අතර අවට විහාරස්ථාන නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබීම නිසා මෙම පුදබිමටත් එවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ නොදී නිධන් හොරුන්ගෙන් මෙම විහාරස්ථානය රැකදෙන ලෙස නිකසලානුවර රජමහා විහාරාධිපති දුනුකේවත්තේ චන්දානන්ද හිමියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
'මේ ඓතිහාසික පුදබිමේ වටිනාම වස්තුව ලෙස සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කරලා දේවානම්පියතිස්ස රජතුමා විසින් හදලා තියෙන ස්ථූපයයි. ලංකාවේ ප්‍රථම රජතුමාගේ සොහොන තියෙන්නෙත් මේ භූමියේ. ඒ වගේම නුවර යුගයේ දෙවන විමලධර්ම රජතුමා විසින් කරන ලද ගල්ලෙන් විහාරයක් මේ පුදබිමේ තියෙනවා. කන්ද මුදුනෙත් පහළත් සෙල්ලිපි 20කට වඩා මේ භූමියේ තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මෙම භූමියේ කැණීම් කරද්දි හම්බ වූ ලෝහ කොටස්, මෙවලම් දිහා බලද්දි අපිට පේනවා මේක අවුරුදු 15000කට එහා ගිය ඉපැරණිම ගමක් කියලා. මෑතකදී කළ කැණීම්වලින් උළුකැට, නානකාමර සහිත රෝහලක්, මුරගල් වැනි දේවල් හමුවී තියෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවුරුදු තුනහමාරක් මෙහි කැණීම් කටයුතු ඉතාම පිළිවෙළට කරගෙන ගියා. නමුත් මෑත භාගය වෙනකොට ඒ සියලු කටයුතු නතර කර තියෙනවා. කැණීම් කරපු සියලු ගොඩනැගිලිවල වැඩ අතරමග අතඇරලා දාලා. ඓතිහාසික නුවර යුගයේ ඉදිකර තියෙන ගල්ලෙන් විහාරයේ මේ වෙනකොට චිත්‍ර වේයන් විසින් විනාශ කරලා තියෙනවා. එම විහාරයේ ආරක්ෂාවට තියෙන දොරවල් පවා විනාශවෙමින් යනවා.පහුගිය කාලවල ලෙන් විහාර ගැන බොහෝ කතා කෙරුවා. නිකසලානුවර රජමහා විහාරයත් ඓතිහාසික පුදබිමක් කියලා අපි අමාත්‍යවරුන්ට මතක් කරන්න කැමතියි. මේ පිළිබඳව මම බලධාරීන්ට ලිඛිතව දැනුම්දී තියෙනවා. මෑත භාගයේ නිධන් හොරු ඇවිත් අවට විහාරස්ථානවල ඓතිහාසික උරුමයන් විනාශ කරමින් පවතිනවා. ඒ නිසා මේ විහාරස්ථානයන්හි ආරක්ෂාව ගැන බියක් අපිටත් මේ වෙද්දි ඇති වී තියෙනවා. මේ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ දේශපාලන කෝණයකින් විහාරස්ථාන දෙස බලන්නේ නැතුව මේ ඓතිහාසික උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැකදෙන්න කියලයි.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කරලා දේවානම්පියතිස්ස රජතුමා නිර්මාණය කරපු චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් බවට සඳහන් කොට ඇති ශිලා ලේඛන පවා අද වෙද්දි නිසි සංරක්ෂණයක් සිදුනොවීම නිසා මැකිලා ගිහින් තියෙනවා.
මේ නිසා අද වන විට මේ ඓතිහාසික පින්බිම පාළු ස්වභාවයක් අරන් තියෙනවා. ඒ වගේම පැරණි බිතු සිතුවම් විනාශ වෙලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංචාරක පුරවරයක් බවට පත්කළ හැකි මේ පින්බිමේ නඩත්තු කටයුතු නිසි අයුරින් කරලා මේ ඓතිහාසික පින්බිම සංරක්ෂණය කරන්න කටයුතු කරන්න කියලා වගකිවයුතු සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා.'යැයිද පවසා සිටියහ.
වඩුමුන්නේගෙදර ටී.පී.අධිකාරි