වසර තිහක් පැවැති යුද්ධය සමයේ විනාශ වී ගිය පෙරිය පිල්ලුමලේ මහා බෝධි රාජරාම විහාරය සිංහල සහ දෙමළ ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැගීම ටැම්පිටිය පුරාණ රජමහා විහාරාධිපති ටැම්පිටියේ ඥාණානන්ද හිමියන් විසින් ආරම්භ කර තිබේ.
1985 වසරේදී කොටි ත්රස්තවාදීන් විසින් මෙම විහාරස්ථානය ගිනි තබා විනාශ කරනු ලැබීය. පසුව මෙම ප්‍රදේශයේ ජීවත් වූ සිංහල ජනතාව සහ දෙමළ ජනතාව මෙම ප්‍රදේශයන් ඉවත්විය. තිස් වසරක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව පදිංචිවී තිබේ.
ටැම්පිටියේ ඥාණානන්ද හිමියන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා විශාල වැඩසටහන් දියත් කරන අතර, ඒ පිළිබඳව ද්‍රවිඩ ජනතාවගේ සහාය උන්වහන්සේට හිමිව ඇත.
මෙම ස්ථානයේ තිබූ කෝවිල සහ ක්‍රිස්තියානි පල්ලියද යුද සමයේ විනාශ වූ අතර, එම ආගමික ස්ථාන දෙක නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටැම්පිටියේ ඥාණානන්ද හිමියන් සහයෝගයදී තිබේ. අවසන් වරට විහාරස්ථානය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර මේ සඳහා වැඩිම ශ්‍රමදායකත්වය දෙමළ ජනතාව සිය කැමැත්තෙන් ලබාදීම විශේෂත්වයකි.
මෙම වැඩසටහන පිළිබඳව ටැම්පිටියේ ඥාණානන්ද හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.
&අපි වසර තිහක යුද්ධයෙන් හොඳට බැට කෑවා. පන්සල ඇතුළු ආගමික ස්ථාන විනාශ වෙලා ගියා. වසර තිහක් අපි වෛරකාරයන් හැටියට තමයි ජීවත් වුණේ. දැන් යුද්ධය ඉවරයි යුද්ධයෙන් බැට කාපු අපි සහජීවනය ඇති කරගන්න කටයුතු කරනවා. මේ වෙනකොට අපි ජාතීන් අතර සුහදතාව හදන්න විශාල වැඩසටහන් රාශියක් කළා. අද වෙනකොට දෙමළ ජනතාව අපි කෙරෙහි විශාල විශ්වාසයක් තියාගෙන වැඩ කරනවා. මම පන්සල හදන්න කලින් විනාශ වෙලා ගිය ක්‍රිස්තියානි පල්ලිය, කෝවිල හදන්න උදවු කළා. පස්සේ තමයි පන්සල හදන්නේ. මේ සඳහා දෙමළ ජනතාව විශාල වශයෙන් ශ්‍රමදායකත්වය ලබාදෙනවා. මම ඒ අයට කියන්නේ නැහැ ඒ අය සිය කැමැත්තෙන් තමයි මේ සියල්ල කරන්නේ.
මෙම විහාරස්ථානය පන්සලක් විතරක් නෙවෙයි, සිංහල අයට දෙමළ ඉගෙන ගන්න දෙමළ අයට සිංහල ඉගෙන ගන්න මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරනවා. ඒ සඳහා රට වැසියන්ගේ සහයෝගය ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා.*