- ඇසළ පොහොය දහම් පඬුරකි -
"මං බුදුරජාණන් වහන්සේගේ දියණියක්,
කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ..."
සුභා තෙරණිය කියන්නෙ මේ ගෞතම බුද්ධ ශාසනයේ රහත් තෙරණියක්. එදා, ජීවක අඹ වනයේ සුභා තෙරණිය ගමන් වඩිද්දි, ඇය ඉදිරියේ ඇගේ ගමන් මාර්ගය අවහිර කරමින් හිටගත්තෙ, පහත් ආශාවන් ඉටුකරගන්න උත්සාහ කළ සල්ලාලයෙක්. මේ සිදුවීම රහතන් වහන්සේලාගේ ස්වභාවය තේරුම් ගන්න හරි අගනා තැනක්. මොකද, අපේ භවය හැදෙන්නෙ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හයේ අවිද්‍යා සහගත ක්රියාකාරීත්වයෙනුයි. නමුත්, රහතන් වහන්සේලා ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හයේ සත්‍ය අවබෝධ කරලයි තියෙන්නෙ. පටිච්ච සමුප්පාදය නොහැදෙන ස්වභාවයකට පත්කරමින්, විමුක්තියත්, ඤාණයත් ස්පර්ශ කරලයි ඉන්නෙ. එසේ වුණත්, සාමාන්‍ය ලෝකයාට රහතන් වහන්සේගේ වුණත් පෙනෙන්නෙ ඇස් දෙකක්, කන් දෙකක්, කයක් ආදී වශයෙන් විතරයි. සුභා තෙරණිය ඉදිරියට පැමිණි සල්ලාලයා දැක්කෙත් එච්චරමයි? බලන්න එහෙම දැකල ඔහු කියපු දේ,
"ඔයා තවමත් තරුණයි. ළාමක නෑ. ඔය මහණ ජීවිතෙන් මොනව කරන්ටද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේ අපි කම් සැප විඳිමු. ඔයා ගැන උපමා කියන්ටත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ සරසපු රත්ත්‍රන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගෙයි. ඇත්තෙන්ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේ එකතු වෙලා ඉඳිමු. ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියකගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගිය වෙන කෙනෙක් මට නෑ. ඉතින් ඔයා මං කියන දේ කරනවා නම්, අපේ ගෙදර යමු. ඔයාගෙ ඇස් දෙක මුව අඟනකගෙ වගේ ලස්සනයි. කඳු අතරේ ඉන්න කිඳුරියකගෙ වගේ ලස්සනයි. ඔයාගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්නකොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාවමයි. ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මානෙල් පෙති වගෙයි. ඔයාගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාවමයි. දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුණු ඇස් ඇති ඔයා, කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනවා. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දේකට ආශා නෑ."
කාමයෙන් මත් වූ මේ පුරුෂයාගේ වචනයට ඒ පුණ්‍යවන්ත සුභා තෙරණිය දෙන පිළිතුර ආශ්චර්යයි...
"කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරය ගැන, අමු සොහොනම පුරවන මේ ශරීරය ගැන, ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නෙ කොහොමද? බිඳීයන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකින කොට මට නම් ඇති වෙන්නෙ කළකිරීමමයි. ආයුෂ්මත, ඔබ වැරදි පාරකයි යන්න හදන්නෙ. ඔබ සඳමඬලයි කෙළි බඩුවක් කරගන්න හදන්නෙ. ඔබ මහමේරු පර්වතේ උඩින් පැනල යන්නයි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං, බුදුරජාණන් වහන්සේගේ දියණියක්. මං තුළ රාගයක් ඇති කරවන්න පුළුවන් කිසිම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලවත් මං දැන් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින්ම නැති කරල දැම්මා. නුවණින් කල්පනා නොකරන ගැහැණියක්ව නම්, ශාස්තෘන් වහන්සේව ධර්මය තුළින් නොදැකපු ගැහැණියක්ව නම්, අන්න එබඳු ගැහැණියක්ව නම් පොළොඹවා ගන්න පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාවයි ඔබ වෙහෙසවන්නෙ. මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත්, ඒ සැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ.
ආයුෂ්මත, මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මං ගමන් කරන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මං රාග හුල් උදුරල දැම්මා. ආශ්‍රව නැති කරල දැම්මා. මගේ හිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතරයි. මං දැකල තියෙනව දර ලීවලින් හදපු ලස්සනට කැටයම් කරපු රූකඩ. නූල්වලින් බැඳපු ඒ රූකඩ එක එක විදියට නටනවා. ඒ නූල්, දර කැබලි ඔක්කොම කෑලිවලට කඩල දාල තැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ, ආයෙමත් ඒ රූකඩ දකින්ට ලැබෙන්නෙ නෑ. ඒ රූකඩවල කොයි කෑල්ලටද සිත පිහිටුවා ගන්නෙ. මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නෙ නෑ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්නද? කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳල තියෙනවා. ඉතින් ඒක, ඇත්ත මිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්න නිසයි. ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකුගේ මායාවට හසුවුණා වගේ, සිහිනෙකින් රන් රුවක් දැකගත්ත වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙන බිඳෙන රූපයක් දැක්ක වගේ හිස් දෙයකටයි අහුවෙලා ඉන්නෙ. ගහක බෙනයක තියෙන ලාටු වගේ, මේ ඇස්වල තියෙන්නෙ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළුත් එක්ක එකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ."
අතිශය සුන්දර රූ සපුවකට උරුමකම් කීවත් සුභා තෙරණිය කිසිම දෙයකට ඇලුණෙ නෑ. නිකෙලෙස් සිතකින් යුතු ඒ උත්තමාවිය ඒ නිමේෂයෙන්ම තමාගේ ඇඟිලි ඇහැ ඇතුළට දාල, නහර වැල් බැමි කඩල, ඒ ඇහැ ගලවලා, "මෙන්න ඔබ කැමති ඇහැ... අරගෙන යන්න...!" යැයි අර පුද්ගලයා වෙත පානවා. ඔහුගේ රාගය ඒ ක්ෂණයෙන් දුරුවී, සුභා තෙරණියගේ දෙපා මුල වැඳ වැටෙන්න තරම් ඒ සිදුවීම ඔහු සලිත කරනවා.
"බ්‍රහ්මචාරී පින්වතිය, ඔබ සුවපත් වේවා...! ආයෙ නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ආයෙ නම් මම ඒ වගේ කතාවල් කියන්නෙ නෑ..." යැයි කියනවා. දැන් සුභා තෙරණිය රුධිරය වෑහෙමින්, ඒ ඇසත් අතින් අරගෙන ඒ මොහොතේම වඩින්නෙ සැවැත් නුවරට. බුදුරජාණන් වහන්සේ පෙනෙන සීමාවට ඇය වඩින කොටම ඒ ඇහැ කලින් වගේම ප්‍රකෘතිමත් වෙලා සුභා තෙරණිය සුවපත් වෙනවා. නිකෙලෙස් සිතේ ආශ්චර්යය මෙයයි.
- සියලු සත්වයෝ දහමින් නිවී සැනසෙත්වා...!