මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතය තුළ විවිධාකාර අවස්ථාවලදී දුක් පීඩා, සිත් තැවුල්, කැළඹීම්වලට මුහුණපෑමට සිදු වේ. එය ස්වාභාවික දෙයකි. එබඳු සිදුවීම්වලදී අපි දුර්මුඛ වෙමු. එපමණක් නොව ඉතා දැඩි කලකිරීමක්ද ඇති වේ. මෙහිලා අපගේ අවධානය විශේෂයෙන් යොමුකළ යුතු කාරණයක් තිබේ. එවැනි අත්දැකීම්වලට මෙලොව වෙසෙන සියලු දෙනාට මුහුණදෙන්නට සිදුවන බවයි. අපගේ දුක් කඳුළුවලදී සිතෙන්නේ අපට පමණක් මෙවන් අමිහිරි, දුෂ්කර කටුක අත්දැකීම් පැමිණෙන බවයි. එහෙත් අපට වඩා අනේකවිධ ගැටලුවලට මුහුණපාන පුද්ගලයන් සම්බන්ධව කල්පනාවට ගත යුතු වේ.
එපමණක් නොව අපට කලින් ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය කුරුස ගමන තුළ වචනයෙන් විස්තර කළ නොහැකි දුක් කඳුළු සාගරයකට මුහුණදුන් බවද මතකයට ගත යුතුය. කායික, මානසික, සමාජීය වශයෙන්ද ඉතා අන්ත අසරණ තත්ත්වයකට එතුමාණෝ පත්වූහ. එතුමාණන්ගේ ශ්‍රී ශරීරයේ තුවාල 5455 ක් පැවැති බවට පතපොතේ සඳහන් වේ. ඒ නිසා අප දුක්ඛිත අවස්ථාවලදී ජේසුතුමාගේ කුරුසයේ අත්දැකීමට බද්ධ විය යුතුය. උන්වහන්සේ එදා හෙළන ලද රුධිර ධාරාවලින් අපගේ ශාරීරික, මානසික, තුවාල සුවවන බැව් භාවනාත්මකව අත්දකින්නට ප්රයත්න දැරිය යුතුය. ජේසු සමිඳුන් අප දුක් කඳුළැලි හෙළන විට සැනසෙන්නට, සතුටු වන්නට යම් යම් දේ ලබාදී ඇති බවද සිහියට ගත යුතුය. එතුමා අපට යම් දෙයක් ලබා නොදෙන්නේ එය අපට නුසුදුසු වීමට ඉඩ ඇති නිසාවෙනි. අපට අයහපතක්, විපතක් වීමට අවස්ථා තිබෙන නිසා වන්නට පුළුවන. මතු කලෙක එය ලැබීම යෝග්‍ය නිසා වීමට පුළුවන. නොඑසේ නම් දෙවිඳුන් අපගේ ජීවිතය හා ආශ්රිත සැලසුම්වල මිනිස් මනසට ගෝචර නැති කරුණක් හේතු කොටගෙන වන්නට හැකිය.
එය ප්රත්යක්ෂ කරගැනීම අතිශය දුෂ්කරය. දෙවිඳුන් අපගේ ජීවිතය නම් වූ නිවසේ එක් දොරක් වසන්නේ තවත් දොරක් විවර කිරීමට බව සිතට ගත යුත්තකි. දුක් වේදනා, ප්‍රශ්න තුළින් දෙවිඳුන් අත්දකින්නට යත්න දැරිය යුතුය. ඇතැම් විට අසනීප වේදනා නොමැති නම් දෙවිඳුන් වෙතින් අප ඉවත්වන්නට අවකාශ එමට තිබේ.
මලින්ත බෝපේ ආරච්චි