සිය අබාධිත දරු තිදෙනාගේ සහ වයස්ගතව ඔත්පලව සිටින සිය සැමියාගේ කුස ගින්න නිවූ මවක් මෝටර් රථයක ගැටීමෙන් කකුල කැඩී එක්තැන්වීමේ පුවතක් මීටියාගොඩ, කරුවලබැද්ද ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙසේ මෙම අනතුරෙන් එක්තැන් වී ඇත්තේ මීටියාගොඩ, කරුවලබැද්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.කේ.සෝමවතී (75) යන කාන්තාවය.
සෝමවතීගේ දරු තිදෙනාම උපතින්ම ආබාධිත අය වන අතර, පිරිමි දරුවන් වන ඔවුන් තිදෙනාගේම දෑස්ද නොපෙනෙනුයේද උපතින්මය.
සෝමවතී සහ ඇයගේ සැමියා වන ඩබ්ලිව් .සිරිසේන උපතින්ම ආබාධිත වූ මෙම දරු තිදෙනා කුඩා කල සිටම රක්ෂා කළේ කුලී වැඩ කරමිනි. ඔවුන් දෙදෙනා මේ දරු තිදෙනා රැක්කේ කාටවත්ම අතනොපාමිනි. ඒ ඔවුනගේ දෑතේ දෙපයේ වීරියට පින්සිදු වෙන්නටය .
සෝමවතීගේ සැමියාට දැන් වයස අවුරුදු 83කි. ඔහුට කුලී වැඩක් කිරීමට නොහැකිවී ඇත්තේ ඔහුද අංශබාග රෝගයට ගොදුරුවීම හේතුවෙනි. එතැන් පටන් මේ ආබාධිත දරු තිදෙනාගේත්, රෝගීව එක්තැන්ව සිටින සිරිසේනගේත් සියලු කටයුතු සිදුකෙරුණේ සෝමවතී අතින්ය.
වැසිකිළි කැසිකිළි යෑම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා දරු තිදෙනාට සහ සැමියාට කණවැල ඇල්ලුවේ සෝමවතීය.එපමණක් නොව ඔවුන් සිවුදෙනාගේම රෙදි පිළිසෝදා පිරිසිදුව තිබ්බේද ඇයය.
සෝමවතී මීට දෑ අවුරුද්දකට පෙර කඩමණ්ඩියට ගියේ මේ අසරණයන්ට කෑමට යමක් ගෙන ඒමටය. එහිදී ඇය අනතුරකට මුහුණ පෑ අතර ඇයගේ පාදයක් බිඳී ගියේය.
රිය අනතුරින් කැඩුණු සෝමවතීගේ පාදය යථා තත්ත්වයට ගැනීමට නම් ඒ සදහා සැත්කමක් කළ යුතු බවට පවසයි. මේ වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් ලක්ෂයක් පමණ අවශ්‍ය බව සෝමවතී පැවසුවාය.
ඇයට මෙම මුදල සොයා ගැනීමට නොහැකිව දැනට දෑඅවුරුද්දක් තිස්සේ සිටම නිවසේ අනෙක් ආබාධිතයන් මෙන් කවුරුන් හෝ දෙන දෙයකින් සප්පායම්වී සිටින්නේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය.
තමන්ට හා තමන්ගේ දරු පවුලට සිදු වූ දේ පිළිබඳව සැමදා හැඬූ කඳුළින් පසුවන සෝමාවතීගේ මේ කඳුල යම්තාක් හෝ අඩුකරලිය හැක්කේ ඇයට නැවත දෙපයින් යෑමට අවශ්‍ය ශක්තිය ලබාදුනහොත් පමණි. එසේ නැතහොත් ආබාධිත දරු තිදෙනා සහා ඔත්පලවී සිටින සැමියාගේ තුන්වේලම කුස පිරවීමට වැඩපිළිවෙළක් තිබේ නම් පමණි .
මේ අසරණයන් වෙනුවෙන් උපකාරයක් සිදුකිරීමට කැමති අයෙකු වෙතොත් 0915711217 දුරකථන අංකයට කතා කොට හෝ ඩබ්ලිව්.ඒ.කේ.සෝමවතී හා ඇයගේ සැමියා වන ඩබ්ලිව්.සිරිසේන දෙපොළගේ නමින් අලුත්වල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 0913094700ට මුදල් බැර කිරීමෙන් එය සිදුකළ හැකිය.
කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත