ඉන්දියවේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේදී පාපැදි කාන්තා කණ්ඩායම් තරගයෙන් රීදී පදක්කමද ඇතුළුව සාග් ක්‍රීඩා තරගාවලි තුනකදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් හතරක් දිනා ඇති ජාතික පාපැදි ශූරියක වන දොම්පේ පදිංචි ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක ක්‍රීඩිකාව තවමත් රැකියාවක් සොයමින් සිටින්නීය.
2000 වසරේදී පාපැදි ක්‍රීඩාවට අත්පොත තැබූ ලසන්ති 2005 වසරේ සිට 2010 දක්වා අඛණ්ඩව ජාතික මහා ක්‍රීඩා උලෙළේ රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවකි.
ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක පිළිබඳව මාධ්‍ය කළ හෙළිදරව්වකින් පසුව ඇයට නිවසක් තනා ගැනීමට දොම්පේ - මාපිටිගම පදිංචි දානපතියකු වන අයි.ඩී. උපාලි සෙනරත් ඉඹුලාන මහතා ඉඩමක් පරිත්‍යාග කළේය. එවකටත් දෙදරු මවක වූ ඇය දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පුහුණුව ලබමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පාපැදි තරග ගණනාවකට සහභාගි වූවාය.
යුද හමුදාවේ සේවය කරන ඇගේ සැමියාගේ වැටුපින් පවුලේ නඩත්තු කරගෙන යයි. මලයාසියානු පාපැදි සවාරිය, ඩුබායි ආසියානු තේරීම් තරගාවලිය 2010 ඉන්දියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලය පාපැදි සවාරිය 2011 වසරේ චීනයේ පැවැති ආසියානු පාපැදි සවාරිය වැනි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ඇති ලසන්ති, 2006 වසරේදී කොළඹදී පැවැති සාග් ක්‍රීඩා තරගවලදී කණ්ඩායම් රන් පදක්කමක්, 2010 වසරේදී බංගලාදේශයේ පැවැති සාග් තරගාවලියේදී පාපැදි මාර්ගය ධාවන තරගයේ රිදී පදක්කමක්, කණ්ඩායම් කේවල තරගයේදී ලෝකඩ පදක්කමත් ඇතුළුව දකුණු ආසියා තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා රටට ඉමහත් කීර්තියක් ලබාදී ඇත.
2013 වසරේදී ඩෙංගු රෝගය වැලඳීම නිසා වසරක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි ලසන්ති ඉන් අනතුරුවත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණියාය.
තමන්ටම කියා පාපැදියක් නොතිබුණ ලසන්තිට පළාත් ක්‍රීඩා අධ්යක්ෂ අයි.එම්.අයි.බී. රත්නායක මහතාගේ අනුග්‍රහය මත පාපැදියක් ලබාගැනීමට හැකිවුවද පසුගිය පැවැති ජාතික මහා ක්‍රීඩා උලෙළේදී සිදුවූ බරපතළ අනතුරකින් සිය පාපැදිය අබලන් වූ අතර, පසුව ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීම මත තමාට රුපියල් ලක්ෂ හය හමාරක් වටිනා පාපැදියක්ද පිරිනැමුණු බව කෘතඥතා පූර්වක ලසන්ති පැවසුවාය.
තමාට පාපැදියක් ලබා දී තම ක්‍රීඩා දිවිය ශක්තිමත් කළා සේ ආර්ථික අපහසුතා මැද ජීවත්වන තමාට ස්ථිර රැකියාවක් ලබාදී තම ජීවිතය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී තවත් ජයග්‍රහණ රටට ලබාදීමට තමන් සූදානම් බවත් ඇය සඳහන් කළාය.
දොම්පේ - අජිත් මදුරප්පෙරුම