බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් කොළඹ අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ කඩුවෙල නගරයේ උස් කඳුගැටයක් මත කැලණි නදියට මුහුණලා පිහිටා තිබෙන වන්දනීයත්වයට පාත්‍ර වූ දේවාල ස්ථානයක් ලෙස කඩුදෙවොල සිද්ධ රන්කඩු පත්තිනි මහා දේවාලය හඳුන්වා දිය හැක.
ඉතිහාසගත වාර්තා අනුව මෙම ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලය vi වන පැරකුම්බා රජ සමයටත් පෙර ගජබා රජ සමය දක්වා ඉතිහාසයකට දිවයන බව මෙම දෙවොල වටා ගෙතී ඇති ජනප්‍රවාදවල දැක්වේ. කඩුදෙවොල වූ කලී පත්තිනි, මැණික් බණ්ඩාර වැනි මහා දෙවිවරුන්ගේ මෙන්ම සීතාවක රාජසිංහ, සීතාවක මායාදුන්නේ වැනි රජවරුන්ගේ පාදස්පර්ශය ලත් ස්ථානයකි.
මෙම දේවාලය පිළිබඳ වූ ජනප්‍රවාදයකට අනුව මෙම දේවාලස්ථානයට අයිතිවාසිකම් කියමින් මෙහි අධිපති දෙවියන් වූ මැණික් බණ්ඩාර දෙවියන් හා බණ්ඩාර හත්කට්ටුවේ සහෝදර දෙවියන් අතර ඇති වූ විසම්මුතියකදී පත්තිනි දේව මෑණියන් මෙම ස්ථානයට වැඩමවා එම ආරවුල සංසිඳුවා මැණික් බණ්ඩාර දෙවිදුන්ට මෙම දෙවොල බාරදුන් බවයි.
එසේම පෘතුග්‍රීසීන් බෞද්ධ දේවාල විහාර විනාශ කර වටිනා පුරා වස්තු කොල්ලකද්දී එම දේවාලවල කපු මහතුන් මැණික් බණ්ඩාර දෙවිදුන්ගේ දේවාභරණ රැගෙන මෙම කඩුදෙවොල් කන්දට පලා ආ බවත් එම දේවාභරණ මෙම කඩුදෙවොල් කන්දේ සඟවා තැබූ බවත් vi වැනි පරාක්‍රමබාහු රජු විසින් මැණික් බණ්ඩාර දෙවියන් උදෙසා පූජා කළ %රන්කඩුව^ මෙම දේවාල භූමියේ පොළව යට තැන්පත් කර ඇති බවත් විශ්වාස කෙරේ.
විදේශ ආක්‍රමණ හේතුකොට ගෙන i වැනි රාජසිංහ රජුගේ වියෝවෙන් පසු ඓතිහාසික සිද්ධි රැසකින් සමන්විත පැරණි දේවාලයත් බළකොටුවත් විනාශ වන්නට විය. මෙම ඓතිහාසික පුදබිම නැවත එළිපෙහෙලි වී දෙවොලක් බවට පත්වන්නේ තවත් සුවිශේෂ වූ සිදුවීමකිනි.
එනම් මෙම දේවාල භූමියට අයිති කෑලෑ පෙදෙස එළිකර ගොවිතැන් කටයුතු කළ ගොවීන් පිරිසක් තමන්ගේ දහවල් ආහාරය සමග වල්ඌරු මස් ගෙනැවිත් තිබුණු අවස්ථාවේදී මෙම භූමිය තුළින් නාගයන් මතුවීමෙන් ගොවීන් බියට පත්ව ඇති අතර ඉන් අනතුරුව එම භූමියෙන් වල්ඌරු මස් ඉවත් කළ පසුව නාගයන් නොපෙනී ගොස් ඇත. මෙම මෙම ස්ථානය ශුද්ධ වූ ස්ථානයක් බව වැටහී එම භූමියේ පහන් අාලෝක දල්වා සමාව අයැද තිබේ. ඉන් පසුව මෙම ස්ථානයේ දේවාලයක් ඉදිකර උඩරට නුවර ප්‍ර‘දේශයේ විජේතුංග දේව ගැතිවර පරම්පරාවෙන් කපු මහතෙකු ගෙන්වා බාරදී තිබේ.
පරම්පරාවෙන් පරම්පරාවට සේවය කරමින් පැමිණ 1983 වසරේ සිට වර්තමානය වන විට මෙම සිද්ද රන්කඩු පත්තිනි මහ දේවාලයේ භාරකාරත්වය උසුලනු ලබන්නේ කුලරත්න විජේතුංග ප්‍රධාන කපු මහතා විසිනි. එම කපු මහතාගේ වසර 35 ක සේවා කාලය තුළ දේවාලය අංග සම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත් කර ඇත.
එසේම ඉපැරණි බෝධීන් වහන්සේ වටා අටවිසි පිළිම වහන්සේලා තැන්පත් කර දර්ශනීය රන් වැටක්, බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් තෙමහල් ගොඩනැගිල්ලක්, එහි උඩුමහලේ අලංකාර ධාතු මන්දිරයක් ද ඉදිකර ඇත. තවද චෛත්‍ය රාජයාණන් වහන්සේ සහිතව විහාර මන්දිරයක්, අලංකාර නර්තන මණ්ඩපයක්, රැස්වීම් ශාලා, දානශාලා, විශ්‍රාම ශාලා සහ උත්සව කාලවලදී නර්තන කණ්ඩායම්වලට නැවතීමට නැවතීම් ශාලාවක්ද, විෂ්ණු, සමන්, නාථ, කතරගම, විභීෂණ, ගණ, ඊෂ්වර, ලක්ෂ්මී, දැඩිමුණ්ඩ, මැණික් බණ්ඩාර, සරස්වතී, දෙවොල්, මොරටු, රංවල, භද්‍රකාලී ආදී දෙවිවරුන් උදෙසා දේව මන්දිරද පත්තිනි මහා දේව මන්දිරයට අමතරව ඉදිකරවා තිබේ.
දේවාලස්ථාන ඇසළ පෙරහැරේ දේවා ආභරණ වැඩම වීමට අවශ්‍ය වූ හස්තිරාජයකු 2005 වසරේදී හිටපු අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගෙන් ඉල්ලීමක් කර එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ලබා ගන්නා ලදී.
සිද්ද රන්කඩු පත්තිනි දේවාලයේ 206 වැනි ඇසළ පූජා මංගල්‍යය මෙම ජූලි මස 19දා ශුභ මොහොතින් නුවර සම්ප්‍රදානුකූලව මගුල් කප් සිටුවීමෙන් ආරම්භ කරන ලදී. මේ අනුව චාරිත්‍රානුකූල කුඹල් පෙරහර, මල් පෙරහැර පවත්වා ජූලි මස 29 දින රාත්‍රී දේවාරාධනා දැකුම් තැබීම සිදු කර මෙදිනම රාත්‍රී 11.00 ට සධාතුක ධාතු කරඬුව දේව ප්‍රතිමා දේව ආභරණ පාවාඩ පිට වැඩම කරවීම සිදු කෙරිණි. අනතුරුව පෙරේදා (04) රාත්‍රියේ සිට මෙම මස (11දා) දක්වා රාත්‍රී දේව දානය දී වීථි මහා පෙරහර පැවැත්වේ.
මෙම මස 10-11 දෙදින තුළ රාත්‍රී 7.00 දේශපාලඥයන්, දේවස්ථානයට අයිති ගම්මානයන්හි ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දේව ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දේව පූජා පැවැත්වීමෙන් පසුව අගෝස්තු 12 වැනි ඉරුදින අලුයම වාර්ෂිකව පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යය කැලණි නදියේ බුලත් ගම්පත සීමාවේදී සිදු කිරීමට නියමිතය. අනතුරුව හේවාගම රජ්ජුරුවන්ගේ තොටුපළින් දේව ආභරණ වැඩමවා අලි ඇතුන් නැටුම්වලින් සමන්විත මහා පෙරහර හේවාගම රාජසිංහ මාවත ඔස්සේ ගමන් කර 177 බස් මාර්ගයෙන් කඩුවෙල මංසන්ධිය පසු කරමින් පස්වරු 1.00 පමණ දේවාලයට ගෙවදීමට නියමිතය.
සැමට සෙත්පතා පවත්වනු ලබන වාර්ෂික ගිණිමඩු, දෙවොල් මඩු මංගල්‍යය මෙම මස (18දා) රාත්‍රි‘යේදී ද ගිනිමැල පෑගීමේ මංගල්‍යය (19දා) රාත්‍රි‘යේදී ද ගරායක් දේව ශාන්තිය (29දා) රාත්‍රි‘යේදී ද පැවැත්වීමෙන් 2018 ශාන්තිය 206 වැනි ඇසළ පූජා මංගල්‍යය නිමාවට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
ආසිරි දමින්ද