ශ්‍රී ලංකාවේ මුල්ම සමන්දේවාලය පිහිටි ඓතිහාසික කරඳගහමඩ පුරාණ රජමහා විහාරයේ ඉපැරණි ඉදිකිරීම් විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇතැයි කරඳගහමඩ විහාරාධිපති කෝමාරික සුමනරතන හිමියෝ පැවසූහ.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ගම්මානයක පිහිටි මෙම විහාරය බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත්වූ ඉපැරණි විහාරස්ථානයකි. බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කළ ගමනේදී මහියංගණය සිට මුතියංගණය බලා වැඩම කරන අතරතුර මඳ වෙලාවක් මෙම ස්ථානයේ නැවතී ගිමන් හැර ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මහියංගණ හා මුතියංගණ වෙහෙර දෙකට සමාන දුරකින් පිහිටීම නිසාත් නව සුවිසල් විහාර මන්දිර දෙකකට පමණක් දෙවැනි වීම නිසාත් මෙය අතීතයේදී මැද මහ වෙහෙර යනුවෙන්ද හඳුන්වා ඇතැයි ඉතිහාස පොතපතේ සඳහන්ව ඇත.
මේ වනවිට මහියංගණ සෑ මළුවේ පිහිටුවා ඇති ඓතිහාසික සමන් මහ දේවාලය මුලින්ම පිහිටුවා ඇත්තේද කරඳගහමඩ විහාර භූමියේය.
කරඳගහමඩ අවට ඉඩම්වලින් ලැබෙන අස්වැන්නෙන් කොටසක් තවමත් මහියංගණ සමන් දේවාලයට බදු වශයෙන් ගෙවන බවද විහාරාධිපති හිමියෝ පවසති. විහාරයේ බොහෝ ඉදිකිරීම් වළගම්බා රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බව මහාවංශයේ මෙන්ම ඉපැරණි ග්රන්ථ රැසක සඳහන්ව ඇතැයිද සුමනරතන හිමියෝ සඳහන් කරති.
විහාරස්ථානය පිහිටි ගම්මානයට 'කරඳගහමඩ' යන නම ලැබී ඇත්තේද විහාරයට සම්බන්ධ කතා පුවතකිනි. ඒ මෙරට පෘතුගීසි පාලනය පැවති සමයයි. වරෙක පරංගිහු එම ප්‍රදේශයට කඩාවැදී වතුපිටි විනාශ කර දේපළ මංකොල්ල කෑමට පටන් ගත්හ. එහිදී පරංගි පිරිසක් පන්සල දෙසට එනු දුටු විහාරාධිපති හිමියෝ පන්සලේ තිබූ කරඬුව ගෝල නමක් අත තබා ඈතින් පිහිටි කුඹුර පෙන්වා කරඬුව මඩේ ගහන්න යැයි නියෝග කර ඇත.
පරංගින් පිටව ගිය පසු මඩේ සැඟවූ කරඬුව ගෝල නමට මෙන්ම විහාරාධිපති හිමියන්ටද සොයාගත නොහැකි විය. පසුකලෙක කරඬුගහමඩ බවටත් ඉන් බිඳී කරඳගහමඩ බවටත් ව්‍යවහාර වී ඇත. පසු කලෙක සීසාමින් සිටි ගොවි මහතෙකුට කරඬුව හමුවී තිබේ. විහාරයට අක්කර ගණනාවක් පුරා විහිදී ගිය නින්ද ගම් හමුවී තිබේ. සුවිසල් විහාර මන්දිරයත් චෛත්‍යයක් දේවාලයක් සිමාමාලකයක් ඇතුළු විහාර අංග මෙහි ඉදිකර තිබූ බවට සැක සිතිය හැකි ගල්කණු රාශියක් විහාර භූමියේ මෙන්ම අවට කුඹුරු ඉඩම්වලින්ද හමුවී ඇත.
මීට අමතරව ගල්වලින් තැනූ පහන් කණු, සුවිසල් ගල් පහන්, දේව හා බුද්ධ ප්‍රතිමා සෙල්ලිපි රැසක්ද විහාර භූමියෙන් සොයාගෙන තිබේ.
කලකට පෙර මෙහි තිබූ චෛත්‍යයේ යැයි සැලකිය හැකි රිදී කරඬුවක්ද කොතක්ද ඒ අවට කුඹුරු යායක තිබී ගොවීන්ට හමුවී පන්සල වෙත භාරදී තිබේ.
පන්සලේ බෝධීන් වහන්සේ පිළිබඳවද අපුරු කතාවකි. එක්තරා බමුණෙකු අනුරාධපුරයේ සිට ශ්‍රී මහ බෝධියේ අංකුරයක්ද රැගෙන මෙම ස්ථානය හරහා යද්දී මෙහි තිබූ නිල්වන් දිය පොකුණක් දැක බෝ අංකුරය විල අසල තබා මදක් විවේක ගෙන ඇත. ටික වේලාවකින් ආපසු යෑමට සූදානම් වී බෝ අංකුරය ගන්නට සූදානම් වුවත් එය එම ස්ථානයේ මුල් ඇද තිබෙනු දැකීමෙන් පුදුමයට පත්වී එය රෝපණය කිරීමට සුදුසු තැන එතැන බව වටහාගෙන බමුණා විසින් බෝ පැළය රෝපණය කර විලෙන් වතුර ගෙන බෝ පැළයට දමා වැඳ නමස්කාර කර ඇත. මෙය ඇසූ ප්‍රදේශවාසීහුද බෝ පැළය සුරකිමින් වැඳ නමස්කාර කර තිබෙන බව ජනප්රවාදයේ පවතියි. එයට පැන්ගත් පොකුණ එම ස්ථානයේ අදටත් දකින්නට තිබේ.
විහාරය අසල වෙල් යායේ සී සෑමේ කටයුතු කිරීමේදී විවිධාකාර මැටි භාණ්ඩ අදද හමුවන බව ගම්මු පවසති. එයින් කියවෙන්නේ දැනට කුඩා ප්‍රදේශයකට සීමාවී ඇති විහාර බිම අතීතයේ ඉතා පුළුල්ව පැවති බවයි. ඒ අනුව මතු පරපුරට සංරක්ෂණය කළ යුතු පුරා වස්තු රැසක්ම ගම් බිම් අවට වැළලී ඇතැයි සිතිය හැකි බව විහාරාධිපති කෝමාරිකේ සුමනරතන හිමියෝ පවසති.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක