Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අධිෂ්ඨාන කළා උන්වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව සියලු දෙවි මිනිසුන්ට බුද්ධෝපස්ථානයේ පින්කම කරගන්නට උන්වහන්සේ දෙස දැක බලා සිත පහදවා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලොව පවතීවා කියලා.
ඒ අනුව සප්ත ධාතූන් වහන්සේලා ප්‍රධානකොට ගත් උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා, අඹ පියලි, සුනුසහල් ඒ වගේම මුං පියලි ප්‍රමාණයට විසිරිලා පැතිරිලා ධාතූන් වහන්සේලා රන්වන් පැහැයෙන් යුක්තව බැබලුණා කියලා මහා පරිනිබ්බාණ සූත්‍ර‘යේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ අධිෂ්ඨානයට අනුව ධාතූන් වහන්සේලා නොවිසිරී පැවතුණා. ඒ අනුව ශාරීරික ධාතූන් වහන්සේලා කියා අපට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ හිඳි අස්ථි කොටස්වලට. අස්ථි ධාතූන් වහන්සේලා යනුවෙන් හඳුන්වන්නෙත් මේ ධාතූන් වහන්සේලාමයි. ඒ වගේම කේශ ධාතූන් වහන්සේලාත් ශාරීරික ධාතූන් වහන්සේලා ගණයට අයත් වෙනවා.
මහා පරිනිබ්බාණ සූත්‍ර‘යේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව නොවිසිරී පවතින ධාතූන් වහන්සේලා හත් නමක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ අනුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සතර දළදා හාමුදුරුවන් වහන්සේලා, ග්‍රීවා ධාතුව, අකු ධාතුව සහ ලලාට ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ පිහිටපු ආකාරයටම නොවිසිරී පවතිනවා. අනිකුත් සියලුම ධාතූන් වහන්සේලා, ශාරීරික ධාතූන් වහන්සේලා මම ඉහතින් සඳහන් කළ ආකාරයට විසිරී පවතිනවා.
ඒ අනුව ලලාට ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ සහ සතර දළදා ධාතූන් වහන්සේලාත් බුද්ධ අධිෂ්ඨානයට අනුව නොවිසිරී පවතිනවා.
විශේෂයෙන්ම මෙම සතර දළදා වහන්සේලා ගත් විට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ රදනක දත් සතර තමයි මේ විදිහට හඳුන්වන්නේ. %දළ^ කියන්නේ උල් කියන අර්ථය, දා කියන්නේ දත්වලට ඒ අනුව දළදාව කියන්නේ උල් දත්වලට.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් දේශනා කළ ස්වාසු දහසක් වූ ධර්මස්කන්දයේ ස්පර්ශය ලබපු පූජනීයත්වයට පත්වුණ දත් හතර තමයි සතර දළදා වහන්සේලා හැටියට පිහිටන්නේ.
ඒ වගේම ලලාට ධාතූන් වහන්සේ කියල හඳුන්වන්නේ උන්වහන්සේගේ නළල්තලයට. අකු ධාතූන් වහන්සේ යනුවෙන් හඳුන්වන්නේ අකු ඇටයයි. ඒ වගේම ග්‍රීවා ධාතූන් වහන්සේ කියන්නේ කොඳු ඇට පෙළේ ඉහළින්ම ඇති ග්‍රෙවි කශේරුකා නම් අස්ථියයි.
සතර දළදා වහන්සේලා අතරින් වම් දළදා වහන්සේ මහනුවරත්, දකුණු දළදා වහන්සේ සෝමාවතී මහාසෑයෙත්, ලලාට ධාතූන් වහන්සේ සේරුවාවිල මංගල මහා සෑයෙත්, අකු ධාතූන් වහන්සේ ථූපාරාම ස්ථූපයේත්, ග්‍රීවා ධාතූන් වහන්සේ මහියංගණය ස්ථූපයේත් වැඩ හිඳිනවා.
ඒ නිසාම ශ්‍රී ලංකාව කියන්නේ ධාතු ගර්භයක් වගේ. ලොවට යහපත දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් වී තිබෙන්නේ ලංකාවේ.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් යුතුව ඉතිරි වුණ සප්ත ධාතූන් වහන්සේලාගේ වැඩිම ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් ඉතිරිව තිබෙන්නෙත් ලංකා ධරණිතලයේමයි.
ලෝකයට ශාරීරික ධාතූන් වහන්සේලා නමක් දායාද වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවයි. උන්වහන්සේ ජීවමානව සිටින කාලය තුළ ශාරීරික ධාතූන් වහන්සේ වන්දනාමාන කරන්නට බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටි කේශ ධාතූන් වහන්සේලා ලෝකයට දායද වෙන්නේ උන්වහන්සේ වැඩ හිඳිනා කාලයේදීමයි.
ඒ නිසා මේ කේශ ධාතූන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතරින් මුලින්ම වන්දනාවට පාත්‍ර වුණේ.
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ කේශ ධාතූන් වහන්සේලා ලබාදුන්නා. ඒ වගේම ලංකා ගමනයේදී මහියංගණයට වැඩම කළ අවස්ථාවේදී මහියංගණයේ සුමන දෙවි රජුන්ට කේශ ධාතූන් වහන්සේලා ලබාදුන්නා.
මේ නිසාම කේශ ධාතූන් වහන්සේලා ජීව කේශ ධාතූන් වහන්සේලා යනුවෙන් අපි හඳුන්වනු ලබනවා.
ඒ වගේම තමයි මේ කේශ ධාතූන් වහන්සේලා ලබාදෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම උන්වහන්සේගේ සිරස පිරිමැදීමෙන් යුතුවයි. ඒ නිසා එය තවත් සුවිශේෂයි.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ සිහිකරවමින් වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබාදීමටයි උන්වහන්සේ ධාතූන් වහන්සේලා පිහිටන ලෙස අධිෂ්ඨාන කරන්නේ.
එතැනින්ම පැහැදිලි වෙනවා මේ කියන කාරණය. යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කෙරේද ඔහුට ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන් ලබාගන්නා පිනම රැස් කරගන්න පුළුවන්.
ඒ වගේම යමෙක් ඉතා කුඩා වූ ධාතූන් වහන්සේ නමකට අල්ප වූ පූජාවක් කෙරේද එමගින් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වීමෙන් ලැබෙන පින රැස්වීමට අවස්ථාව ලැබෙනවා.
මේ පින සම්බන්ධ විවිධ කතා වස්තූන් බෞද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. විමාන වත්තු හි සඳහන් වෙන කතාවක් මම ඔබට පැහැදිලි කරන්නම්.
අනුකල්පයකට පෙර මෙලොව පහල වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අඹ ඇටයක් තරම් කුඩා ධාතූන් වහන්සේනමකට තුන් සිත පහදවාගෙන වන්දනා කිරීමේ පිනෙන්ම කල්ප අනූවක් පුරාවට දෙව්ලොව දිව්‍ය සැප සම්පත් විදීමේ අවස්ථාව හිමිවුණා.
යමෙකුට සුගතියට යාමට සිදුකළ හැකි මහා පිංකමක් ලෙස ධාතූන් වහන්සේලා වන්දනාව හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමෙන් කල්ප සිය දහස් ගණනක් දුගතියට පත් නොවී දෙව් මිනිසුන් අතර සැප සම්පත් විඳපු අවස්ථා, චරිත කතා ත්‍රිපිටකයේ බොහෝ තැන් තුළ සඳහන් වෙනවා.
ඒ නිසාම ධාතූන් වහන්සේලා වන්දනාව මෙලොව යහපත් කර දෙන, පරලොව සුගතිය ඇති කරන මහා වන්දනාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් නිවන පදනම් කරගත් මාර්ගයකි. ඒ නිසාම මේ සෑම දෙයකම කෙළවර විය යුත්තේ උතුම් වූ ධර්ම අවබෝධයයි. ධාතූන් වහන්සේලා වන්දනාව මෙලොව පරලොව සුභසිද්ධිය පවතින පින්කමක් වගේම නිවන අරමුණු කරගන්න පුළුවන් පින්කමක් ලෙස හඳුන්වන්න පුළුවනි.
වර්තමානයේ තරමක කණගාටුදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේ හැමතැනම තියෙන්නේ ධාතු ප්‍රදර්ශන. වෙසක්, පොසොන්, ඇසළ මේ සෑම කාල වකවානුවකම ධාතු ප්‍රදර්ශන බොහෝ සෙයින් පවතිනවා. නමුත් ධාතූන් වහන්සේලා කියන්නේ ප්‍රදර්ශනය කරන දෙයක් නොවෙයි. ඒ නිසා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශන භාණ්ඩයක් කරගනිමින් මූල්‍යමය ලාභයක් ලබාගැනීමට බලාපොරොත්තු වීම හරිම කණගාටුදායක තත්ත්වයක්.
ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන විට ඉතාම කාරුණාවෙන් කටයුතු කළ යුතු වෙනවා සේම එය අවධාරණයෙන් කළ යුතුයි. ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අල්ප වශයෙන් සිත පහදවා ගැනීමෙන් ලැබෙන පින වගේම තමයි ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් හිත පහදවා ගත්තෙ නැතිනම් එයින් ලැබෙන විපාකයත් දරුණුයි. ධාතූන් වහන්සේලා යොදා ගනිමින් වෙනත් අරමුණු ඉටුකර ගැනීමට යමෙක් උත්සාහ කරනවා නම් අපිට හිතා ගැනීමට නොහැකි දරුණු විපාකවලට අපි පත්වෙනවා. ඒ නිසා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශන පවත්වනවා වෙනුවට එය ධාතූන් වහන්සේලා වන්දනාවක්ම කරගත යුතු වෙනවා. ඒ නිසාම වර්තමානයේ ක්‍රියාත්මක වන මේ ධාතු ප්‍රදර්ශන සියල්ලම නවත්වලා සමාජය හරිමගට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා.
ඇත්තෙන්ම එය සත්‍යයක්. මට මේ ළඟදි අසන්නට ලැබුණා බුදුරජාණන් වහන්සේගේ අක්ෂි ධාතූන් වහන්සේ ඒ කියන්නේ ඇස සහ බුදු රජාණන් වහන්සේගේ රුධිර ධාතූන් වහන්සේලා පවා තිබෙනවා කියලා.
නමුත් මූලික දේශනාවේ පැහැදිලිවම සඳහන් වෙනවා උන්වහන්සේගේ පිරිනිවන් පෑමේදී බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ සප්ත ධාතූන් වහන්සේලා ඇතුළුව ශාරීරික ධාතූන් වහන්සේලා පවතින ලෙසයි. ඒ අනුව එම ධාතූන් වහන්සේලා පමණයි ඉතිරි වන්නේ. ඉතිරි සියල්ල දැවී යනවා. ඒ අනුව අක්ෂි ධාතූන් වහන්සේලා, රුධිර ධාතුව ඉතිරි වෙන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අපි දැක්කා අකු ධාතූන් වහන්සේ නමක් මේ විදිහට ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
එහෙම වෙන්නත් බැහැ. මොකද එක් අකු ධාතූන් වහන්සේ නමක් බඹලොව, අනික් අකු ධාතූන් වහන්සේ ථූපාරමායේයි තැන්පත් කර තිබෙන්නේ. මේ වගේ බුද්ධ දේශනාවට විරුද්ධ ගැළපෙන්නෙ නැති වන්දනා තිබෙනවා. ඒ නිසා අපිට කණගාටුදායක කාරණයක් තමයි මේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශන පැවැත්වීම කියන කාරණය.
ඒ වගේම මේ කතාබහට ලක්වෙන සියලුම ධාතූන් වහන්සේලා සත්‍ය ධාතූන් වහන්සේලාමද කියා ප්‍රශ්නයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා යැයි මේ කියන ධාතූන් වහන්සේලා සැබෑම ධාතූන් වහන්සේලාද කියන ප්රශ්නය නිතරම අසන්නට ලැබෙන්නක්.
මෙයට ලබාදෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි මිනිසුන් මේ ධාතූන් වහන්සේලා සැබෑම ධාතූන් වහන්සේලාදැයි සැකයට භාජනය කරනවාට වඩා එය සංවිධානය කරනු ලබන පුද්ගලයින් තමයි මේ කාරණය හිතන්නට අවශ්‍ය.
ඒ මොකද මේ කාරණා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පැහැදීමෙන් ලැබෙන කුසල ශක්තියත්, අපහැදීමෙන් ලැබෙන අකුසල ශක්තියත් ගැන හිතන්න ඕන. ඒ වගේම තමයි මේ නිසාම නිර්මල ධාතූන් වහන්සේලා දෙසත් ජනතාව සැකයෙන් බලනවා.
සැකයෙන් බැලීමෙන් ලැබෙන අකුසලය බොහෝ කාලයක් ඔවුන්ගේ ජීවිතයේ අයහපත පිණිස පවතිනවා. ඒ නිසා ධාතූන් වහන්සේලා කෙරෙහි සැකය උපදා ගැනීම අපි නොකළ යුත්තක්.
ලංකාවේ ධාතූන් වහන්සේලා හැමතැනම වැඩ ඉන්නවා. නමුත් ඒ ධාතූන් වහන්සේලාට කියන්න පුළුවන් ඉතිහාස කතා තිබෙනවා. කේශ ධාතූන් වහන්සේලා හැරෙන්නට මේ සියලු ධාතූන් වහන්සේලා ලැබෙන්නේ මහා පරිනිර්වාණයත් සමගයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ කිසිම පුද සත්කාරයකට ඇලුණේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් ලාභ සත්කාර කෙරෙහි ඇලුණේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එක් කාලයක මාස තුනක් යව ආහාරය වලඳමින් වස් වැසූ බව අප දේශනාවේ අසා තිබෙනවා.
එහෙමනම් උන්වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් පුද සත්කාර නොකළා කියල වෙනත් තැනකට වඩියි කියල අපිට හිතන්නට බැහැ.
ධාතූන් වහන්සේලා ප්‍රදර්ශන රැල්ලක් බවට අද පත්වෙලා තිබුණත් අපේ රටේ බෞද්ධ ජනතාව ඉතාම වාසනාවන්තයි. මොකද අපේ රට ධාතු ගර්භයක් විදිහටයි හඳුන්වන්නේ. ධාතූන් වහන්සේලා වන්දනාව කියන්නේ මෙලොව යහපත වගේම පරලොව සුභසිද්ධිය උදෙසා පවතින මහා පිනක්. උතුම් වූ නිවන් දොරටුව විවර කරන මහා පින්කමක්. මේ නිසාම මම හැමදෙනාටම ආරාධනා කරනවා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයෙන් ඉවත්ව ධාතූන් වහන්සේලා වන්දනාවට පෙළගැසෙන්න කියලා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd