ඓතිහාසික කඩුවෙල ශ්‍රී රන්කඩු පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මෙම මස (26දා) වීථි සංචාරය කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කඩුවෙල නගරයේ නගරාසන්නයේම පිහිටා ඇති මෙම දෙවොලට පන්සිය වසරකට එහා ඉතිහාසයක් ඇති බව ජනප්‍රවාදවල සඳහන් වෙයි. සීතාවක රාජසිංහ යුගයටත් ඈත ඉතිහාසයක් ඇති මෙම ෙදවොලෙහි රාජසිංහ රජතුමා විසින් තම සිය බලාපොරොත්තුව ඉටු වීමෙන් පසු සත්පත්තිනි දෙවියන්ට උපහාර පිණිස සිය රන්කඩුව තැන්පත් කොට තැබීමෙන් පසු මෙය රන් කඩු පත්තිනි දේවාලය ලෙස ප්රකටව ඇත.
තවද කෝට්ටේ යුගයේදී 6 වැනි පරාක්‍රමබාහු රජු ද මෙම දේවාලයට පැමිණ ඇති බව මෙම දෙවොල පිළිබඳ ලියැවුණු ඉතිහාස ග්රන්ථ‘යේ සඳහන් වේ.
විවාහ ප්‍රමාද වීම්, දරුඵල ප්‍රමාද වීම්, රැකී රක්ෂා ප්‍රමාද වීම්, බෝවෙන රෝග සඳහා මෙන්ම ව්‍යාපාරික දියුණුව හා විදේශ ගමන් සඳහාද බාරහාර වීමට දිනපතා විශාල බැතිමත්හු පිරිසක් මේ වන පැමිණෙති.
ධාතු මන්දිරය, වසර 800කට වඩා පැරණි බෝධිය හා ඒ වටා ඉදිවුණ කඨින බෝධි ප්‍රාකාරය , චෛත්‍ය රාජයාණන් වහන්සේ සමග පරිවාර දේවාල රැසකින් සමන්විත මෙහි වර්තමානයේ භාරකාරීත්වය දරන්නේ ඩබ්. එල්.ඩී කුලරත්න විජේතුංග මහතාය.
මෙවර 205 වැනි වතාවට පැවැත්වෙන ඇසළ මංගල්‍යය වෙනුවෙන් පිංකම් මාලාවක් සංවිධානය කිරීමට දේවස්ථානයේ භාරකාරතුමා ඇතුළු දායක සභාව කටයුතු යොදා ඇත. මෙම මස (10දා) සධාතුක කරඬුව හා දේවාභරණ වැඩමවීමෙන් අනතුරුව (19දා) සිට (26දා) තෙක් දිනපතා පෙරහර පැවැත්වේ. ඉන් අනතුරුව (26දා) අවසන් මහා පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව (27දා) අලුයම කැලණි නදියේ බුලත් ගම්පත සීමාවේ දිය කැපීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය නිම වෙයි.
කඩුවෙල ආසිරි දමින්ද