බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, උමාඇළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය යනු ඌව පළාතේ විහාරස්ථාන අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා ඉපැරණි විහාරස්ථානයකි.ඌව පළාතේ පිහිටි තනි කළුගලෙන්ම ඉදි වූ එකම විහාර මන්දිරය, ඌවේ විශාලතම ධාතු කරඬුව, නිල් ගරුඬ පාෂාණයෙන් නිම වූ සිරිපතුල, සුමන සමන් දෙවියන් ඇතු පිට වාඩිවී සිටින ඉරියව්ව සහිත අවුරුදු 120ක් පමණ පැරණි එකම දේව ප්‍රතිමාව ආදී එම විහාරස්ථානය සතු ඓතිහාසික වටිනාකම් මෙම විහාරස්ථානය සුවිශේෂී වීමට හේතුවන බව උමාඇළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ පවසති.
සරුසාර වෙල්යායක් මැද සුන්දර පරිසරයක පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය වර්ෂ 1810දී පමණ විහාරස්ථානයක් ලෙස ආරම්භ වී ඇති බවත්, ඉන් පෙරද මෙහි පිහිටි බෝධීන් වහන්සේ හා නාගසද කේන්ද්‍ර කොටගෙන මෙම ස්ථානය ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ ස්ථානයක් බවත් සඳහන් වේ.
මෙම විහාරස්ථානය හා එහි ඓතිහාසික පසුබිම පිළිබඳව අදහස් දැක් වූ පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ මෙසේ පැවසූහ.
“ මේ විහාරස්ථානය වගේම ඌව පරණගම ප්‍රදේශයත් විශේෂිතයි. ඌව කැරල්ල ආරම්භ වුණේ මේ ඌව පරණගම රේන්දපොළ ප්‍රදේශයේ. මැක්ඩොනල්ඩ් ආණ්ඩුකාරවරයා අපේ සිංහල ගම්බිම් වනසා, ගේදොර - කෙත්වතු ගිනිතබා, ඵල දැරූ ගහකොළ කපාදමා, ළමාවිය ඉක්ම වූ සියලු පිරිමින් මරා දමා සිදුකළ ඒ විනාශය ආරම්භ වුණේ මේ ප්‍රදේශයෙන්. එදා ඒ ආණ්ඩුකාරවරයාගේ අණින් සිංහල මිනිසුන් එල්ලා මැරූ සියඹලා ගස තිබෙන්නේත් මේ ආසන්නයේ. වළගම්බා රජු විසින් කර වූ වළගම්බා රජමහා විහාරය, උළුගල රජමහා විහාරය, සීතා දේවියගේ කොණ්ඩයේ ගැසූ කූර පැටලුණු බැවින් කූරත්ත කන්ද නම්වූ කන්ද, සීතා දේවිය දිවුරුම් දුන් දිවුරුම්වෙල, රාවණා රජු සිටි බවට පැවසෙන රාහුපොළ, පත්තිනි මෑණියන්ගේ නැඟණිය විසූ බවට පැවසෙන දිවැස් අඹරාපති දේවාලය වැනි ඓතිහාසික ස්ථාන නිසා මේ ප්‍රදේශයම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් වනවා.
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මේ ගම්මානයට උමාඇළ කියන නම ලැබී ඇත්තේ උමං ඇළක් නිසායි. එදා සුද්දන්ගේ කාලයේ ගනේතැන්න ප්‍රදේශයේ කළ මඤ්ඤොක්කා වගාවට මේ ප්‍රදේශයේ සිට ජලය ගෙනගොස් තිබෙන්නේ උමං ඇළකින්. පසුකාලීනව එම ඇළ මාර්ගය විනාශ වුණත් ඒ සැදූ අමුණ තාම නටඹුන් වශයෙන් තිබෙනවා. ඒ උමං ඇළ නිසා මේ ප්‍රදේශය පසුව උමාඇළ වුණා.
එවන් ඓතිහාසික පසුබිමක් සහිත මේ උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය මුලින්ම විහාරස්ථානයක් ලෙස ආරම්භ වී ඇත්තේ වර්ෂ 1810දී පමණ. ඊට පෙරත් ජනතාව මෙම ස්ථානයේ වැඳුම් පිදුම් කළ බවට පැවසෙනවා. එදා පැරන්නන් මහියංගනය විහාරස්ථානය වඳින්න ගියේ මේ අසලින්. ඒ යන විට මෙහි නැවතී මේ ස්ථානයේ අදටත් ඇති ගල් ඔරුවේ කිරි උණු කරගෙන පානය කළ බවට ජනප්රවාදයේ සඳහන් වෙනවා. එසේම ඒ අය ගමන් අරඹා තිබෙන්නේ මේ විහාර භූමියේ ඇති හාස්කම් සහිත අවුරුදු 800ක් පමණ පැරණි බෝගසට හා නාගසට ප්‍රාර්ථනා බෝධීන් ලෙස පඬුරු බැඳ ආශීර්වාද අරගෙනයි.
එසේම චෛත්‍ය කර්මාන්තයේ පිළිගත් හැඩයක් නොමැති මෙහි දාගැබ ඉන්දියාවෙන් පැමිණි හැටක පමණ පිරිසක් විසින් ඉදිකළ බවට පැවසෙනවා. මෙහි තොරණත් එසේමයි. තනි කළුගලෙන් නිම වූ මේ විහාරස්ථානයේ ධාතු මන්දිරය 1931දී පන්නල ඉන්ද්‍රසාර නාහිමියන් විසින් නිමවා තිබෙන්නේ. ධාතු මන්දිරය පිහිටුවනු ලැබුවේ මෑතකදී. ඊට පෙර මෙහි තිබූ පුස්තකාලය වටිනා පුස්කොළ පොත් 800කින් සහ හම් පොත් දහසකින් පමණ සමන්විත ඌව පළාතේ තිබූ එකම පුස්තකාලය වුණා. ඒ පොත් බොහෝ ප්‍රමාණයක් විවිධ අවස්ථාවල විනාශවී ගොස් තිබෙනවා.
සුවිශේෂී වූ ඓතිහාසික වටිනාකම් රැසක් සහිත මේ උමාඇළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතීන් වහන්සේ වන්නේ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උමාඇළ ජිනරතන ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ වන විටත් මේ ප්‍රදේශයේ ආගමික ශාසනික හා සමාජීය කටයුතුවලට මුල්වෙමින් ප්‍රදේශයට ඉමහත් සේවයක් වන ස්ථානයක් බවට මේ විහාරස්ථානය පත්ව තිබෙනවා.
හාලිඇළ - විජේරත්න රත්නායක