පදිංචිව සිටි ඉඩම උකසට තබා ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ බිරිඳ ගැන තොරතුරක් නොමැති වීමත්, දරුවන් ජීවත් කරවීමට ආර්ථික ශක්තියක් නොමැති වීමත් නිසා දිඹුලාගල ප්‍රදේශයේ දමිළ පියෙකු සිය දරුවන් සිවුදෙනාම පැවිදි කරවා තිබේ.56 හැවිරිදි වියෙහි පසුවන සිත්තිරවේලි සුන්දරලිංගම් නම් එම පියාද දකුණු අත අප්‍රාණිකව ඇස් පෙනීමේ දුර්වලතාවක් නිසා මේ වනවිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නවාතැන් ගෙන සිටියි.
ඔහු සිය දරුවන් සිවුදෙනා අතරින් පිරිමි දරුවන් තිදෙනා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේද, දැරිය පොළොන්නරුව නව නගරයේ පිහිටි අසරණ සරණ සුගත විශාකාරාමයේද පැවිදි කරවා තිබේ.සෙවණපිටියේ ධම්ම දේවාලංකාර (16), ධම්මසේනාලංකාර (14), ධම්මදීපාලංකාර (09) සහ සෙවනපිටියේ විද්රාතාදේවානි සිල් මාතාව (11) නමින් පැවිදිව සිටින මෙම දරුවන් සිවුදෙනා මේ වනවිට පිරිවෙන් අධ්‍යාපනය ලබති.
44 හැවිරිදි ඔවුන්ගේ මව වන කන්දකුට්ටි කමලපූර්ණී නමැත්තිය මීට වසර දෙකකට ඉහතදී සෞදි රටේ ගෘහ සේවයට ගියද ඇය පිළිබඳව මාස හයක සිට තොරතුරක් නොමැති බවත්, දරුවන් පෝෂණය කිරීමට කිසිදු අයෙකු නොමැති වීමෙන් ඔවුන් පැවිදි කිරීමට තීරණය කළ බවත් සිත්තිරවේලි සුන්දරලිංගම් මහතා පැවසීය.
වැලිකන්ද, සෙවණපිටිය, කරපොළ ගම්මානයේ පදිංචිව සිටියදී පවුලේ ආර්ථික අපහසුතා නිසා රට යෑමට මුදල් නොමැතිව තැරැව්කාරියකගේ කීමට තමන් පදිංචිව සිටි ඉඩම රුපියල් 110,000 ක මුදලකට උකසට තබා බිරිඳ සෞදියේ ගෘහ සේවයට යැවූ බවද ඔහු කීය.මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ වසරක් අධ්‍යාපනය ලබා ඇති සුන්දරලිංගම් මහතා වසර 11 ක් චෙංකල්අඩි කච්චේරියේ කාර්ය සහායකයෙකු ලෙසද සේවය කොට ඇති අතර, එහි වැටුප් ප්‍රමාණවත් නොවීමෙන් පොළොන්නරුව වී මෝලකද සේවය කර තිබේ.
“මගේ නෝනා මුලින්ම රට ගියේ පදිංචි ඉඩම් උකස් කරලා. දරුවෝ ජීවත් කරවන්නයි, ස්ථිර ගෙයක් හදාගන්නයි රට යනවා කීවට පස්සේ මගේ බයික් එකත් උකස් කරලා රුපියල් 25,000 ක් හොයලා දුන්නා. රට ගියාට පස්සෙ නෝනා ඉස්සර මටයි, දරුවන්ටයි කතා කළා. දැන් දෙවැනි වරට සෞදියට ගිහින් මාස හයකින් කිසිම කතාවක් නැහැ. ගිහින් දැන් අවුරුදු එකයි මාස අටක් වෙනවා. සල්ලි එව්වෙත් නැහැ. දරුවො හතර දෙනා ජීවත් කරන්නත් මට යමක් කමක් කරගන්න ඇස් පේන්නෙ නැහැ. වැඩක් කරගන්නවත් මගේ එක අතක් පණ නැහැ. මේ දරුවන් එක්ක මම කරපොළ ඉද්දි එක කාන්තාවක් ඇවිත් රුපියල් ලක්ෂ 05කට දරුවො හතර දෙනාම ඉල්ලුවා. මට ඉන්න හිටින්න තැනක් නැති නිසාත්, දරුවො අරන් යයි කියලා බයටත් දිඹුලාගල සති පොළේ හිස් කඩයක ටික කලක් හිටියා.
ඉතිං මට තේරුණා මේ දරුවො ජීවත් කරවන්න මට කීයක්වත් හොයාගන්න බැරි බව. පස්සෙ අවස්ථා දෙකකදී පුතාලා තුන්දෙනයි, දුවයි මහණ කළා. දැන් දරුවො පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. මට ඕන දැන් මැරෙනකල් ජීවත්වෙන්න මට කියලා ඉඩමකුයි, ගෙදරකුයි. ඉතින් කවුරු හරි පිංවතෙක් ඉන්නවා නම් මට ස්ථිර ගෙයක් හදලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දරුවො බලන්න ඕන හන්දා මම පන්සලේ නැවතිලා ඉන්නවා. එයාලාට හම්බ වෙන දානයෙන් කොටසක් ගෙනල්ලා උදේට, දවාලට කවලා යනවා. දුව බලන්න අපි සතියකට සැරයක් නව නගරය සුගත විශාඛාරාමයට යනවා. අපට මේ දිඹුලාගල පන්සලේ ලොකු හාමුදුරුවො වගේම බෝධිමාලංකාර හාමුදුරුවොත් උදව් කරනවා"යනුවෙන් සිත්තිරවේලි සුන්දරලිංගම් මහතා තවදුරටත් කියා සිටියේය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ මේ පිළිබඳව අදහස් දක්වමින්,"දිඹුලාගල ඉතිහාසයේ දෙමළ පවුලක දරුවන් හතර දෙනෙක් මීට පෙර පැවිදි වෙලා නැහැ. සම්බුද්ධ ශාසනික මෙහෙවරට දමිළ දරුවන් හතර දෙනෙක් පූජා කළ ඒ පියතුමා ඉතාම අසරණයි. මේ කතාව රටට ලෝකවාසීන්ට ආදර්ශමත් කතාවක්. දිඹුලාගල නාහිමි මාතර කිතලගම සීලාලංකාර හාමුදුරුවෝත් ජාති, ආගම් භේද නැතිව සිංහල, ආදිවාසී, දමිළ අය ශාසනයට ඇතුළත් කරගත්තේ හැමෝටම ආදර්ශයක් ලබාදීමට.
මේ පැවිදි දරුවන්ගේ අම්මා රට ගිහිල්ලා තොරතුරක් නැහැ. තාත්තා අසරණ වෙලා ඇස් නොපෙනී පන්සලේ ඉන්නවා. කවුරු හරි පිංවතෙක් මේ තාත්තාට ස්ථිර ගෙයක් හදලා දෙනවා නම් ඒක මහා පිංකමක්" යනුවෙන් පැවසූහ.
මනම්පිටිය නිමල් ජයරත්න