සංඝමිත්තා රහත් තෙරණි වහන්සේ ලංකාවට වැඩම කිරීම, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවට ශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩමවා රෝපණය කිරීම ආදී සුවිශේෂී සිදුවීම් සිදුවූ උඳුවප් පොහොය අදට (16) යෙදී තිබේ. උතුම් ශාසනික වැදගත්කම් රැසක් සහිතවූ උඳුවප් පොහෝදින ධර්ම දේශනය පවත්වන්නේ දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොවුල්වැව ශ්‍රී වර්ධනාරාමාධිකාරී දර්ශනපති පූජ්‍ය මැදවල සරණපාල හිමියන් විසිනි.
"නමෝතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
"සුසුඛං වත ජීවාම - උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු - විහරාම අනුස්සුකාති"
සැදැහැවත් සත්පුරුෂ පින්වතුනි,
මේ සසර අපි සොයාන්නේම සැපයි. පෞද්ගලික ජීවිතවලද උදේ සිට රෑ වෙනතුරු වෙහෙසුනේද සැප සොයා. ජීවිතේ පුරාවටම අපි වෙහෙසුණේ සැප සොයන්නට. එහෙත් අපිට නොලැබුණ එකම දේත් සැපමයි. මෙය හරියට මස්වැදැල්ලක් වැටෙනකම් බලන් ඉන්න නරියා වගේ. දිනක් බොහෝ බඩගිනි වුණ නරියෙක් කෑම සොයාගෙන කැලයේ ඇවිදිනවා. ඌ එකපාරටම දකිනවා මස් වැදලි එල්ලෙන ගසක්. ඌ ඉක්මනින් ගස ළඟට යනවා. ගස මුලත් මස් වැදලි වැටිලා. ඒවා කන්න ඉක්මනින් ගොස් කටතියලා බලනවා. ඒත් ඒවා මස් නොවේ. මල් වගයක්. කැලෑ ගහක මල් පිපිලා. ඒ මලුත් හරියට මස් වැදලි වගේ.
බිම වැටිලා තිබෙන ඒවා මස් නොවුණට ගහ උඩ තියන්නෙ මස්ම තමා කියලා හිතන නරියා ඒව වැටෙනකම් ගහ ළඟට වෙලා උඩබලාගෙන ඉන්නවා. මෙන්න මේ නරියා වගේ තමයි පෘතග්ජන දෝෂයෙන් පෙළෙන අපිත්. අද සැප නොලැබුණාට හෙට සැප ලැබෙයි කියන අදහසින් උඩ බලාගෙන ඉන්නවා. නරියාගේ අනර්ථකාරී උත්සාහය මෙන් අනර්ථකාරී උත්සාහයක් ගෙන සැප සොයනවා.
මේ අපි කරන උත්සාහයන් තුළ නිවන එල්ල වෙලා නෑ. අපි කරන බොහෝ ආගමික කාර්යයන් තුළද නිවනට ඉලක්ක ගතවීමක් නෑ. ජීවිතයේ බොහෝ ආගමික කටයුතුවල නිරත වුවත් ඒ සියල්ලක්ම බොහෝ අභිචාර විධි සියල්ලක් පමණක් වී තිබෙනවා. අපි කරන සෑම පිනක්ම නිවනට අපි යොමු කරවන ආකාරයෙන් කළ යුතුයි. සසරෙන් එතෙර වීම එහි අරමුණ විය යුතුයි. පරතෙරට පත්කරලීම සඳහා කරන ව්‍යායාමයන් පාරමිතා වේ. පාරමිතාවන් වන ආකාරයට පින්කමක් සිදුකිරීමට නම්,
"තණ්හා මාන දිට්ඨිහි අනුපනතා
තරුණ්යාය කොසල්ල පරිග්ග හිතා
දහාදයෝ ගුණ පාරමියෝ"
තණ්හාවෙන්, මානයෙන් වැරදි දෘෂ්ටිවලින් ඉවත් විය යුතුය. කරුණාවත්, ප්‍රඥාවත් ඒ සඳහා අඩංගුවිය යුතුය. මේ කරුණු පහෙන් සමන්විත වන්නේ නම් පමණක් පාරමිතාවක්වේ. ඉවත්විය යුතු කරුණු තුනක්ද, ඇතුළත් කරගත යුතු කරුණු දෙකක්ද ඇත. අප මෙම කරුණු වලින් සමන්විත නොවී පිංකම් කරන විට ඒවා පාරමිතාවන් වන්නේ නැහැ.
අපි බුද්ධිමත් විය යුතුයි. ඇයි අප මෙතරම් මේ ලෝකයට බැඳි තිබෙන්නේ කියා නිවැරදිව වටහා ගැනීමට එය තේරුම් නොගන්න තාක්කල් අපි භවයෙන් භවයට යමින් සසර දුකට ගැලී වාසය කරන්න වෙනවා. අපි මේ සසරට බැඳ තබන්නේ දකින, අසන, දැනෙන සහ දැනගන්නා දේ නිසයි. ඒ නිසා මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.
ලොව පහළ වූ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ පව් නොකිරීමත්, කුසල් කිරීමට සිත සකස් කර ගැනීමත්ය. එසේනම් යම් සත්ත්වයෙක් මේ අනුශාසනාවෙන් පිට කටයුතු කරන්නේ නම් ඔහු සසර දුකට යළි යළිත් වැටෙන කෙනෙක්. මිනිසුන් වුණ අපි හැමදෙනාටම තම තමන් පිරිසුදුද කියා සිතා බැලිය යුතුය. අප බොහෝවිට තමන් ගැන නොසොයා අනුන්ගේ දෝෂ සෙවීමට පුරුදුවී සිටිනවා. අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ පරිහානි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට තමන් විසින්ම අකුසල්වලින් පරිහානියට පත්වන ආකාරය නිශ්චය කරගත හැකි බව.
රාග වේපුල්ලතං දෝස වේපුල්ලතං
මෝහ වේපුල්ලතං, ගම්නීරෙසු ඛො පනස්ස
ඨානාඨානේසු පඤ්ඤා චක්ඛුං නඛවති
කෙනෙකුගේ රාග බහුල බව, තරහ බහුල බව, මෝහය බහුල බව සහ ඔහුගේ ප්‍රඥාව තුළ නොපිහිටීම යන කරුණු තමන් තුළ දැකිය හැකි නම් තමන් අකුසලයට බර කෙනෙක්, අකුසලයෙන් පිරිහෙන කෙනෙක්. ඒ වගේම තමන් කුසලයෙන් දියුණුවට පත්වන කෙනෙක්ද නැද්ද යන්නද තමන්ට දත හැකිය.
රාග තනුත්තයං දෝස තනුත්තයං
මෝහ තනුත්තයං ගම්භිරේසු ඛො පනස්ස
ඨානාඨාතේසු පඤ්ඤා චක්ඛුං චමති
රාගයෙහි තුනී බව, තරහවෙහි තුනී බව මෝහයෙහි තුනී බව කරුණු කාරණාවල ප්‍රඥාව යෙදවිය හැකි බව ආදී කරුණු කෙනෙකු සතුවේ නම් හෙතෙම කුසලයෙහි දියුණුවන අයෙකි.
එහෙයින් පින්වත් ඔබ සැමද කුසලයෙන් දියුණුවීමට සදහටම උත්සුක වන්න.
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ වැඩ වෙසෙද්දී ශාක්‍ය කෝලිය දෙපිරිස අතර ඇතිවූ දිය දබරය සන්සිඳවීමට දේශන කළ ඉහත මාතෘකා ගාථා ධර්මය තුළින් ඉතා හොඳ පණිවිඩයක් අපට ලබාදේ. ලොව වෙසෙන ජනතාව කොතෙක් මහන්සි ගත්තද, හරි හම්බ කළද ඒ කිසිවක් සුවසේ විසිය නොහැකිවනු ඇත. ඒ සියලු උත්සාහයන් නිෂ්ඵලවනු ඇත. තථාගතයන් වහන්සේ සැමදාම සුවසේ ජීවත් වේ. ඊට හේතුව නම්,
වෛරී ජනතාව අතර අවෛරීව ජීවත්වන නිසා සුවසේ වාසය කරයි. කෙලෙස්වලින් අතුරවූ මිනිසුන් අතර, කෙලෙස් නොමැති ලෙසද, පස්කම් සැප සෙවීමට උත්සහවන්නන් අතර විස්කම් සැප නොසොයන්නෙකු ලෙසද සුවසේ වාසය කරයි.
මෙම කරුණු අප මැනවින් වටහා ගත යුතුයි. අපගේ දැඩි උත්සාහය විය යුත්තේ සසර දුකින් නිදහස්වීම පිණිසයි. මේ උතුම් පොහොය දිනයේදී අපි දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගනිමු. එනම් මම කෙසේ හෝ මේ සසර දුකින් ගැලවීමට උත්සාහ කරනවා. ජීවිතයේ අනෙකුත් කටයුතු කිරීමට මා තුළ උත්සාහය තිබෙනවා වගේම, සංසාර දුක නැති කිරීමටද මම වෙර දරනවා කියා දැඩි අධිෂ්ඨානයට පැමිණ සසර දුක නැති කිරීමටද උත්සාහ ගන්න.
පස්කම් සැප සෙවීම සඳහා දරන උත්සාහයේ නිෂ්ඵල බව වටහාගෙන නිවැරදි උත්සාහයේ අගය දැනගෙන කටයුතු කොට උතුම් නිවන සාදා ගන්නා මෙන් මතක් කරනවා. උතුම් උත්සාහයට පැමිණ සසර දුක නැතිකිරීමට ඔබටහැකියාව ලැබේවා...!
තෙරුවන් සරණයි