කිසිවෙකුගේත් හවුහරණක් නොමැතිව ගරාවැටුණු පැල්පතක දුෂ්කර ජීවිතයක් ගතකළ මහියංගන ආදාඋල්පත ගම්මානයේ අසරණ වයෝවෘද්ධ කාන්තාවකට ප්‍රදේශවාසී දායක දායිකාවන්ද හවුල් කරගෙන පානීය ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් යුත් නිවසක් ඉදිකරදීමට ආදාඋල්පත ශ්‍රී සුමනාරාම භික්ෂුණී ආරාමයේ මහඋල්පත සුමනපාලී තෙරණියෝ කටයුතු කළහ.
මෙම නිවස හිමිවූයේ ආදාඋල්පත, නාගදීප හන්දිය, පදිංචි ඩී. එම්. බණ්ඩාර මැණිකා මහත්මියටය.
එසේ ඉදිකළ නිවස අදාළ කාන්තාව වෙත පිළිගැන්වීම නිමිත්තෙන් චාම් උත්සවයක්ද පසුගියදා සංවිධානය කර තිබිණි.
එහිදී නව නිවසේ යතුරු බාරදීම , නිවස ඉදිකිරීමට මුල්වූ ශ්‍රී ලංකා භික්ෂුණී ශාසන මණ්ඩලයේ මොනරාගල, බදුල්ල, දිගාමඩුල්ල ශාඛා සංවිධානයේ ලේඛකාධිකාරී, රංගිරි දඹුල්ල භික්ෂුණී උපසම්පදාවේ කර්ම විනයාචාර්යය, මහඋල්පත සුමනපාලී තෙරණීන් වහන්සේ අතින් සිදුවිය.
අදාළ කාන්තාවගේ ප්‍ර‘යෝජනය සඳහා වියළි ආහාර පාන මල්ලක් පිරිනැමීමද ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම මහතා අතින් එහිදී සිදුවිය.
ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ නව නිවස විවෘත කිරීම රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන මහතා අතින් සිදුවූ අතර, කිරි ඉතිර වීම බණ්ඩාර මැණිකා මහත්මිය අතින් සිදු විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ සුමනපාලී තෙරණීයෝ මෙසේ පැවසූහ.
‘‘අද වැඩිහිටියන් ගැන සොයා බැලීම ඉතා පහළ මට්ටමකට වැටී තිබෙනවා. වත්මන් පරපුර වයෝවෘද්ධ වැඩිහිටියන් රැකබලා ගැනීම අමතක කර දමා තිබෙනවා. ඒ නිසාම අද වැඩිහිටි නිවාස අසරණ මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. අපේ දරු පරපුරට වැඩිහිටියන්ට සලකන ආකාරය ගැන කියා දිය යුතු තත්ත්වයට අද පැමිණ තිබෙනවා. එබඳු ආදර්ශයක් දීමට වගේම අසරණ මිනිසුන්ට සැලකිය යුතු ආකාරය ගැන මේ පළාතේ දරුවන්ට, තරුණ පිරිසට කියා දීම ගරුතර සංඝයා වහන්සේලාගේත් යුතුකමක් කියා මා විශ්වාස කරනවා.'
ඩී.එම්. බණ්ඩාර මැණිකා මහත්මිය ඉතාම අසරණයි. ඇය සිල් ගන්නට පන්සලට ආව දවසක මට කීව ඇයට ඉන්න හිටින්න නිවසක් නැති බව. ඒ වගේම හිටිය නිවස ගරාවැටුණු බවත්, ඇයගේ දරුවන්ට ඇය වෙනුවෙන් නිවසක් ඉදිකර දෙන්නට වත්කමක් නැති බවත් ඇය ප්‍රකාශ කළා.
මේ කතාව ඇහුවට පස්සේ මම එදාම ඇය ඉන්න තැන බලන්න ගියා. ඇත්තටම මට විශාල කනගාටුවක් ඇති වුණා. මම මුලින්ම හිතුවේ නිවසේ වහල හදල දෙන්න කියලයි. ඒත් ඒක තාවකාලික පිළියමක් බව මට තේරුණා. මම මේ වැඩේට ගමේ තරුණ පිරිසගේ උදව් ඉල්ලුවා. ඒ වගේම ඒ පිරිස හරිම උනන්දුවෙන් වැඩේ පටන්ගමු කියල එකතු වුණා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා වගේම අනෙත් පිරිසත් විශාල දායකත්වයක් මේ සඳහා ලබා දුන්නා. ඒ දායකත්වය නිසාම හරියටම දින 30ක් ගතවෙද්දී කාමරයක් සහ මුළුතැන්ගෙයක් සහිත නිවසක් ඉදිකර ඊට විදුලිය ලබාදීමටත්, ඇඳක්, පුටුවක්, මේසයක් වගේ නිවසට අවශ්‍ය උපකරණ ලබාදීමටත් අපිට හැකියාව ලැබුණා. මෙවැනි නිවසක් ඉදිකර දීමට කටයුතු කළ හැමෝටම මම පින් අනුමෝදන් කරන්න කැමැතියි.*
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩී.එම්. බණ්ඩාර මැණිකා මහත්මිය,
'මම හරිම අසරණ වෙලා හිටියේ. දරුවෝ හිටියත් ඒ අයට මේ වගේ දෙයක් කරල දෙන්න වත්කමක් නැහැ. මේක මහා පින්කමක්. දැන් මට ජීවිතේ ඉතිරි කාලේ පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න පුළුවන්. මේ පින්කම කරපු මෑණියන්ටත් අනෙත් හැමදෙනාටමත් පින් දෙනව ඇරෙන්න මට කරන්න දෙයක් නැහැ* යැයි පැවසුවාය.
එහිදී රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන, ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම මහතාද පිංකම අගය කරමින් අදහස් දැක්වූහ.
මෙම අවස්ථාව සඳහා රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන, ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම යන මහත්වරු මෙන්ම ප්‍රදේශයේ ජනතාව, දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක