කෑගල්ල ගලිගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඓතිහාසික බිසෝවෙල රජමහා ලෙන් විහාරයේ ඇතුළත ඇති මහනුවර යුගයට අයත් චිත්රවලින් කොටසක් කාලයක සිට විනාශ වෙමින් පවතින බව විහාරාධිපති හා ගලිගමුව දඩුවළගනේ ශ්‍රී චන්දෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ලේඩියංගල සෝරත ස්වාමීන් වහන්සේ පැවසූහ.
කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට ගලිගමුව නගර මධ්‍යයෙහි වම් පසට වන්නට පිහිටා ඇති ඓතිහාසික ගලිගමුව බිසෝවෙල ලෙන් විහාරය පෙනෙනු ඇත. නගර මධ්‍යයේ අලංකාර කඳු පෙදෙසක පිහිටා ඇති මෙම ලෙන් විහාරය කෑගල්ල ප්‍රදේශයේ ඇති ලෙන් විහාර අතරින් ඉතාමත් වටිනා හා දැකුම්කලු තවත් සුවිශේෂී ලෙන් විහාරයකි.
ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට මෙම ලෙන් විහාරය අයත්විය හැකි බවත්, ගෝඨාභය රජු විසින් මෙම අපූරු ලෙන් විහාරය ඉදි කරන්නට ඇති බවත් පුරාවිද්‍යා උපදේශක, ග්රන්ථ කතෘ, බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී සහ ශාස්ත්‍ර විශාරද එම්.ඩී. එම්.එස්.යටවර මහතා විසින් රචනා කර ඇති ගලිගමුව බිසෝවෙල රජමහා ලෙන් විහාරය අසිරිය^ නමැති ග්‍රන්ථයේ සඳහනක් කර තිබේ.
තවද මෙම ලෙන් විහාරයේ කටාරම කොටසක්ද ඇත්තේ එම යටතේ විය හැකි බව එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. පසුව කලක් මෙම ලෙන් විහාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබූ අතර ලෙනේ කටු කොහොල් අලවා යළි අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් යළි ගොඩනගා ඇති බවටද සඳහන්ය. ඒ අනුව මෙම ලෙන් විහාරයේ ඇති සියලුම චිත්‍ර මහනුවර යුගයට අයත් විය හැකි බවද යටවර මහතා සඳහන් කර තිබේ. ලෙන ඇතුළත ප්‍රධාන බුදු පිළිමයක් හා තවත් පිළිම 02කි. පසු බිත්තියෙහි සැරියුත් මුගලන් දෙනම බුදුරදුන්ට සෙවණ දුන් මුචලින්ද නාග රාජයාද නිර්මාණය කර තිබේ. මෙම ලෙන් විහාරයේ ඇතුළත දිග අඩි 18යි අඟල් 03කි. පළල 15 අඟල් 10කි. උස අඩි 15කි.
මෙම ලෙනේ චිත්රවල නෙළුම් මල් පිළිබිඹු කරවන අතර, පටාචාරා කතා පුවත ඇතුළු ජාතක කතා රැසක් මෙහි නිර්මාණය කර ඇති අයුරු දක්නට ලැබේ. මෙහි බොහෝමයක් චිත්‍ර විනාශ වෙමින් පවතී.
වට්ටාරම අරහත්ත මලියදේව රජමහා විහාරයට අයත් භික්ෂු භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අතීතයේ මෙය පවත්වාගෙන ගොස් තිබූ අතර, මෙරට සිටි අවසාන මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ, උඩුකඩ විහාරයේ සංඝරක්ඛිත හිමි, තිස්සභූති හිමි, වනගුප්ත මලියදේව යන හිමිවරුන් මුල් යුගයේ මෙහි වැඩ වාසය කර ඇත.
එතරම් ඓතිහාසික පසුබිමක් ඇති මෙම ලෙන් විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බවත්, එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විහාරයේ අභාවය පිළිබඳ දැනුම්දුන් අතර, ඊට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණු බවත් වර්තමාන විහාරාධිපති හිමියෝ පැවසූහ.
වසර ගණනාවක් පැරණි එදා සිට අද දක්වා විහාරය භාරව සිටි ස්වාමීන් වහන්සේලා මෙම අගනා කලාගාරය රැකගෙන ආ සේම ඉදිරි අනාගත පරම්පරාවට උරුම කරදීම හා ආරක්ෂා කර දීම තම අරමුණ බව පැවසූ විහාරාධිපති හිමියෝ මැකී ගොස් ඇති ලෙන් චිත්‍ර නැවත ප්‍රතිසංස්කරණය කර දීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
චමින්ද ජයලත්