සුවහසක් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් ලංකාවේ රජයේ රෝහල්වල නොතිබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන ඒමට ලාංකේය දුක හඳුනන, අනෙකාගේ වේදනාව දැනෙන රන් හදවත්වලට හැකි විය. එය පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදීමේ අවස්ථාවට ඇත්තේ තවත් දින කිහිපයකි. උතුරා යන පිය සෙනෙහසේ කඳුළකින් ආරම්භ වූ මෙය අරගලයක් තුළින් දිනාගත් දෙයක් ලෙස කිවහොත් වඩාත් නිවැරදි වේ. මේ ඒ පිළිබඳ තබනා සටහනකි.
ආසියානු කලාපයේ රටක් ලෙස ලංකාව තුළ පිළිකා රෝගීන් සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකි අතර, මොවුන්ට සේවය සලසා දෙන ලංකාවේ ප්‍රධාන පිළිකා රෝහල මහරගම අපේක්ෂා පිළිකා රෝහලයි. නමුත් ලංකාවේ පිළිකා රෝගීන්ට ස්වකීය පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීමට මේ වනතුරුත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය යන්ත්‍රයක් වන පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැත. අපේ රටේ සිටින බහුතරයක් දුප්පත් මිනිසුන්ට එවැනි පරීක්ෂණයක් පෞද්ගලික රෝහලක මුදල් වියදම් කරමින් සිදුකර ගැනීමට වත්කමක් නොමැති නිසාවෙන් එය මහත් අඩුපාඩුවකි.
එම යන්ත්‍රය රෝගී සිරුරේ පටක හා අවයව ක්‍රියාත්මක වී ඇති ආකාරය හෙළි කිරීමට අත්‍යවශ්‍ය වේ. මේ තුළින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරකම් හඳුනාගැනීමට හැකියාවක් ඇති අතර, ආරම්භක අවදියේදී පිළිකා රෝග තත්ත්වය හඳුනා ගැනීමටද මෙය උපකාරී වේ.
ලෝකයේ පෙට් ස්කෑන් යන්ත්‍රය නිපදවා අද වන විට වසර 26ක් පමණ කාලයක් ගතවූ නමුත්, තවමත් ලංකාවේ එවැනි යන්ත්‍රයක් නොමැති වීම කනගාටුවට කරුණකි.