වත්මන් රජය විසින් ගෙන ඒමට යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ කෙටුම්පත පනතක් ලෙස සම්මත වුවහොත් බෞද්ධයන්ට පමණක් නොව භික්ෂූන් වහන්සේලාට ද ශාසනය එපා වනවා පමණක් නොව ශාසනය තුළ නව බල අධිකාරියක් ගොඩනැගී සංඝයා වහන්සේලා අතර පවා අසමගියක් ඇති වන තත්ත්වයක් ගොඩනැගෙන බව හිටපු බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිරියේදී රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර කර ගැනීමට යෝජනා වී ඇති ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27දා) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“මේ වන විට රජය ත්‍රිපිටක සංරක්ෂණ කෙටුම්පත කියා පනත් කෙටුම්පතක් ලෙස සකසා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දෙවනුව එය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලසුම කුත් තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉන් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය කියා දෙයක් නිර්මාණය වනවා . එය නිර්මාණය වන්නේ ඒ ඒ නිකායවල් යොදාගනිමින්.
එය ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන පත්වීම් මගිනුයි. ඉන් ශාසනය තුළ අලුත් බල අධිකාරියක් ගොඩනැගෙනවා . නමුත් මේ වන විට ශාසනය තුළ තීන්දු තීරණ ගනු ලබන්නේ මහනායක හිමිවරුන්ගේ උපදෙස් හා අනුදැනුම මතයි.
නමුත් මේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ කරමිනුයි . මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ වසර දහස් ගණනක් සාම්ප්‍රදායිකව ගොඩනැගුන මහනායක අනුනායක හිමිවරුන් ගේ බල අධිකාරිය පහතට දමමින් ඊට උඩින් සංඝරාජ මට්ටමේ භික්ෂූන් වහන්සේ කෙනෙකු මතුවීම සඳහා රාජ්‍ය අධිකාරිය, දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කිරීමටයි.
මේ ශාසන විරෝධී ගැටුම් අවුලවන විනාශකාරී අණපනත ගෙන ඒම වළක්වා ගැනීමට සියලු දෙනා ඒකරාශි විය යුතුයි” ඒ මහතා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න