ඊච්චලම්පත්තු කල්ලඩි ප්‍රදේශයේ පිහිටා ඇති පාෂාණ පබ්බත විහාරයෙහි විහාරාධිපති, වෛද්‍ය රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියෝ තම විහාරස්ථානයෙහි සංහිඳියා බෝධිඝරයෙක් ඉදිකිරීමෙහි නිරත වී සිටිති.
එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී කොටි ත්රස්තවාදීන්ගේ මහ විරු ගම්මානයක් ලෙස පැවති ඊච්චලම්පත්තු කල්ලඩිහි අදටත් එකදු සිංහල බෞද්ධ පවුලක් හෝ නොසිටින අතර බහුතරය දමිළ ජාතිකයින් හා මුස්ලිම්වරුන්ය.
කොටි ත්රස්තවාදීහු එකල ස්වර්ණම් බේස් කඳවුර ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ පිහිටුවා තිබූ කොටි හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ යන්ත්‍ර සූත්‍ර සවිකර තිබූ කන්ටේනරය අද බෞද්ධ හිමිනමක් වැඩවසන ආවාස ගෙයකි. ආවාස ගෙය තුළ වැඩවසන්නේ කලකට පෙර බටහිර වෛද්‍යවරයෙකු ලෙස දෙස් විදෙස් සේවයේ නිරතව සිට පසුව සසුන්ගත වූ හිමිනමකි. උන්වහන්සේ වෛද්‍ය රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියෝය.
මෙම පින් බිම දැක බලා ගැනීමට කොළඹ සිට පැමිණෙන්නේ නම් මහනුවර දඹුල්ල පසුකර හබරන කන්තලේ දක්වා පැමිණ අනතුරුව සේරුවාවිල මඩකලපුව මාර්ගයේ ගමන් කළ විට හමුවන ලංකා පටුන මාර්ගය ඔස්සේ කිලෝමීටර් හයක් පමණ ගමන් කළ යුතුය .
මීට අමතරව සෝමාවතිය, සේරුවාවිල - මඩකලපුව මාර්ගය ඔස්සේද තවත් මාර්ග කිහිපයකින්ද මෙම ස්ථානයට පහසුවෙන්ම ළඟා විය හැකිය.
පාෂාණ පබ්බත වෙහෙර සේ හැඳින්වෙන මෙම පින්බිම සතුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවස තරම් දිගු අතීතයකි.
මෙම පින් බිමෙහි දන්ත ධාතූන් වහන්සේ මුල් වරට වැඩ සිටි බව අතීත ජනප්‍රවාදවල සඳහන්ව ඇති බව එහි වත්මන් විහාරාධිපති වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියෝ පවසති.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ලංකාවට ගොඩබැස්සේ මීට මදක් ඔබ්බෙන් පිහිටි ලංකා පටුනෙනි. අද එතරම් දියුණු තත්ත්වයක නොපැවතියද එකල මෙය බෙහෙවින්ම දියුණුව පවතින්නට ඇති බව දේවානන්ද හිමියෝ පවසා සිටිති.
පසු කලෙක මෙම ස්ථානයට වැඩම කළ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මෙහි ඉතිරිව ඇති සෙල්ලිපි කිහිපයක් නිරීක්ෂණය කර මෙහි ඓතිහාසික කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත.
අතීත කතා පුවත් කෙසේ වෙතතත් කොටි ත්රස්තයන්ගේ ග්‍රහණයට නතු වීමත් සමගම මෙම පින්බිම දැඩි පරිහානියකට පත්ව ඇති අතර සෙල්ලිපි කොටා තිබූ ගල් කුලු රැසක් විනාශ කළ ඔවුහු එම ස්ථානයන්හි කොටි හඬ ගුවන් විදුලියේ සම්ප්‍රේෂණ කුලුනු ස්ථාපිත කරන්නට තරම් සැහැසි වී ඇත්තේ අපේ අතීත උරුමයන් පවා තඹයකට මායිම් නොකරමිනි.
පාෂාණ පබ්බත වෙහෙර ගැනත් උන්වහන්සේ මෙසේ පවසා සිටියහ.
&මම මෙහාට අාවේ අහම්බෙන් වගේ. මම ඉස්සර වෛද්‍යවරයෙක්. මේ රටේ බොහෝ ප්‍රදේශවල රෝහල්වල සේවය කළා. ඊට අමතරව මැදපෙරදිගත් සේවය කළා.
කොටි ත්රස්තයෝ අපේ වෙහෙර විහාර කඩා දාන එක ගැන මට ඒ කාලේ ඉඳලම විශාල වේදනාවක් තිබුණා. හරිම අමාරුවෙන් බේරගත්ත මේ රටේ උරුමය විනාශ වෙන එක ගැන මට තිබුණේ විශාල වේදනාවක්. එහෙම හිතල තමයි මම බෞද්ධ උරුමයත් සාසනයත් බේර ගන්න හිතල පැවිදි වුණේ. අන්තිමට මම නතර වුණේ එකම බෞද්ධයෙක්, සිංහලයෙක් නැති මේ ඓතිහාසික පින්බිමේ.
කොහොම වුණත් මම ගිහි කාලේ ගත්ත රියදුරු බලපත්‍රය තියෙන නිසා අදටත් මම වාහන පදවනවා. කවුරුත් මම ගැන දන්න නිසා මගේ වාහන නවත්තන්න යන්නේ නැහැ. මේ ගමේ කෙනෙකු හදිස්සියේ අසනීප වුණාත් ඒ අය රෝහලට ගෙනියන්නේ මම. පන්සලට අවශ්‍ය බඩු ටික ගේන්න ඕන වුණාම මම ලොරියක් අරන් නගරයට යනවා. වාහන එලවන එක භික්ෂුවකට සුදුසු දෙයක් නොවෙයි. හැබැයි ඉතින් මම මේ දේ කරන්නේ මිනිස්සුන්ගේ හිත සුව පිණිස.
ඒ වගේම තමයි මේ පැත්තේ මිනිස්සුන්ට අවශ්‍ය බේත් ටික දෙන්නත් මම වැඩපිළිවෙළක් පටන් අරන් තියෙනවා. බේත්වල වියදම විතරක් අරගෙන අදටත් මම ලෙඩ්ඩු පරක්ෂා කරල ඒ අය සුවපත් කරනවා. හැබැයි මේ පන්සලේ කටයුතු නිසා ඒක දැන් ටිකක් අඩුවේගනයි යන්නේ.
මට නාවික හමුදාවෙන් වගේම පොලීසියෙන් විශාල සහායක් ලැබෙනවා.
මම දැනට ඉන්නේ කොටි හඬ පවත්වගෙන ගිය බංකරේ ඇතුළේ. ඒක ඉස්සර නම් වායු සමීකරණය කරල තිබිල තියෙනවා. හැබැයි ඉතින් දැන් එහෙම නැහැ. දවල්ට ඉන්න බැහැ රත්වෙනවා. මම එළියෙ ගස් යටට වෙලා තමයි ඉන්නේ. මෙහි කන්ටේනර් පෙට්ටිය වටේ මැටි ගහල ඒක තමයි පන්සල කර ගත්තේ. මට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්.
මේ පැත්තෙ ඉන්නෙ හරිම දුප්පත් පිරිසක්. මෙහෙ අම්මල තාත්තලට වයස අවුරුදු 12-15 යි. සීයලට 25-30 යි. ඒ අය මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ එකේ තිබූ බලපෑමත් එක්කයි. ඒවගේම මේ අය මාළු ටිකක් අල්ලගෙන තමා කීයක් හරි හොයා ගන්නේ. හරිම අසරණ පිරිසක්. මම ඒ අයට ප්‍රතිකාර කරන්න වගේම ඉෙගන ගන්නත් විවිධ වැඩසටහන් කීපයක් ආරම්භ කළා.
මේක හරිම ඓතිහාසික තැනක්. මෙතැන බලන්න දකුණේ විශාල පිරිසක් දිනපතාම එනවා. මම ඒ අයට පුළුවන් විදිහට මෙතන අවශ්‍ය පහසුකම් දෙනවා. මෙතන උඩ පැත්තේ සෙල්ලිපි හයක් විතර අදටත් ඉතිරිවෙලා තියෙනවා. ඊට උඩින් පැරණි දාගැබක නටබුන් තියෙනවා. තවත් බොහෝ පෞරාණික දේපොළ මේ පින්බිමේ තියෙනවා. ලොකු සටනක් දීගෙන තමා මම මේව රැකගෙන ඉන්නේ. මොකද අර අළුයට ගිය ගිනිපුපුරු හිටි ගමන් මතුවෙනවා.* යැයිද පවසා සිටියහ
මේ වනවිට උන්වහන්සේ විටින් විට මතුවන ආගම්වාදී හා ජාතිවාදී හැඟීම් යටපත් කිරීමට මෙම පින්බිමේ සංහිඳියා බෝධිඝරය නමින් සෑම ජාතියකම හා ආගමකම පිරිස්වලට වන්දනාමාන කළ හැකි ස්ථානයක් ඉදිකිරීමද ආරම්භ කර ඇත. ලෝකයේ මෙවැනි සංහිඳියා බෝධියක් පිහිටුවනු ලබන ප්‍රථම සිද්ධස්ථානය මෙය බවද උන්වහන්සේ පැවසූහ.
එය සමාධි බුදු පිළිමයකින් , අටවිසි බුදුවරුන් උදෙසා වෙන් කළ කුටි 56කින්, විෂ්ණු, ගණදෙවි, කතරගම දෙවිවරුන් හා හින්දු කතෝලික ඉස්ලාම් අන්‍යාගමිකයින් සඳහා වෙන්වූ කුටි හතකින්ද සමන්විතව ඉදිකිරීමට යෝජිතය. මේ වනවිටත් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඕනෑම කෙනෙකුට දායකත්වය සැපයිය හැකි බවද දේවානන්ද හිමියෝ සමග පැවසූහ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 026 5676777, 071 5469888, 0777 208068 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ වෛද්‍ය රත්නපුරේ දේවානන්ද කිත්ති හිමි, පාෂාණ පබ්බත රාජ මහා විහාරය, වෙරුගල් කල්ලඩි, මාවඩ්චෙනෙයි 31238 ලිපිනයෙන් හෝ උන්වහන්සේ හා සම්බන්ධ වී ලබා ගත හැකිය.
මීට අමතරව විහාරස්ථානය සඳහා ලබා දෙන මූල්‍යාධාර ලංකා බැංකුවේ සේරුනුවර ශාඛාවේ ආරම්භ කර ඇති අංක 71939272 ට හෝ මහජන බැංකුවේ ගිණුම් අංක 233-2001- 5 - 0023652ට හෝ බැර කළ හැකිය.
- මීගහකිවුල එන්.කේ.නිශ්ශංක