සමාජයේ පුද්ගලයන් විවිධාකාර බවත්, කෙනෙකු පොහොසත් වෙද්දී කෙනෙක් දුප්පත් වගේම, කෙනෙකු නිරෝගී වෙද්දී, කෙනෙකු රෝගී මෙන්ම, කෙනෙකු ඥානවන්ත වෙද්දී, කෙනෙකු අඥාන බවත් අපවත් වී වදාළ අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් (1913 - 2003) පෙන්වා වදාළහ. මෙවැනි වෙනස්කම් නැති තැනක් ලොව නොමැති බවත්, කර්මය හා පුනර්භවයම මීට හේතුව බවත්, බුද්ධ දේශනා ඇසුරෙන් උන්වහන්සේ අප වෙත මහත් කරුණාවෙන්ම කරුණු පැහැදිලි කළහ.
"බෞද්ධයන් ලෙස උපත ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක් ලබන්නට හැකියාව තිබෙන අය වුණත්, පටු ආකල්පවල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝකජනකයි. බොහෝදෙනා ලෞකික ජීවිතය තුළ සැප සොයමින්, මිරිඟුව පිසුපස දුවන මුවන් සේ වෙහෙසට පත්ව, අවසානයේ අපේක්ෂා භංගත්වයෙන්ම මරණයට පත්වෙනවා.
ඒ නිසා මේ කෙටි මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිතව අකුසල් රැස්කරමින්, අවසානයේ කල්ප ගණන් දුගතියේ දුක් විඳිනවාද, නැත්නම් තව තවත් පින් දහම් රැස්කරමින් මතු ජීවිතයේ සුගතිගාමී වෙනවාද, නැත්නම් ධර්මාවබෝධයෙන්ම මේ සසර ගමන කෙළවර කර ගන්නවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසින්මයි.
බුද්ධ දේශනාවට අනුව සියලු සත්වයන්ම නිරන්තර වෙනස් වෙමින්, ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුම කරගත් ස්ථිර ආත්මයක් නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවයක් බව කිව හැකියි. මේ සත්ත්වයන්ගේ ස්වභාවය මනාකොට විස්තර කර, නැවත ඉපදීම දුරු කිරීමේ මාර්ගය විස්තර කිරීම බුදුරදුන්ගේ ප්‍රධාන පරමාර්ථය වුණා. මෙහිදී උන්වහන්සේ කුසල් අකුසල්, පුනර්භවය හා මරණින් මතු ජීවිතයද ගෙනහැර දක්වමින් මේ භවගාමී ජීවිතය අපට පෙන්වා වදාළා.
'කම්මා විපාකා වත්තන්ති විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්බවො හොති ඒවං ලෝකො පවත්තති'
'සෑම කර්මයකටම විපාකයක් ලැබෙනවා. ඒ විදිහට ලැබෙන විපාකයෙන් නැවතත් කර්මයක් හම්බ කර ගන්නවා. ඒ හම්බ කරගත්ත කර්මය පුනර්භවයකට හේතු වෙනවා. මේ ආකාරයට ලෝකය දිගටම පවතිනවා.'
මේ ගැඹුරු දහම් කරුණ උපයෝගී කරගනිමින් මඬිහේ මහනාහිමියෝ පෙන්වා වදාළේ, නැවත නැවත කර්ම රැස්කිරීමේ විපාක වශයෙන් නැවත නැවත ඉපදෙන බවත්, යම් දිනක කර්ම රැස්කිරීම නතර කළේද නැවත ඉපදීමක් නොමැති බවත්ය. එසේ කර්ම රැස්කිරීම නතර වන්නේ රහත් ඵලයට පත්වූදාට බවත්, මේ කර්මය සහ පුනර්භවය පිළිබඳ සිය දේශනය තවදුරටත් විග්රහ කරමින් උන්වහන්සේ පෙන්වා වදාළහ.
&කර්මය සහ පුනර්භවය පිළිබඳ විශ්වාස අද ලෝකයේ වේගයෙන් පැතිරෙනවා. බොහෝ කල් නොගොස් මේ කර්මය හා පුනර්භවයේ විශ්වාසය මත බටහිර ලෝකය තුළ සුන්දර සමාජ පරිවර්තනයක් වෙන්නටත් ඉඩ තිබෙනවා. කොහොම වුණත් උගත් ලෝකය අතර මේ කර්මය හා පුනර්භව විශ්වාසය මේ තරම් වේගයෙන් පැතිරෙන්නට එදා බුදුරදුන් දවස ඇති වූ ප්‍රශ්නම පැනනැඟී තිබෙනවා. මොකද කර්මයට හා පුනර්භවයට තැනක නොදී, ඒ පැනයන්ට පිළිතුරු සැපයිය නොහැකියි. කර්මය හා පුනර්භවය මිත්‍යාදෘෂ්ටියක් ලෙස ගත් මතයන් අද ඒ සමාජවලින් දෙදරා යමින් තිබෙනවා.
බුද්ධ කාලයේ සිටම කවදත් ලෝකයේ විෂමතා පැවතුණා. සමාජයේ පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් පවතිනවා. කෙනෙක් දුප්පත්, කෙනෙක් පොහොසත්. කෙනෙක් රෝගී, කෙනෙක් නිරෝගී. කෙනෙක් ඥානවන්තයි, කෙනෙක් අඥානයි. කෙනෙක් සුරූපී, කෙනෙක් විරූපී. කෙනෙක් දීර්ඝායුෂ, කෙනෙක් අල්පායුෂ. මේ වෙනස්කම් නැති තැනක් ලෝකයේ කොහේවත් නැහැ. යම් යම් දෙනා මේ වෙනස්කම් නැති කරන්නටයි කියල කතා කරනවා. කොපමණ කතා කළත්, අද වනතුරු ඒවා වෙනස් වෙලත් නැහැ, මත්තට වෙනස් වෙන්නෙත් නැහැ.
මීට වසර 2,500කට පෙර මේ පැනය නැගුණු අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ මේ සියල්ලටම කර්මය ප්‍රධාන හේතුවක් බවයි. පූර්ව ජාතිවල තමා විසින් රැස්කරන ලද කර්මය මීට ප්‍රධාන හේතුවක් වෙනවා. බටහිර උගතුන් මෑතක් වනතුරු ඔය වෙනස්කමට හේතුව නොපෙනෙන බලවතෙකු මත තීරණය කළා. දැන් ඒ විශ්වාසය හීන වී යනවා. පුද්ගලයන් අතර වෙනස්කම්වලට මේ ජීවිතය පමණක් සම්බන්ධව පිළිතුරක් නොලැබෙන බව දැන් ඔවුන් පිළිගන්නවා. මෙයට පූර්ව ජාතියද හේතු වී ඇති බව ඔවුන්ටද ප්රත්යක්ෂ වෙමින් තිබෙනවා.
පූර්ව ජාතියේ සිට ආ ශක්ති විශේෂය කුමක්ද? මතු භවයන්හිදී ක්‍රියාත්මක වන්නේ එයයි. එසේ නම් පෙර භවයක් තිබූ බව ඔවුන්ට පිළිගන්නට වෙනවා. එසේ නම් මතු භවයක් ගැනත් පිළිගන්නට වෙනවා. මේ භවයෙන් භවයට ගෙනා ශක්ති විශේෂය තමයි, බුදු දහමේ කර්මය ලෙස විග්රහ කෙරෙන්නෙ.
පින්වතුනි, බුදුරාජණන් වහන්සේගේ සර්වඥතා ඤාණයට වඩා ඉහළ නුවණක් කිසිවෙකුට නැති බව අප කවුරුත් පිළිගන්නවා. ඒ ඤාණය තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවසන් භවයේදී ඉස්මතු වූවත්, එය එක් භවයකට සීමා වූවක්ද? නැහැ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට නියත විවරණ ලබාගෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණය කළා. එතරම් දීර්ඝ කාලයකට සම්බන්ධ වෙමින් ඇවිත්, ඉහළම තත්ත්වයට දියුණු වෙමින්, අවසන් භවයේදී බුද්ධත්වයත් සමග ඒ බුද්ධ ඤාණය ලෝකයාට ප්‍රකට කෙරුණා.
ඇල්බට් අයින්ස්ටයින් වැන්නෙකුගේ බුද්ධි විකාශනය එක භවයකට සීමා කරනවා නම් ඇයි අනෙක් අයටත් බැරි අයින්ස්ටයින් වගේ වෙන්න. එබඳු අයගේ බුද්ධි මහිමය පෙර භවයන් කිහිපයක්වත් ආපස්සට ගොස් බැලිය යුතුයි. මේ ආකාරයට කර්මයත්, පුනර්භවයත් තර්කානුකූලව තව තවත් ඉස්මතු වෙනවා. මනුස්සයන්ට පමණක් නොවෙයි, තිරිසන් සතුන් අතරත් මෙය පවතිනවා. ජාතක පොත්වල එදා විස්තර කෙරුණු දේවල් අද පර්යේෂණ තුළින්ම ඔප්පු වෙනවා.
අප බොහෝ දෙනෙකුට තියෙන අත්දැකීමක් තමයි, සමහර කෙනෙක් දැක්කාම එක දර්ශනයෙන්ම පුදුම හිතවත්කමක් ඇති වෙනවා. දහස් ගණන් දෙනා දැක්කත්, එහෙම දෙයක් නැහැ. සමහර විට එක් අයෙකු විශේෂයි. එයට හේතුව බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේදී උන්වහන්සේ වදාළේ, පූර්ව ජාතියක එකට ඉඳලා තියෙන සම්බන්ධකමක් බවයි. ඒ වගේම ලෝකයේ කවදත් සමහර විද්‍යාවන් තිබුණා. අදත් සමහර දෙනා පර්යේෂණවලදී මෝහනය වගේ විද්‍යාවන් උපයෝගී කර ගන්නවා.
මෝහනය තුළින් පූර්ව ජාති පිළිබඳ තොරතුරු ඇසීම කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් නොයෙක් විද්‍යාවන් තිබුණා. ඔය මෝහනයත් තිබුණා. බුදුරජාණන් වහන්සේ මෝහනයට තැනක් දුන්නෙ නැහැ. ඒවා බොහොම දුර්වල විද්‍යාවන් හැටියටයි, උන්වහන්සේ සැලකුවේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට එවැනි ක්‍රම මගින් ජනතාව පහදවන්නට උනන්දු නොවන ලෙසත්, තම ශ්‍රාවකයන් ප්රාතිහාර්ය දක්වමින් මහජන ප්‍රසාදය දිනාගත යුතු නැති බවත් උන්වහන්සේ වදාළා. ඒ වෙනුවට හොඳින් ධර්ම කරුණු සහිතව පැහැදිලි කරමින්ම මහජනතාව පහදවන්නට යැයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා.
ඒ නිසා පින්වත්නි, ඉගෙනුමෙන්, ගැඹුරින් හැදෑරීමෙන්, නුවණින් විමසීමෙන්, අවබෝධය කරා යන දහමක් මේ. හොඳට නුවනින් විමසන්න, විමසන්න තව තවත් ප්‍රීතිය උපදිනවා. අන්ධ විශ්වාසයන්ට මේ දහමේ තැනක් නැහැ. තර්ක කරමින් ප්‍රශ්න කරන්න, ඒ ප්‍රශ්න කිරීම් තුළින් කරුණු අවබෝධ කරගන්න පුළුවන් දහමක්. එසේ අවබෝධ කරගත් විට තව තවත් ප්රීතියමයි උපදින්නෙ. පිළිපදින්න පිළිපදින්න සැනසිල්ලයි උපදින්නෙ.
කොතරම් ඉගෙන ගත්තත්, කොතරම් තර්ක කළත් ඒ දේවල් ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්නම් බුදු දහමින් ලැබිය යුතු සැනසිල්ල ලබන්නටත් බැහැ. අන්න ඒ සැනසිල්ල බුදුරාජාණන් වහන්සේ පෙන්වා වදාළා. එදිනෙදා ජීවිතයත් යහපත් කරගෙන, ඒ ශ්‍රී සද්ධර්මය ප්‍රගුණ කරමින්, අවසානයේ නිර්වාණාවබෝධයෙන් පරම සැනසිල්ල උදාවන විදියේ දහමක් තමයි, මේ පින්වතුන්ට ලැබිල තියෙන්නෙ.ඒ ධර්මයෙන් වැඩගන්නට නම්, අප කවුරුත් වැඩි වැඩියෙන් දහම ඉගෙන ගන්නට ඕනෙ.
තවත් කල් නොයවා, මේ දහම ඉගෙන ගන්න. මේ දහම රස විඳින්න. මේ දහම ජීවිතයට සම්බන්ධ කර ගන්න. සෑම මොහොතකම සිහියෙන් නුවනින් දිවි පවත්වමින්, තමන් තමන් තුළ තිබෙන අබල දුබලකම් සොයා බලා ටිකෙන් ටික නමුත් අඩු කරගන්න බලන්න ඕනෙ. මොකද තමන් තුළ තියෙන්නට ඕනෙ ගුණනුවනකමයි. එය තව තවත් දියුණු කරගන්නට ඕනෙ. ඒ ගුණධර්මයන්ගේ හා ඔබ සැමගේ පුණ්යකර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් වූ නිවන් සුවයම අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා."
තෙරුවන් සරණයි..!