ඌව පරණගම උළුගල රජමහ විහාරය මේ වන විට විනාශ වී යෑමේ අවදානමකට ලක්ව තිබේ. වළගම්බා රජු විසින් ඉදි කළ බවට පැවසෙන මෙම විහාරස්ථානයේ ඇති වසර සිය ගණනක් පැරණි ආවාසයෙහි වහලය, බිත්ති දිරාපත්ව කඩාවැටීමට ආසන්නව පවතී. මේ අතර එහි තිබෙන පෞරාණික කැටයම් යෙදූ දොර ජනෙල් හා ලෙන් විහාරයේ තිබෙන මහනුවර යුගයට අයත් චිත්‍ර හා මූර්ති විනාශයට පත්ව ඇත.
මෙම විහාරස්ථානයෙහි පෞරාණිකත්වය හේතුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසරය නොදෙන බව උළුගල රජමහ විහාරයේ විහාරවාසී අලුත්නුවර පඤ්ඤාරතන හිමියෝ පවසති.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
& මේ ප්‍රදේශයේ ජීවත්වන බොහෝ පිරිසකගේ වන්දනාමාන කටයුතු සඳහා ඇති මේ විහාරස්ථානය දවසින් දවස පරිහානියට පත්වෙනවා. නමුත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස් වී තිබෙනවා. මේ නිසා පෞරාණික ආවාසගෙයි සහ ලෙන් විහාරයේ තිබෙන චිත්‍ර, මූර්ති දිනෙන් දින විනාශයට පත්ව යනවා. රජයේ අවධානය මේ විහාරය කෙරෙහි යොමු වුණොත් පමණක් මෙය රැකගැනීමට පුළුවන්* යැයිද පවසා සිටියහ.
තමන්ගේ ආගමික කටයුතු සඳහා ඇති මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වහා අවසර ලබා දෙන්නැයි ප්‍රදේශයේ බැතිමත්හු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි