අද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි. නිකිණි පොහොය දිනය තුළ ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබේ.
පසුවස් එළඹීම
පෙරවස් සහ පසුවස් වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටිය යුතු දින දෙකක් පිළිබඳ සඳහන්වේ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම සාමාන්‍ය ක්‍රමයයි. එසේ කිරීමට අපහසු වුවහොත් නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි පොහොය දින පසුවස් එළඹිය යුතු බව බුදුන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ අනුව පසුවස් එළඹන දිනය වශයෙන් නිකිණි පොහොය ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ගනියි.
ආනන්ද හිමියන් රහත් බව ලැබීම
බුදුරදුන් දේශනා කොට වදාළ ධර්මය පිරිසුදුව ආරක්ෂා කරගැනීම සඳහා පළමු ධර්ම සංගායනාව පැවැත්වීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පන්සිය නමක් තෝරාගත්හ.
බුදුරදුන් දේශනා කොට වදාළ සියලු ධර්මය අසා දැන දරා සිටි ආනන්ද හිමියන් මේ වනතුරුත් රහත්භාවය ලැබ නොසිටි නිසා මේ සඳහා නම් කරනු නොලැබිණි. මේ පිළිබඳ වටහාගනිමින් මැනවින් සිත මෙහෙයවා විදසුන් වඩා ආනන්ද හිමියන් රහත්භාවයට පත්වූයේ, නිකිණි පුන් පෝය දා අලුයම් වේලාවේදීය.
දළදා පෙරහර
ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් උපහාර ලෙස පවත්වන නුවර දළදා පෙරහරේ රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේද නිකිණි පොහෝ දිනයේය. මෙවන් උතුම් කටයුතු රැසක් සිදුවූ මෙවන් පොහෝ දිනක අපිත් ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් කුසල් රුස්කර ගනිමු.