අවුරුදු 800ක් තරම් ඈත අතීතයකට හිමිකම් කියන මහනුවර ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය පසුගියදා (26දා) සිට පැවැත්වූ ඇතුල් පෙරහර සමගින් ආරම්භ විය. 31 වැනිදා සිට කුඹල් පෙරහර අද (04දා) දක්වා පැවැත්වෙන අතර රන්දෝලි පෙරහර සමය හෙට (05දා) සිට 10 වෙනිදා දක්වා පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජාතික අනන්‍යතාව තහවුරු කිරීමටත්, අතීත සෞභාග්‍ය ලොවට කියාපෑමටත් වැදගත්ම සාධකයක් ලෙස දැක්විය හැක්කේ ශ්‍රී ලාංකේය පුරාණ නිර්මාණකරුවන්ගේ ධනයත්, ශ්‍රමයත් වැයකරමින් අද්විතීය කලා හැකියාවන් තුළින් පිළිපන් ගෘහ නිර්මාණ, වෙහෙර විහාර හා පිළිම වැනි උසස් ගණයේ කලා නිර්මාණයන්ය.
බුද්ධාලම්භන ප්‍රීතියත්, භක්තියත් එක්තැන් කර නිමවන ලද වෙහෙර විහාර, ධාතු ගර්භ හා පිළිම වැනි දෑ විවිධ හේතූන් නිසා නටබුන් වී ඇතත් ඒ තුළ දක්නට ඇති නිර්මාණාත්මක විදහාපෑම ආශ්චර්යජනකය. මහනුවර, උඩුනුවර, හියාරාපිටිය නම් ගමේ පිහිටි පැන්හල්ගල නම් පර්වතයේ පිහිටි ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයද එවන් පූජනීය වන්දනීය කලා නිර්මාණයකි.
මෙම විහාරය ක්‍රි.ව. 1344 දී ගම්පොළ හෙවත් ගඟසිරිපුර රජකළ හතරවැනි බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය සමයේ ඉදිවූවකි. රමණීය පරිසරයකින් යුතු වටපිටාවක පිහිටා ඇති ශ්‍රී ලංකාතිලක රජමහා විහාරය සිවුවැනි බුවනෙකබාහු රජුගේ නියමයෙන් ඔහුගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ, සේනාධිලංකාරයන් විසින් කරවන ලද විහාර කර්මාන්තයක් ලෙස හැඳින්වෙයි. ලෝවැසි සියලු දනන්ට වැදගත් ගොඩනැගිලි ස්මාරකයක් වන මෙය බුදුන් මෙන්ම හින්දු දෙවියන් පිදීමටද තනන ලද පූජනීය ගෘහයක් ලෙස විශේෂ තැනක් ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ එකම ගෘහයක් ලෙසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලේ ශ්‍රී ලංකාතිලක විහාර මන්දිරය සහ ශ්‍රී ලංකාතිලක විෂ්ණු මහා දේවාලය වෙන් වෙන් වශයෙන් නිර්මාණය කර තිබීමයි.
විහාර මන්දිරයට යාබදව විශාල සෙල්ලිපි දෙකක් අදත් දක්නට ඇත. සිංහලෙන් හා දමිල භාෂාවෙන් වෙන් වෙන්ව නෙළා ඇති මෙම සෙල්ලිපියේ විහාර කර්මාන්තය සඳහා දායකවූ අය පිළිබඳව විස්තරද, විහාරයේ සිදුකළ යුතු දෛනික රාජකාරී හා විහාරයට පූජාකරන ලද ගම්වරයන් පිළිබඳ විස්තරද ඇතුළත් වේ.
මෙම සෙල්ලිපියම එවකට ගඟසිරිපුර රාජධානියේ කඩවත් සතරින් එකක් වන කුරුණෑගල ඇලවල අමුණෙහිද නෙළා ඇත. මීට අමතරව එකී සෙල්ලිපියෙන් ගම්පොළ යුගයේ මහා විහාරය ලෙස සලකන ලද ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයට එකළ වැසියන් ගෙවිය යුතු අයබදු පිළිබඳවද නියෝග පනවා ඇත.
ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයේ හා දේවාලයේ පුදපූජා පැවැත්වීම හා ආරක්ෂාව පිණිස කුල 18ක පවුල් විහාරයට පූජාකරන ලද නින්දගම්වල පදිංචි කරන ලද අතර, ඉන් එක් කුලයක් වූ පල්ලමු කුලය එකළ ශ්‍රී ලංකාවේ නොපැවැති හෙයින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වා පදිංචි කරවන ලද බව ඉතිහාසයේ දැක්වේ.
දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද මෙම විහාරය ඉදිකිරීමට දකුණු ඉන්දියානු කලා ශිල්පියෙකු වූ %ස්තපතිරායන්^ ඇතුළු ශිල්පීන් පිරිසක් දායක වී තිබේ.
4 වැනි බුවනෙකබාහු රජ සමයේ සිවුමහල් ප්‍රාසාදයක් ලෙස ඉදිකරන ලද මෙම විහාරය ඔහුගේ ඇවෑමෙන් පසුකාලීනව 3 වැනි වික්‍රමබාහු, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ කළ 6 වැනි බුවනෙකබාහු, මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජධිරාජසිංහ හා ශ්‍රී වික්රමරාජසිංහ යන රජවරුන් විසින් ඒ ඒ රාජ්‍ය සමයන්වලදී ප්‍රතිසංස්කරණය කර ගම්වරයන්ද පූජාකර ඇතැයි ඉතිහාසයේ දැක්වේ.
ශ්‍රී ලංකාතිලක රජමහා විහාරය සතුරු කරදර මධ්‍යයේ වසර 800ක කාලයක් ආරක්ෂා කර රැකගැනීමට වෙරගත් භික්ෂූන් පරපුරු දෙකකි. එකළ මෙහෙනවර පරපුරේ කුමාරවරුන්ගෙන් ආරම්භවූ ලංකාතිලක විහාර භික්ෂූ පරපුර, රාජකීයයන්ටත් බණ්ඩාරවරුන්ටත් අකුරු කරවූ රාජකීය වංශයකි. එකී හේතුව නිසා රාජගුරු යන ගරු නාමයකින් යුත් නායක පදවියක් විහාරයට පූජාකර ඇත.
සියම් මහානිකායේ, මල්වතු පාර්ශ්වයේ කර්මාචාර්ය පූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී නාහිමියන් වර්තමානයේ විහාරාධිපති ධුරය හොබවන අතර, විහාරයේ භාරකරු හා ලංකාතිලක විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ලෙස නීතීඥ ප්‍රියන්ත අමුණුගම මහතා කටයුතු කරයි.
වාර්ෂිකව ශ්‍රී දළදා වහන්සේට පූජා පිණිස ඉපැරණි චාරිත්‍රානුකූලව ඇසළ පෙරහර මංගල්‍යය පවත්වනු ලබන අතර, මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගියදා (26දා) දින සිට පැවැත්වෙන ඇතුල් පෙරහර සමගින් ආරම්භ විය. 31 වැනිදා ආරම්භ වූ කුඹල් පෙරහර අද (04දා) දක්වා පැවැත්වෙන අතර, රන්දෝලි පෙරහර සමය හෙට (05දා) සිට 10 වෙනිදා දක්වා පැවැත්වේ. 09 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහර පවත්වා 10 වැනිදා දහවල් පෙරහරින් මෙවර පෙරහර සමය අවසන් වේ.
නුවන් උදාර කරුණාරත්න