තායිලන්තයේ " සියම් උපාලි " තෙරුන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ උපෝසතාගාරය වෙත පැමිණ ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270 ක් සපිරීම සිහිපත් කරමින් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් ඊයේ (09දා) දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම කණ්ඩායමේ ප්‍රධානත්වය තායිලන්තයේ උබෝන් සංඝරාජ අචාන් ප්රාවිෂන් තාරා පාත් උත්තමෝ මහා තෙරෝ විසින් හොබවන ලදී. මෙම කණ්ඩායමට භික්ෂූන් වහන්සේලා 08 නමක් සහ ගිහි නියෝජිතයන් 17 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඔවුන් 07/09 දින සවස 05.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශාසනික සහ සංස්කෘතික වශයෙන් සබඳතා තහවුරු කර ගැනීමට සහ වර්තමානයේ දෙරට අතර ඇති ඇති සිත් තැවුල් දුරු කර ගැනීමට අපේක්ෂා කරන බව , මෙම පිරිස පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ පැවසීය .
මෙම පිරිස තායිලන්තයේ වත්මන් රජතුමාගේ සීයා වන " 08 වන රාම " රජතුමා ශ්‍රී ලංකාවට පැමිණ තුන් මාසයක කාලයක් තාවකාලික පැවිදි උපසම්පදාව ලබා සිටි කොළඹකොටහේන දීපදුප්තාරාම විහාරස්ථානය වෙත ගොස් එහි ස්ථාපිත කර ඇති එම රජතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.
මීට අමතරව මෙම බෞද්ධ දූත පිරිස අනුරාධපුරය, මහනුවර දළදා මාළිගාව, ජාත්‍යන්තර නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, කැළණිය රජ මහා විහාරය දැක බලා ගැනීමට ද නියමිතය.
ශ්‍රී ලංකාවේ සාමනේර භික්ෂූන් වහන්සේලා 25 දෙනෙකුට තායිලන්තයේ බෞද්ධ උසස් අධ්‍යාපනය නොමිලේ හැදෑරීම සදහා නේවාසික ශිෂ්‍යත්ව 25 ක් පිරිනැමීමට ද අපේක්ෂා කෙරේ.
එසේම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සිද්ධස්ථාන සහ ස්වභාව සෞන්දර්ය නැරඹීම සඳහා බෞද්ධ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට ද මෙම පිරිස කටයුතු කිරීමට නියමිතය.
