සම්බුදු තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය දිනය අදට(21දා) යෙදී තිබේ. ලෝකවාසී මිලියන 500 ක් වන බෞද්ධ ජනතාව බුද්ධ වර්ෂ 2560 වෙනි වෙසක් පොහෝ දිනයයි අද සමරති.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සිදුහත් කුමරා බුද්ධත්වයට පත්වීම සහ ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම සිහිපත් කරමින් බෞද්ධ ජනතාව වෙසක් පොහොය සැමරති.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයකි.
එමෙන්ම බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්රවී තිබෙන රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ ද වෙසක් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය නිමිත්තෙන් දාන ශීල භාවනා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් රටපුරා සියලු විහාරස්ථානවල විශේෂ වෙසක් පිංකම් සංවිධාන කර ඇත.
මෙවර රාජ්ය වෙසක් උත්සවය වීරකැටිය ඓතිහාසික නයිගල රජමහා විහාරස්ථානයේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් භෙට(22) පැවත්වීම නියමිතය.