දකුණු කොරියාව මගින් බෞද්ධ රටවල් තුළ වාර්ෂිකව සිදුකරනු ලබන ශ්‍රී සම්බුද්ධ වර්ෂ පුණ්‍ය මහෝත්සවය සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගනිමින් එය ගම්පොල උඩෝවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරය මුල්කරගනිමින් ඉතා අලංකාරවත් ලෙස පැවැත්විණි.
මේ වනවිට දකුණු කොරියාව විසින් මෙම පුණ්‍ය මහෝත්සවය තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය ආදී රටවල පවත්වා ඇති අතර, ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2561 වර්ෂයේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම මෙරට බෞද්ධයන්ට සිදුකළ මහත් ගෞරවයකි.
මහායාන බෞද්ධ රටක් විසින් ථේරවාදී බෞද්ධ රටක සිදුකළ මෙම මහා පිංකමේ විශේෂත්වය වන්නේ එරට මහහිමිවරුන් ප්රමුඛ විශේෂ දූත පිරිසක් විසින් අෂ්ට පරිස්කාර චීවර පූජාවක් ලෙස මෙරට මහනාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නය නැමදීමයි.
කොරියානු මහනාහිමිවරු ප්රමුඛ එරට දූත පිරිස හා මෙරට භික්ෂු භික්ෂූණීන් වහන්සේලා 200 නමක් ඇතුළු සැදැහැවතුන් විසින් ගම්පොල වැලිගල්ල හින්නාරංදෙනිය විහාරස්ථානයේ සිට උඩෝවිට විහාරස්ථානය දක්වා විශේෂ පෙරහරකින් ගමන් කර එම විහාරස්ථනයේදී මෙම පුණ්‍ය මහෝත්සවය සිදුකෙරිණි.
උඩෝවිට ශ්‍රී සුධර්මාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික ශාස්ත්‍රපති ඇත්ගාලේ නන්දසිරි නා හිමියන්ගේ අනුශාසනා පරිදි කොරියා - ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය ගල්ගමුවේ ධම්මකිත්ති නාහිමි විසින් මෙම පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මුල්වී තිබුණි.
මෙම අවස්ථාවට මහවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මදස්සි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක සිරි සීලවංශාලංකාර ත්‍රිපිටක වාගීෂ්වර අග්ගමහා පණ්ඩිත විනයාව්යය විනය විශාරද ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ අමරපුර නිකාය නියෝජනය කරමින් ගම්පොල සුමනජෝති මහ පිරිවේණාධිපති දර්ශනපති කොත්මලේ සුමනරතන නාහිමි, දකුණු කොරියාවේ චොගෙ සංඝ නිකායේ ප්‍රධාන සංඝනායක සුදොක් සා මහ විහාරාධිපති චොන්මූක් නාහිමි, අන්ලක්සා මහා විහාරයේ ක්වන් හකත් නා හිමියන් ප්රමුඛ මෙරට විහාරාධිපතීන් වහන්සේලා ප්රමුඛ ප්‍රා‘දේශීය නායක හිමිවරු ඇතුළු සැදැහවතුන් පිරිසක් එක්ව සිටියහ.