බෙල්ලන්විල රජමහ වෙහෙර ලක්දිව බුදුසමයෙහි සමාරම්භක සමය තෙක් අතීතයට විහිද යන ඉතිහාසයකින් සැදුණු සංස්කෘතික උරුමයකි. එහි පුරාණය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය තෙක් පැතිර යයි.
මෙහි බෙල්ලන් සිටි වෙලක් තිබූ හෙයින් බෙල්ලන්විල ලෙස පරිවර්තනය වී ඇතැයිද අතීත වංශ කතාවල සඳහන් වේ. මේ අනුව මුල්ම ඉතිහාස තොරතුරු 'සිංහල බෝධිවංශයේ' සඳහන් වේ.
බෙල්ලන්විල රජමහා විහාරවංශ කතාව විමසීමේදී එහි ඉතිහාසය යුග තුනක් ඔස්සේ සඳහන් වේ. ශ්‍රී මහා බෝධි රෝපණය හා සබැඳෙන පුරාතන යුගය ඉන් පළමුවැන්නද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ සවැනි පැරකුම්බා සමය දෙවන කාල පරිච්ඡේදයද වෙයි. එහි තෙවැනි යුගය ඇරඹෙන්නේ අත්තිඩියේ විසූ තෙත්ගොඩගෙදර හිමියන්ගේ දහනව වන සියවසෙහි මැද භාගයෙනි.
එවකට උන්වහන්සේ සවැනි පැරකුම්බාවන්ගේ මාළිගය පැවැති බව සඳහන් ස්ථානයේ අාවාසයක් සාදා ගෙන අත්තිඩිය ගලඋඩවත්ත හෙවත් මාලිගාවත්ත පුරාණ විහාරයෙහි වැඩ වාසය කරමින් ආගමික කටයුතුවල නිරත විය.
1850 වසරේදී තෙත්ගොඩගදර හිමියන් යේ තිබූ කැලෑ ප්‍රදේශ ඔස්සේ ගලායන කටු ඇළ මාර්ගයේ තොටියෙක් සමග ඔරුවකින් ගමන් කරනවිට වනපෙත දෙසින් හේවිසි බෙර හඬ ඇසී, ඒ ගැන විපරම් කිරීමට ඔරුවෙන් බැස වන පෙදෙසට ඇතුළු වී තිබේ. එහිදී සරුවට වැඩී තිබූ බෝධීන් වහන්සේ නමක් දකින්නට ලැබී, ගැමියන් මේ පිළිබඳ දැනුවත් කර, කැලෑ සුද්ධ කර, බෝධීන් වහන්සේ මතු කරගෙන, පුද පූජා සඳහා සකස් කළ බව සිංහල බෝධි වංශයෙහි සඳහන් වේ.
ඒ අනුව එදා එහි ආරාමයක් සාදා වැඩවෙසෙමින් ආගමික වතාවත් සිදුකරමින් බෙල්ලන්විල නූතන යුගය ඇරඹූ බව වංශ කතාවල සඳහන් වේ. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු බෙල්ලන්විල රජමහා වෙහෙරෙහි විහාරාධිපති පදවියට පිළිවෙළින් උඩුගම්පල ශ්‍රී රතනපාල මහ නාහිමි, උඩුගම්පල ශ්‍රී ධම්මරක්ඛිත නාහිමි, අභිධම්මික වෑබඩ ශ්‍රී සංඝරත්න හිමි, අස්ගිරියේ දේවරක්ඛිත හිමි, බෙල්ලන්විල සෝමරත්න නාහිමි සහ වත්මන් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියද පත්ව තිබේ.
1947 වසරේදී බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න නාහිමියන් වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරයෙහි විහාරාධිපති පදවි ප්රාප්තියත් සමග කැලෑව මැද තිබූ බෙල්ලන්විල විහාරස්ථානය නව යුගයක් කරා ගමන් කළේය. ඒ අනුව පසුව පවත්වූ ජාතික මට්ටමේ සාමයික පූජෝත්සවයක් බවට බෙල්ලන්විල මහ පෙරහර, දුරුතු පෙරහරක් ලෙසට එම වසරේදී ආරම්භ කෙරිණි.
තෙවසරක් පැවැති දුරුතු පෙරහරේ අත්දැකීම් ඇතිව 1950 වසරේදී ඇසළ පෙරහර ආරම්භ වූයේ දිරිය ගමනක මූලික පියවරක් ලෙසටය.
මෙහි ඇරඹුම සොයා බැලීමේදී පෙනී යන්නේ එවකට කැලෑ ප්‍රදේශයක් ලෙස පැවැති ග්‍රාමයේ සිටි ගවයන්ට පැතිරුණු ගව වසංගතය දුරුකොට ප්‍රදේශය පුරා පැතිරී ගිය උණ සන්නිපාතය හා පාචනය ඇතුළු රෝග බිය දුරු කිරීම උදෙසා මෙම ආශීර්වාද ඇසළ පෙරහැර ඇරඹි බවයි.
මෙම විහාරස්ථානයේ පවතින දේවාශිර්වාද සමග ආශිර්වාද ලබාගත හැකි බවටද ජනප්‍රවාදයක් ඇත.
මේ ආශිර්වාදයෙන්ම විහාරස්ථානයේ දිරාගිය ආරණ්‍ය සේනාසන නවීකරණ්‍ය කරමින් ලැගුම්හල්, වන්දනා ස්ථාන, ආරාම ඉදිවන්නට පටන් ගැනුණේ ශ්‍රී සෝමරතන නාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසාමය.
මෙහි ඇති බෝධීන් වහන්සේ දෙවැනි පෑතිස් රජ කාලයේ සඟමිත් තෙරණිය වැඩම වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයකින් රෝපිත කරන ලද්දක් බව ක්‍රිස්තු වර්ෂ 1303-1333දී විල්ගම්මුල නාහිමියන් විසින් ලියූ සිංහල බෝධි වංශය නමැති ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වේ.
1983 වසර ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ අපවත්වීමත් සමග අභිනව විහාරාධිපති ධුරයට පත් සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේද අනුශාසනා පරිදි ස්ථාපිත කරන ලද ඇසළ පෙරහර කමිටුව සමග සම්බන්ධ තවත් සංවිධාන රාශියක සංවිධායකත්වයෙන් මෙවර ඇසළ පුණ්‍යෝත්සවය සංවිධානය කරනු ලබනුයේ 67 වන වරටය.
මෙම ඇසළ පෙරහර නුවර ශ්‍රී දළදා ඇසළ පෙරහරට පමණක් දෙවැනි ලෙසින් උඩරට, පහතරට හා සබරගමුව නැටුම්වලින්ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින්ද සමන්විතව සතර මහා දේවාල පෙරහර දේවාභරණ සමගින් මහ පෙරහරට එක්වීමද දක්නට ලැබේ.
මෙම විහාරස්ථානය ලබා ඇති දියුණුවත් සමග ආගමික සත්කාරක සේවාවලින් බැහැරට ගොස් 'පන්සලෙන් ගමට' යන සේවාව ඔස්සේ විශාල සමාජ මෙහෙවරකද යෙදෙමින් ලක්ෂ ගණන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් ළමා, යොවුන්, තරුණ පිරිස් වෙනුවෙන් අධ්‍යාපන සේවා, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාරක සේවාවන්, අධ්‍යාත්මික සේවාවන්, වැඩිහිටි සත්කාරක, වෛද්‍යාධාර හා උපකරණ ලබාදී ඇත.
දුෂ්කර ගම්මාන නගා සිටුවීම, නිවාස ලබාදීම ඇතුළු විශාල සමාජ සේවා වැඩ කොටසක්ද ඉටුකිරීමට විහාරස්ථානයට මේ වනවිට හැකි වී තිබේ.
මෙම අගෝස්තු 10 වැනි දින පෙරහර නිර්මාතෘ අපවත් වී වදාළ ශ්‍රී සෝමරත්න නාහිමියන්ගේ ගුණසැමරුම වෙනුවෙන් තෙදින ධර්ම දේශනා මාලාවක්ද, රටට හා සියලු රට වැසියන්ට ආශීර්වාද පතා සති පිරිත් දේශනය අගෝස්තු 13 සිට 19 දක්වාද පැවැත්වේ.
මෙහිදී මේ දින තුළ 50 නමකට අධික මහ සංඝරත්නය උදෙසා දහවල් දානය සහ සවස ගිලන්පස පූජාවක්ද සිදු කෙරේ.
පිරිත් අවසාන දිනයේදී 19දා දේව දූත පෙරහර පැමිණ දොරකඩ අස්න අනුශාසනාව සිදුකරන අතර, සාම්ප්‍රදායිකව පැපිලියානෙන් චාරිත්‍රානුකූලව ඇරඹෙන කුඹල් පෙරහරද එදිනට පැවැත්වේ.
20දා සිට 23දා දක්වා ඉපැරණි චාරිත්‍රානුකූලව දායක දායිකා හිසමතින් රැගෙන යන මල් වට්ටි රැගත් මල් පෙරහර බෝධි මළුව, චෛත්‍ය මළුව, විහාර මළුව පැදකුණු කරමින් විහාර පරිශ්‍රයේදී පැවැත්වේ.
24 වැනි දින සර්වඥධාතු කරඬුව ප්‍රථමවරට විහාරස්ථානයෙන් පිටතට දායකයන්ගේ හිස්මතින් වැඩමවන පාවඩ පෙරහර පැවැත්වේ.
25 වැනිදින සර්වඥ ධාතු කරඬුව හස්තිරාජයා මතින් පිටතට වැඩම වන රන්සිවිලි පෙරහර පැවැත්වේ.
26 වැනි දින සෙනසුරාදා රාත්‍රී අලි ඇතුන් හා උඩරට පහතරට, සබරගමුව නැටුම් රැගත් දර්ශණීය රන්දෝලි අවසන් මහ පෙරහර පැවැත්වීමට නියමිතය.
27 වන දින දහවල් පෙරහර පවත්වා බොරලැස්ගමුව තොටුපලේදී දියකපා, දේව දානය පිරිනමා සන්ධ්‍යා භාගයේ ගරායක් ශාන්ති කර්මය සිදුකර ඇසළ පුණ්‍යෝත්සවය සාර්ථක කරගැනීමට සඳහා උපකාර කළ සියලු දෙනාටත්, නර්තන ශිල්පීන්ටත් වස්දොස් ඇස්වහ, කටවහ, අපල උපද්‍රව සියල්ල දුරුකොට ආශීර්වාද පතා ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ.
දෙහිවල - එච්. එච්. ධර්මපාල