අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචි අසරණ පවුලක 16 හැවිරිදි සිසුවෙකු බරපතළ රෝගී තත්ත්වයකට පත්ව ඇති අතර, ඔහු බේරා ගැනීමට දරුවාගේ මව පරිත්‍යාගශීලීන්ගේ පිහිට පතයි.අම්බලන්ගොඩ, වතුගෙදර ශ්‍රීපති විද්‍යාලයේ 08 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති එම්. කසුන් කුමාර නමැති දරුවා ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා සිට සිහිසුන්ව මේ වනතෙක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ඔහුගේ මව වන එම්.බී. රූපිකා (අවු.39) මහත්මිය පවසයි.
2014 වසරේ මැද භාගයේදී දේශපාලන රැස්වීමකට සහභාගී නොවීම හේතුවෙන් දරුවන් 04 දෙනෙකුගෙන් යුත් මෙම අසරණ පවුල සඳහා රජයෙන් ලබාදී තිබූ රු. 500 ක් වටිනා සමෘද්ධි සහනාධාරය අහිමි කළ බවද ඔවුහු පවසති.දරුවාගේ අසනීප තත්ත්වය පිළිබඳ නිතර සොයා බැලීය යුතු නිසා ඒ වෙනුවෙන්ම දරුවාගේ පියා හා මව රැඳී සිටිය යුතු අතර ඒ හේතුවෙන් ඔවුන්ට කුලී වැඩකටවත් යෑමට නොහැකිව ඇතැයි අසල්වැසියෝ කියති.
අසනීප දරුවාගේ පියා සමන්තිලක කුලී කම්කරුවෙකු ලෙස උපයන මුදලින් දරුවන් පෝෂණය කරන බවත්, තමන් සතු ඉඩමක්, ස්ථිර නිවෙසක් හෝ වෙනත් කිසිම ආදායම් මාර්ගයක් නොමැති වීමෙන් ඔහු උපයන මුදලින් කුලියට ගෙන ඇති නිවෙසට මාසිකව මුදල් ගෙවා 1994 සිට කුලී නිවාසවල මෙම අසරණ දරු පවුල පදිංචිව සිටින බව බළපිටිය ප්‍රාදේශීය ලේකම්, ජන හා සංඛ්‍යාලේඛන තොරතුරුවලද සටහන්ව ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කසුන් කුමාර 16 හැවිරිදි සිසුවා ඉකුත් සැප්තැම්බර් මාසයේ 23 වැනිදා දහවල් පාපැදියක් අලුත්වැඩියා කරගැනීමට එම වැඩපළකට ගොස් සිටියදී සිහිසුන්ව ඇදවැටීමෙන් පසු බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ දින 11ක් ප්‍රතිකාර ලබාදී පසුව දින 03ක් වාට්ටුවක තබාගෙන සිට ඇති අතර, දරුවා ජීවත් කිරීමට නොහැකි මට්ටමක සිටින නිසා ඔහු නිවෙසට රැගෙන යන ලෙසත් ලැබුණු වෛද්‍ය උපදෙස් මත එසේ කළ බව මවුපියෝ පැවසූහ.
දින කිහිපයක්ම නිවසේ තබාගෙන සිටි දරුවා සම්බන්ධයෙන් අසල්වැසියන් හා කන්දේගොඩ ත්‍රිරෝද රථ රියදුරු මහත්වරුන් එක්ව ඔවුන්ගේ ආධාර උපකාර ඇතිව නවලෝක රෝහලේ වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමුකිරීමෙන් පසු ජීවත් කිරීමට නොහැකි බව පැවසූ දරුවා මීට කලින් රැගෙන ආවේ නම් සුව කිරීමට තිබූ හැකියාව ප්‍රමාදය නිසා අහිමිවී ඇති බවත් රෝදපුටුවක සිටින මට්ටමට දරුවා සුවපත් කර දීමට හැකි බවත් පවසා තිබේ. නවලෝක රෝහලේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් හා ප්‍රතිකාර මත අදටත් ඔහු ඔත්පල වී ඇඳක් මත වැතිරී සිටින අයුරු හද කම්පා කරවන දසුනකි.
සතියකට වරක් කොළඹ රැගෙන යාමට හා දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමුකර බෙහෙත්-හේත් ගැනීමට රු. 10,000/- පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, මෙතෙක් උදවු උපකාර කළ සියලු දෙනාම සිහිපත් කරන මවුපියන් ඔවුන්ට හැමදාම කරදරයක් වීමට නොහැකි නිසා මෙම දරුවා සුවපත් කර ගැනීමට පරිත්‍යාගශීලී කාරුණික ඔබේ සහය පතයි.
අම්බලන්ගොඩ, කන්දේගොඩ 415/1 යන ලිපිනයෙහි පදිංචි මෙම අසරණ දරු පවුලට හා රෝගී දරුවාට උදවු කිරීමට කැමති පරිත්‍යාගශීලීන්ට අම්බලන්ගොඩ සම්පත් බැංකුවේ ගිණුම් අංක 107257065074 දරණ ගිණුම සඳහා මුදල් බැර කළ හැකි අතර 076-9696143 දරණ දුරකථන අංකයෙන් තොරතුරු අසා දැනගත හැකිය.
ඇත්කඳුරේ - ජනත් ද සිල්වා