රම්මල කඳු පාමුල දර්ශනීය පසුබිමක පිහිටි කිරම වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානය ක්‍රි.පූ. පළමුවැනි සියවසේදී ලක්දිව රජ කළ වළගම්බා නිරිඳුන් විසින් කරවන ලදැයි ජනවහරට අනුව පිළිගැනෙයි.
ගල් කටාරම් සහිතව වෙහෙර විහාර ඉදිකිරීමට යෝග්‍ය පරිසරයක් දැකීමෙන් වශීකෘතව මනහර සිතුවමින් යුතුව ගොඩනගන ලද මෙම විහාරස්ථානය සිත්තම්ගල්ලෙන යන නාමයෙන් හැඳින්වෙයි.
මෙම ඓතිහාසික පූජනීය ස්ථානයේ රජු විසින් කරවන ලදැයි සැලකෙන කටාරම් කෙටූ ගල්ලෙන් දෙකක දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා දෙකක් ඇත. කල්යාමෙන් ජරාවාසව තිබූ මෙම බුද්ධ ප්‍රතිමා ක්‍රි.ව. 1920දී පමණ එවකට විහාරාධිපතිව වැඩ විසූ අගලබඩ සෝභිත මාහිමියන් විසින් ප්‍රතිසංස්කරණය කිරීම අරඹන ලදී. ඉන් පසුව විහාරාධිපතිත්වයට පත් පෝරතොට ඉන්දරතන නායක හිමියන් ලෙන් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කොට වෙස්සන්තර රජු පූජක බමුණාට තම දරුවන් දන්දීම ආදී චිත්‍ර නිර්මාණය කරවා ඇත.
පහළ විහාරය ප්‍රතිසංස්කරණයේදී දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවට අමතරව සැරියුත් මුගලන් දෙනම, සත්සතිය, සුජාතාවගේ කිරිපිඬු දානය, පස්වග මහණුන්ට දහම් දෙසීම යන අවස්ථා නිරූපණය කරමින් ප්‍රතිමා නිර්මාණය කර ඇත. මෙයට අමතරව සිවිලිමේ සූවිසි විවරණය සිතුවමට නගා ඇත.
විශාල ගල්පර්වතයක් මත ගණ්ඨාකාර ආකෘතියෙන් යුක්තව ඉදිකොට ඇති ස්ථූපය පැරණි එකකි. මෙය කුමන කාලයක ඉදිකළා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් කළුගලෙන් සහ කුඩුගලෙන් බඳින ලද බැවින් වළගම්බා රජුගෙන් පසු කලෙක ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
මෙම චෛත්‍යය ආසන්නයේ පර්වතය මත පොකුණක් ද පිහිටා ඇති අතර එහි ජලය නොසිඳී සැමදා පවතී. මෙම චෛත්‍යයට අමතරව කිලෝමීටර් පහක් පමණ ඈතින් %වෙහෙර කොටුව^ නමැති ස්ථානයේ චෛත්‍යයක් කරවා ඇති බව දැනට ඇති නටබුන්වලින් හෙළි වෙයි.
තවද වරාපිටිය වැවට යට වූ චෛත්‍යයක නටබුන්ද දක්නට ලැබෙයි. මේවා කීර්ති කුමාරයා විසින් ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
මෙම විහාරස්ථානය ඓතිහාසිකත්වයෙන් මෙන්ම දේව බලයෙන්ද යුක්ත ස්ථානයක් ලෙස ප්රකටය. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවත්නා ප්‍ර‘දේශයක් ලෙස වැඩි දෙනෙකු පිළිගන්නා අතර කතරගම දෙවියන්ගේ අණසක පවත්නා ස්ථානයක් ලෙසද ප්රකටව පවතින බැවින් 'පුංචි කතරගම' ලෙසද සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය ලක්දිව ප්රකටය.
ක්‍රි.ව.1968 වර්ෂයේ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් සඳහා ආරම්භ වූ පෙරහර මේ වර්ෂය වනවිට අඛණ්ඩව පවත්වාගෙන එමින් පනස්වැනි වරටත් සංවිධානය කොට ඇත.
විහාරස්ථානයේ සියලුම අංග දියුණුවට පත් කරමින් වාර්ෂික පෙරහර මාලාව පැවැත්වීමේ කටයුතු විහාරාධිකාරී කිරම ගුණරතන හිමියන් ඇතුළු දායක සභාවේ සහ බස්නායක නිලමේ මහාචාර්ය මහින්ද පාතේගම මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙයි.
- කිරම ඩබ්.ඒ. නෙල්කා