තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ තිස්සපුර ප්‍රදේශයේ මාහාමාර්ගය අයිනේ දරුවන් දෙදෙනෙකු සමග අනාරක්ෂිත කුඩා නිවසක ජීවත්වන අහිංසක දරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ මවට නිවසක් ඉදිකරගැනීමට රජයෙන් ලැබණු ඉඩම් කැබැල්ල නැවත පවරා ගැනීම නිසා ඔවුහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
තම ස්වාමි පුරෂයාගේ නොසලකා හැරීම නිසාම ඔහුගේ මහගෙදරින් මීට වසර හතරකට පමණ පෙර මදුෂිකා ලක්මාලිට තම දරුවන් දෙදෙනා සමග මහපාරට බැසීමට සිදුවිය. මහා පාර අයිනේ ටකරන් තහඩු, කාඩ්බෝඩ්, පොල් අතු කැබලි යොදා ගනිමින් කුඩාවට නිවසක් තනාගන්නේ තමාට හා දරුවන් දෙදෙනාට යාමට වෙන කිසිදු තැනක් නොමැති නිසාය.
දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පෙර පාසල් යන අතර අනෙක් දරුවා පළමුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දරුවන් අධ්‍යාපනය ලබන්නේද මෙම අනාරක්ෂිත නිවසේ සිටය. එක් පසෙකින් මහා මාර්ගයත් අනෙක් පසෙන් ගැඹුරු ඇළ මාර්ගයකුත් මෙම නිවස පිහිටි වර්ග අඩි දොළහකට නොවැඩි කුඩා නිවාස දරුවන් දෙදෙනෙකු හට කිසිසේත් ම නොගැළපෙන එකක් බව හදවත් ඇත්තෙකුට මිස අන් අයෙකුට නොදැනෙයි.
තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මදුෂිකා මහත්මිය මෙසේ පැවසුවාය.
''මට ජීවත් වෙන්න ස්ථිර තැනක් නැති නිසා මගේ ළමයි දෙන්නත් එක්ක අවරුදු හතරක් තිස්සේ ඉඳලා මෙතන ඉන්නේ.මම ආබාධිත කෙනෙක් කකුලක් කපලා අයින් කරලා තියෙන්නේ. මම ඉන්න තැනක් දෙන්න කියලා හැම කෙනෙක්ගෙම ළඟට ගියා. පස්සේ මට සජිත් ඇමතිතුමාගෙන් නිවසක් හදාගන්න ඉඩමක් හම්බවුණා. මම මගේ කරාබුදෙකත් උගස් තියල ඒ ඉඩමේ අඩිතාලම දැම්මා.
නමුත් ඒ අය කියපු දවස් වලට මට ගේ හදාගන්න බැරි වුණා කියල ඒ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියෙන් ආපසු පවරා ගත්තා.මගේ මහත්තයත් මෙහෙ නෑ. එයා හදිස්සියෙන් තමයි මෙහෙ එන්නේ. මහත්තයා නැති නිසා නිතරම පිරිමි අයගෙන් කරදර වෙනවා.
අපි නිදාගන්න වෙලාවට සමහරු ඇවිල්ලා වතුර, වැලි ගහනවා. වහින දවස්වලට මගේ දරුවෝ දෙන්නා නිදාගන්නේ පුටුවක් උඩ. අපි පත්ව සිටින තත්ත්වය පිළිබඳව සලකා බලා රජයට පවරා ගත් ඉඩම නැවත අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.''
නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම සංවේදී ආයචනය ගැන සලකා බලා එම ඉඩම යළි තමන්ට ලබා දෙතැයි ඔවුහු අපේක්ෂා කරති.