දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන අතර එහි ඇති සියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.
ඒ අනුව අදියර 4 ක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර රුපියල් ලක්ෂ 1500 ක මුදලක් වැයකරමින් ඉදිකළ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොසොන් පුර පසළොස්වක පොහෝය යෙදී ඇති ජූනි 27 වන දින සිදු කෙරේ.
විහාරස්ථානයේ අභ්‍යන්තර විහාර ආරාම පද්ධතිය පිළිසකර කිරීම, පිරිවෙන හා සම්බන්ධ අධ්‍යාපන පටිපාටියේ අඩු පාඩු සම්පූර්ණ කිරීම, නව පරිසරය සැකසීම, අභිනව වාහල්කඩ හා වළාකුළු බැම්ම ඉදිකිරීම මෙන්ම දොළොස්මහේ පහන නවතාවයකින් ඉදිකිරීම, භාවනානුයෝගි භික්ෂුන් වහන්සේලා උදෙසා භාවනා කුටි ඉදිකිරීම, විහාර පරිශ්‍රයේ දර්ශනීය පොකුණක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ වන විට සිදුකෙරෙමින් පවති.
හෙළ රජ දරුවන් විසින් ද දිඹුලාගල බෞද්ධ කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය දක්වන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි.
මෙම පුදබිම තුළ වැඩවිසු භාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පළමුවන විජයබා රජු විසින් ඉන්දියාවෙන් ගල් වඩුවන් ගෙන්වා ගල් ලෙන් පන්සියයක් කරවා මහා ක්යාශප සංඝරාජ හිමිපාණන් වහන්සේ වෙත පූජා කළ බවට ඉතිහාසයේ සඳහන් වන අතර එම ඓතිහාසික පූජාව ද සිදුකර ඇත්තේ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයකදීම ය.