ගම්පහ දිස්ත්‍රික්කය තුල "වෙහෙර බිමෙන් වෙහෙර බිමට" සදහම් චාරිකා නමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කටයුතු පිළිබඳ සහකාර ලේකම් රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ආගමික වැඩසටහනේ පළමු පියවර මාකොළ ශ්‍රී කල්‍යාණි වංශිකාරාම විහාරස්ථානයේදී ඊයේ(19දා) ඇසල පුන් පොහෝ දින ආරම්භ කෙරිණ. එම වැඩසටහන මඟින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කර රණක්ෂට පත් රණවිරුවන්ට සෙත්පැතූහ.
මීට අමතරව විහාරස්ථ දහම් පාසලේ දරුවන් සිය දෙනෙකුට පාසල් උපකරණ බෙදාදීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, විහාරස්ථ පුස්තකාලයේ සංවර්ධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද "වෙහෙර බිමෙන් වෙහෙර බිමට" වැඩසටහනට සමගාමීව සිදුකෙරිණ.
"වෙහෙර බිමෙන් වෙහෙර බිමට" වැඩසටහන බියගම ආසනය තුල පිහිටි විහාරස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කය පුරා පිහිටි විහාරස්ථානයන් හි සංවර්ධන කටයුතු ඉලක්ක කරගනිමින් ඉදිරියේදී දියත් කිරීමට නියමිතය.