කෑගල්ල, දැදිගම ඒබිඩිගල ප්‍රාථමික විද්‍යාලයේ ඇති එකම ගොඩනැගිල්ලේ වහලයේ ලී දිරාපත් වී කඩා වැටීමේ අවදානමක් ඇතැයි එහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ දෙමවුපියෝ පවසති.
මේ හේතුවෙන් එහි ඉගෙනුම ලබන සිසු දරු දැරියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත්, මෙම තත්ත්වය එම දරුවන්ගේ ජීවිතවලටද තර්ජනයක් බවත් ඔවුහු පෙන්වා දෙති.
1961 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ ඒබිඩිගල ගම්මානයේ දරුවන් පමණි. මේ වනවිට සිසු දරුදැරියන් 20 ක් පමණ මෙහි ඉගෙනුම ලබන අතර, ගුරු මණ්ඩලය විදුහල්පතිවරයාද ඇතුළුව 06 දෙනෙකි. මෙහි ඉගෙනුම ලබන දරුවන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, ක්‍රීඩා උපකරණ ඇතුළු අඩුපාඩු රැසක් පවතින බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.
ඒබිඩිගල ප්‍රාථමික විද්‍යාලයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසී මවක වූ එච්.ආර්. ඇසිලින් නෝනා,
"මේ පාසලේ වහලයේ ලී ටික දිරාපත් වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. අපිත් පුළුවන් විදියට දන්වන්න තියෙන හැම තැනකටම වගේ කිව්වා මේක ඉක්මනට හදල දෙන්න කියලා. ඒත් තාම නැහැ. දැන්නම් වහලය හොඳටම අබලන් වෙලා යටින් මුක්කු තියලා. ඒ මුක්කු මත තමයි රැඳිලා තියෙන්නේ. අපේ ගමේ ගෙවල් 82 ක් විතර තියෙනවා. ඒ වගේ ඉන්න දරුවන්ට යන්න වෙනත් පාසලක් නැහැ. එහෙම යවන්න තරම් ආර්ථික හා ප්‍රවාහන පහසුකමුත් අපේ ගමට නැහැ. මේ ගමේ රජයේ වැඩ කරන දෙතුන් දෙනෙක් ඇරුණම අනෙක් හැම කෙනෙක්ම වාගේ රබර්, තේ මත යැපෙන කට්ටිය තමයි ඉන්නේ.
අපේ ගමට බස් එකක් නැහැ. අපි උවමනාවකට පාරට ගියොත් රු.300 ක් දීලා ත්‍රීවිල් එකක ගමට එන්න ඕනෑ. එහෙම නැත්නම් පයින් පැයක් එක හමාරක් විතර කන්ද බඩගාගෙන එන්න ඕනෑ. ප්‍රවාහන පහසුකමක්වත් තිබුණා නම් අපිට දරුවන්ට වෙනත් පාසලට හරි යවන්න තිබුණා. වෙනත් පාසල්වල තියෙන කිසිම පහසුකමක් කොට්ඨාස මට්ටමේ හා පළාත් මට්ටමේ කිසිම තරගයකට එකම දරුවෙක් සහභාගි වෙලා නැහැ. ඒ අය ඒ තරගවලට යවන්න පුහුණුවීම් කටයුතු කරන්න තරම් තැනක්වත් අපේ අහිංසක දරුවන්ට නැහැ. නමුත් විවිධ හැකියාවන් ඇති දක්ෂ දරුවන් මේ පාසල තුළ ඉන්නවා. ඒ වගේම අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනතුරකට අත වනන මොහොතක එසේ සිදුවීමට නොදී අපේ දරුවන්ගේ පාසල හදාදෙන ලෙසයි" යැයිද පැවසුවාය.
ජී.ආර්. ඥාන ගම්ලත්,
"අපේ ගමට අපේ දරුවන්ට තියෙන එකම පාසල මේක. නමුත් දැන් මේකෙ වහලෙ හොඳටම දිරලා. මුක්කු ගහලා. ඒවා මත තමයි වහලේ රැඳිලා තියෙන්නේ. මේ තත්ත්වය උඩ අපේ දරුවන් පාසලට එවන්න බැරි තත්ත්වයක් අපට උදාවෙලා තියෙන්නේ. මේ පාසලේ ඉගෙනුම ලබන්නේ අපේ ගම්මානය තුළ ජීවත්වන පවුල් 82 ක පමණ පිරිසකගේ දරුවන් විතරයි. වෙනත් කිසිම ප්‍ර‘දේශයක දරුවෙක් මේ පාසලට ඉගෙනුම ලබන්න එන්නෙ නෑ. මේ දරුවන්ට තිබුණේ හොඳටම දිරාපත් වූ ඩෙස් බංකු ටිකක්. නමුත් පෞද්ගලික ආයතනයකින් අපේ පාසලට ඩෙස් බංකු 10 නොමිලේ ලබාදුන්නා.
මේ පාසලටම තිබෙන්නේ ගුරු මේසයක් හා ගුරු පුටු 02 ක් විතරයි. කාර්යාලයේ තියෙන පුටු 2 ක් අපට අරන් දුන්නේ අවසාන වරට විශ්‍රාම ගිය විදුහල්පතිතුමා. අපට සල්ලි තිබුණා නම් අපි කාටවත් කියන්නේ නැහැ. අපේ පාසල අපිම හදා ගන්නවා. නමුත් එදිනෙදා කීයක් හරි හොයාගන්න අපි කොහොමද මෙච්චර මුදලක් එකතු කරගන්නේ. මෙහෙ දරුවන්ට පෙර පාසලක් නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ පාසලේ එකම ගොඩනැගිල්ලේ ඇති අබලන් වහලය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි" යැයිද පැවසීය.