පරිසර හිතකාමී දේශයක්, යහපත් අනාගත පරපුරක් සහ යහපාලනයක් ඇති කිරීමට කාලය එළැඹ ඇති බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති සහ අගමැති ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාම සහාය ලබාදිය යුතු බවත් ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ අලව්ව, තුල්හිරිය, ජීවනි ඉන්වෙස්ට්මන්ට්ආයතනය විසින් ජාතික නාමල් උයන විහාරයට පූජා කරන ලද පර්චස් 15ක භූමි භාගයේ ඉදිකිරීමට යෝජිත ජාතික නාමල් උයන වීරසිංහ බෞද්ධ ආශ්රමයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමියෝ,
&වර්තමාන ජනාධිපතිවරයා පරිසර හිතකාමී පුද්ගලයෙක්. පරිසරය පිළිබඳ අමාත්‍ය ධුරය හෙබවූ කෙනෙක් හැටියට ප්‍රායෝගිකව කිසියම් අවබෝධයක් ඇති නිසා කළමනාකරණයකින් හා යමක් කිරීමේදී විනිවිදභාවයෙන් හරියට සොයාබලා කටයුතු කරන කෙනෙක් හැටියට මේ කාර්යභාර්ය කිරීම යුගයේ අවශ්‍යතාවක් හැටියටත් මම දකිනවා.
පසුගිය වකවානුව තුළ මේ රටේ විවිධ ජාවාරම්කරුවන්ට වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩදී දැව ජාවාරම, අලි පැටවුන් අල්ලා විකිණීමත්, අපේ රටේ සංස්කෘතික උරුමයක් මහා ප්‍රමාණයෙන් නිදන් හෑරීම වෙනුවෙන් විනාශ කිරීම වැනි දෑ බහුල වශයෙන් සිදුවූ බව නොරහසක්. මෙම අකටයුතුකම් සිදුකළ සියලුම දෙනා ගැන සොයාබලා තරාතිරම නොලබා නීතියේ රැහැනට හසුකර ගැනීම යහපාලනයක් වෙනුවෙන් සිදුකරන තවත් වැදගත් කාර්යයක්.
මේ තත්ත්වයට හේතු පාදක වුණේ හරි හැටි පරිසරයට ආදරය නොකරන, රට ගැන හෝ අනාගත පරපුර ගැන කිසිදු හැඟීමක් නැති මුදල් පසුපස පමණක් හඹා යන වීදුරු කාමරවල සිට පරිසරය ආරක්ෂා කර ගැනීමට උපදෙස් දෙන හා කටයුතු කරන පුද්ගලයන් ඒ තනතුරුවලට පත්කිරීම යැයි මගේ පෞද්ගලික විශ්වාසයයි.
යුගයට ගැළපෙන පරිදි රටකට සංවර්ධනය අවශ්‍යයි. එහි විවාදයක් නැහැ. නමුත් මේ සියල්ල සිදුවිය යුත්තේ පරිසරය ආරක්ෂා කරමින් බව අපි තේරුම් ගත යුතුයි. ගහකොළ නොමැති කල මිනිසාගේ පැවැත්මක්ද නැහැ. රටක කොපමණ සංවර්ධනයක් ඇති වුවත් ඒ සියල්ලම සිදුවිය යුත්තේ පරිසරයට හානියක් නොවන ආකාරයට බව මාගේ පෞද්ගලික විශ්වාසයයි.
මේ තරම් ලස්සන රටක් ලෝකයේ නැහැ. මේ රටට විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගැනීමට බොහෝම පහසුයි. මේ රට සංවර්ධනය කිරීම සඳහා ඕන තරම් ස්වාභාවික සම්පත් මේ රටේ තියෙනවා. හැබැයි මේ සියල්ලම ස්වාභාවික සම්පත්වලට හානියක් නොකර මේවගෙන් ප්‍රයෝජනයක් ගැනීමට නිසි කළමනාකරණයක් තවමත් මේ රටේ නොමැති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි.
පසුගිය මාස කිහිපය තුළ නායයෑම්, භූමිකම්පා, ගංවතුර වැනි ස්වාභාවික විපත්වලින් විශාල වශයෙන් මේ රටේ ජනතාව දුකට පීඩාවට පත්වුණා. එයට හේතුව මේ පරිසරය විනාශ කිරීම බවද අපි තේරුම් ගත යුතුයි.
අපේ ජාතික නාමල් ‘උයන දැකබලා ගන්නට දේශීය සහ විදේශීය සංචාරකයන් ඇතුළුව සියලුම ජාතිවලට ආගම්වලට අයත් සෑමදෙනාම එනවා. මේක මේ රටේ ජාතික සම්පතක්. මෙම අක්කර දෙදහසක් පමණ වූ මෙම සුන්දර වනස්පතිය අනාගත පරපුර වෙනුවෙන් රැකදීම මගෙ කාර්ය භාර්යයි. එයට පවතින රාජ්‍ය පාලකයාගේ පටන් අනිකුත් සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. ඒ නිසා මම බලයේ සිටින ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනා එක්ක සමගියෙන් සහජීවනයෙන් කටයුතු කරනවා.
එයට හොඳම උදාහරණය නම් පසුගිය වර්ෂයේ ජාතික නාමල් උයන රක්ෂිතයට යාබදව පිහිටා ඇති වටිනා පාෂාණයක් වන සුදු තිරිවානා නිධිය විදේශීය ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමට ගිය මොහොතේ මේ රටේ සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් සිදුකර හෙළිදරව් කිරීම නිසා රටේ රාජ්‍ය පාලකයාගේ ඍජු මැදිහත්වීම නිසා එම නිධිය පිහිටි භූමි භාගය ජාතික නාමල් උයන රක්ෂිතයට වෙන්කර ගැනීමට හැකියාව ලැබුණා. එසේනොමැතිනම් මේ ජාතික සම්පත්වල පැවැත්මක් නොමැති බවද සෑම දෙනාම සිතිය යුතුයි.* යැයි පවසා සිටියහ.