Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
විශේෂ අධිකරණ ගැන ජී.එල්.ගෙන් බ්‍රිතාන්‍යයේදී පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගි විය. මහාචාර්ය ජී.එල්. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියෙන් නිරන්තරයෙන් ඇරයුම් ලබන ප්‍රධානතම ආරාධිත දේශකයෙකි.
ආර්ථික අපරාධ පිළිබඳව පැවැති මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට රටවල් 85ක් නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් සහ විද්වතුන් 1800ක් පමණ සහභාගි විය. ‘යුක්තිය ඉටු කිරීම සඳහා පවත්නා යාන්ත්‍රණයේ ප්රමාණාත්මකභාවය’ යන මැයෙන් ඔහු විසින් එහිදී පවත්වන ලද දේශනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත විශේෂ මහා අධිකරණය පිළිබඳවද අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාවේ විශේෂ අධිකරණ පිළිබඳව පවතින්නේ අපකීර්තිමත් ඉතිහාසයක්. අපිට අමතක කරන්නම බැහැ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ජනාධිපතිවරණයට තරග කිරීමට පවා අවස්ථාව අහිමි කළ තීරණය. එම තීරණය ගත්තේ එවකට සිටි රජය විසින් මේ ආකාරයෙන්ම පත්කළ විශේෂ ජනාධිපති කොමිසමක් මගින්. එදා මෙවැනි තත්ත්වයක් ඇති කළේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය මගින් එම කරුණු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට තිබූ අවස්ථාව අහේතුකව මගහරිමින් බව කිව යුතුයි.
ඒ වගේම දේශපාලකයන් විසින් සාමාජිකත්වය දරණ කමිටුවකින් ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක්ද ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළා. එය මුළුමනින්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ නීති විශාරදයන් විසින් පෙන්වාදී තිබෙනවා. සමස්තයක් විදිහට ගත්කල අපට පැහැදිලිවම පෙනී යන්නේ දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ මුවාවෙන් ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවයි.’ යනුවෙන් ජී.එල්.දේශනයේදී කියා සිටියේය.
මෙම සම්මන්ත්‍රණය සඳහා ග්ලේන් ගෝවාහි රාජකීය නීතිඥ ඩේවිඩ්සන් සාමිවරයා, බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශකවරයා, බ්රේව්හි රාජකීය නීතිඥ කාලි සාමිවරයා, බ්‍රිතාන්‍යයේ සහ වේල්සේ අභියාචනාධිකරණ විනිසුරු සර් රූපට් ජැක්සන් ඇතුළු ලෝක ප්‍රසිද්ධ ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
දියවර නෑයෝ වේදිකාවේ උපන්දින සාදයක්
ඉගිනිමිටිය ගොවි ජනපද ව්‍යාපාරයට අතිශය වැදගත් දවසක් වූයේ සෙනසුරාදාය. ඒ ප්‍රදේශයේ වාරි පද්ධතිය 36 වසරකට පසුව නවීකරණය කරමින් පිබිදීමක් ඇති කිරීමේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් හා ගොවිජනතාව මෙන්ම ගොවි දූ පුතුන්ගේද දැනුම හා අනාගත දියුණුව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීම හේතුවෙනි.
කෙසේ වෙතත් දියවර නෑයෝ වැඩසටහනේ සමාරම්භය සෙනසුරාදා පෙරවරු 9.00 ට යෙදී තිබිණි. නියමිත පරිදි වාරිමාර්ග නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු අතිවිශාල ජනකායක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. ඒත් සමගම එම ස්ථානයට පැමිණියේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරයි. ඔහු සිනාමුසු මුවින් යුතුව වේදිකාවට ගොඩ විය.
කෙසේ වෙතත් ඔහු වේදිකාවට ගොඩ වූ සැණින් නන් දෙසින් රතිඤ්ඤා පත්තු වීමට පටන් ගත්තේ සාමාන්‍ය උත්සවයකට වඩා වෙනස් අාකාරයෙනි. විනාඩි ගණනාවක් පුරා පැවැති එම හඬ අවසන් වීමත් සමග මිහිරි සංගීත නාදයක් වේදිකාව පසුපසින් ඇසෙන්නට විය. සිදු වන්නේ කුමක්දැයි පාලිත රංගේ බණ්ඩාරටද මහත් ගැටලුවක් වූ බව වැටහී ගියේ ඔහුගේ හැසිරීම මවිතය මුසු වූ තත්ත්වයකින් දිස් වීම හේතුවෙනි. වේදිකාවේ සිටි බොහෝ දෙනෙකුද සිනා රැලි නගමින් සිටීම තුළ අමාත්‍යවරයා තවත් නොසන්සුන් විය.
පසුව වේදිකාව මතට පැමිණියේ අතිවිශාල කේක් ගෙඩියකි. සිදුවන්නේ කුමක්දැයි ඇමති පාලිත රංගේ බණ්ඩාර ට වැටහී ගියේ තමන්ගේ උපන් දිනයද සැප්තැම්බර් 08 දාට යෙදී ඇති බව සිහිපත් වීමත් සමගය. එය අවසන් වූයේ රංගේ බණ්ඩාර ඇතුළු ගොවිජනපද ව්‍යාපාරිකයන් විසින් කේක් කපා පැමිණ සිටි දහස් ගණනක් කේක් කෑල්ලක රස බැලීමෙන් අනතුරුවයි.
රංගේ බණ්ඩාර පැවසුවේ ගතවූ වසර 55ක කාලය තුළ තමන් සැමරූ දැවැන්තම උපන්දින සාදය මෙය බවයි. මෙය සංවිධාන කළ තරුණ පිරිසට හා ගොවි සංවිධාන නියෝජිතයන්ට හදපිරි ස්තුතිය පුද කරමින් පාලිත රංගේ බණ්ඩාර දියවර නෑයෝ වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය.
ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් (ලෝක් සභාවේන්) කෙරුණු විශේෂ ඇරයුමක් පරිදි කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන්ද ඇතුළත් නියෝජිත පිරිස නවදිල්ලිය බලා පිටත්ව ගියේ සඳුදාය.
ඉන්දිය ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රධනතම චරිත කිහිපයක් සමග වැදගත් රාජතාන්ත්‍රික හමුවීම් එකදිගට යෙදී තිබූ බැවින්, ශ්‍රී ලංකා ධූත පිරිස වෙනුවෙන් අශෝක් හෝටලයේ නවාතැන් පහසුකම් සැලසීමට ඉන්දියානු බලධාරීහු කටයුතු කර තිබිණි.
කථානායක ප්රමුඛ ධූත පිරිසට විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක,මනෝ ගනේෂන් සහ ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද,
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන අයද එක් වූ අතර, සඳුදා පෙරවරුවෙහි පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවූහ.
එය ඉතා සුහද ගෞරවනීය හමුවක් ලෙසින්, සංවිධානය කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහු කටයුතු සම්පාදනය කර තිබූ අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සාකච්ඡාව පැවැත්විණි.
විශේෂයෙන්ම ඉන්දියාවේ පවතින ඛනිජ තෙල් මිල අර්බුදය කෙරෙහි රජයේ පුළුල් අවධානයක් යොමුව තිබියදී ශ්‍රී ලංකාවේ ධූත පිරිස වෙනුවෙන් හෝරාවකට ආසන්න කාලයක් වෙන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවට එක්වීම ඉන්දීය මාධ්‍යයන්හි පුළුල් අවධානයට ලක්ව තිබිණි.
දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කළද ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මවුබිමට පොදු වැදගත් කාරණා සම්බන්ධව එකම මතයක සිට අදහස් දැක්වීම පරිණත දේශපාලනඥයකු වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට හේතුවිය.
කරු ජයසූරිය ඇතුළු පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් විශේෂ හමුවක් සඳහා කටයුතු යොදා තිබූ අතර, පිරිස ඉතා සුහදව පිළිගත් ඉන්දීය ජනාපති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඉතා සමීප ඓතිහාසික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සෑම අංශයකින්ම සහාය දීමට ඉන්දියාව කිසිවිටෙකත් පසුබට නොවනු ඇති බවටද අවධාරණය කළේය.
ලෝක පාර්ලිමේන්තු සංගමයේත්, ලෝක කථානායක සමුළුවේත්, ජ්‍යෙෂ්ඨයෙකු වන ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය වෙනුවෙන් ඉන්දීය කථානායිකා සුමිත්‍රා මහාජන්ද ඉහළ පිළිගැනීමක් ලබාදුන් අතර, ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවාය.
මේ සඳහා, ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛතම අමාත්‍යවරු අටදෙනෙකු මෙන්ම මන්ත්‍රීවරු ගණනාවක්ද එක් වූ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයාගේ පුරෝගාමීත්වයෙන් අන්තර් පාර්ලිමේන්තු රාජත්‍රාන්ත්‍රික සබඳතා සඳහා මූලිකවීම ඊට එක්වූ සියලුම ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයන්ගේ ඇගැයීමට ලක් විය. මේ අතර ධූත මෙහෙවර වඩාත් සමබර වූයේ ඉන්දියානු කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපපොළක්ම කරු ජයසූරිය ඇතුළු පිරිස හමුවීමෙනි.
සෝනියා ගාන්ධි දිල්ලියෙන් ඉතා දුර බැහැර ප්‍රදේශයක සිටි නමුත්, පක්ෂයේ ප්‍රධානීන්ට උපදෙස්දී තිබූ පරිදි කොංග්රස් පක්ෂයේ රාජ්‍ය සභාවේ ප්‍රධානී නබි අසීද්, කොංග්රස් පක්ෂ මහ ලේකම් ශ්‍රී ආනන්ද ශර්මා, කොංග්රස් පක්ෂ ජාතික සංවිධායක මෙන්ම හිටපු ප්‍රබල ඇමතිවරු ගණනාවක් සිය පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලාංකික ධූත පිරිස සමග සාකච්ඡා කිරීමට එක් වූහ.
ගම්මන්පිලගේ දෙබිඩි ප්‍රකාශ
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු බදාදා පෙත්සම් විභාගයට පෙර පෙත්සම්රුවෝ සහ විත්ති පාර්ශ්වයේ සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ කතාබහක නිරත වූහ.
මේ අතර සුනිල් වටගල, උදය ගම්මන්පිල සහ තවත් නීතිඥ පිරිසක්ද සිටියහ. විධායක ජනාධිපති ධුරය පිළිබඳව මෙන්ම මාක්ස්වාදී දේශපාලනය සම්බන්ධයෙන්ද විවිධ තර්ක විතර්ක මෙහිදී ඉදිරිපත් විය.
‘මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා. පක්ෂ එක්ක ගිවිසුම් ගැහුව්වා. ඔබතුමා ඒකට සහය දුන්නේ ඇයි විධායක ජනාධිපති ධුරය තියාගන්න ඕන නම්.” කියා සුනිල් වටගල ගම්මන්පිලගෙන් විමසා සිටියේය. ‘ජවිපෙ එක්ක ගිවිසුම ගැහුව්වට පස්සේ රාජපක්ෂ මහතා අපිත් එක්ක සාකච්ඡාවට ආවා. අපේ පැහැදිලි කිරීම්වලින් පස්සේ එතුමා තේරුම් ගත්තා විධායක ජනාධිපති ක්‍රමය ඕන කියලා” යනුවෙන් පවසමින් ගම්මන්පිල මෙහිදී ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
‘ඒක පුදුම කතාවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා තේරුමක් නැතුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ගිවිසුම් අත්සන් කළේ. මේ විදිහට ජනතාව ගොනාට අන්දන්නද එයා කටයුතු කළේ.” යනුවෙන් වටගල, ගම්මන්පිලගෙන් පෙරළා ප්‍රශ්න කළේය.
‘විධායක ජනාධිපති ක්‍රමයෙන් රටවල් හදලා තියෙනවා. අපි 20 ගැන නීතිඥයන් එක්ක පැය ගණන් සාකච්ඡා කළා. මේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් වෙනවා” යනුවෙන් ගම්මන්පිල තවත් පරස්පර ප්‍රකාශයක් සිදුකළේය. ‘අයියෝ මන්ත්‍රීතුමා. එහෙනම් මොකටද 20 පරද්දන්න හදන්නේ. ඔබතුමාලා මේක දිනවන්නනේ කටයුතු කරන්න ඕනෑ.” යනුවෙන් සුනිල් වටගල සිනාසෙමින් කියා සිටියේය.
‘ඔබතුමාලගෙ නායකයා කියලා තිබුණා පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ ගම්මන්පිල විතරයි කියලා. ඔබතුමා දන්නවද? පිවිතුරු හෙළ උරුමය කියන්නේ ජවිපෙට වැඩිය ලොකු පක්ෂයක්. ඔබතුමාලට ඒක තෙරෙන්නේ නෑ.” යනුවෙන් ගම්මන්පිල කීවේය. ගම්මන්පිලගේ කතාව අසාගෙන සිටි නීතිඥයන් සියලු දෙනාටම පාහේ සිනා පහළ විය. ‘ඒකනේ මන්ත්‍රීතුමා, කට්ටියගෙ හිනාවෙන්ම ඔබතුමාගෙ දේශපාලන දැනුම ගැන තේරෙනවා.” යනුවෙන් සුනිල් වටගල කියා සිටියේය. ‘අනේ ඔයත් එක්ක කතා කරලා වැඩක් නැහැ” යැයි කියමින් ගම්මන්පිල යන්නට ගියේ ඉන් අනතුරුවය.
සිරිකොතින් කිරි පැකට්
සතිය ආරම්භයේ සිටම වැඩි අවධානයක් යොමුව තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ ‘ජනබලය කොළඹට’ සහභාගි වූ පිරිස්වලට කිරි පැකට් බෙදා දීම පිළිබඳවය.
විෂ එන්නත් කළ කිරි පැකට් බෙදාදී සිය උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව එක්සත් ජාතික පක්ෂය විසින් රෝගීන් කළ බවට ඒකාබද්ධ විපක්ෂය මෙහිදී චෝදනා කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ඉලක්ක කර ගනිමිනි. මෙම චෝදනාව හාස්‍යයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීන්ද නොයෙක් තැන්වල උසුලු විසුළු කරගෙන තිබුණේ පෞද්ගලිකවය.
තත්ත්වය එසේ තිබියදී සිරිකොත සඳුදා මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදීන්ට වෙනදා පිළිගැන්වෙන තේ පැන් සංග්‍රහය වෙනුවට විශේෂ යමක් පිළි ගැන්වීමට කටයුතු යෙදුණි. එහිදී මාධ්‍ය හමුවට පැමිණි සියලු මාධ්‍යවේදීන්ට ලබාදුන්නේ වැනිලා හා චොකලට් රසැති කිරි පැකට් සංග්‍රහයකි.
රාජිත, පාඨලී, සජිත්, රනිල් පොදු අපේක්ෂකකම ගන්න පෙරකනවලු
මහින්ද ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විජේරාම පෙදෙසේ නිවසට පැමිණ සිටියහ. ඒ අතර දිනේෂ්, ඩලස්, විමල්, මහින්දානන්ද, ප්‍රසන්න ඇතුළු පිරිසක් සිටියහ. පිරිසගේ විශේෂ අවධානයක් යොමු කෙරුණේ 05 වැනිදා පැවැති ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙනි.
‘ජනබලය කොළඹට උද්ඝෝෂණයෙන් ආණ්ඩුවටත් ආණ්ඩුව රැකගන්න කැපවෙලා ඉන්න ඇතැම් රටවල්වලටත් ලොකු පණිවිඩයක් දුන්නා. ඒ තමයි මේ ආණ්ඩුව එක්ක ජනතාව නැහැ කියන පණිවිඩය. අද රටේ ජනතාව ඉන්නේ කොතැනද කියන එක මේකෙන් පැහැදිලි වුණා’ මහින්ද පැවසීය.
‘ ආණ්ඩුව හිතාගෙන හිටියේ අපේ උද්ඝෝෂණය අසාර්ථක වෙයි කියලා. එදා කොළඹට ආපු සෙනඟ දැක්කම තමයි ආණ්ඩුවට උණ ගැනුණේ’ රෝහිත පැවසීය.
‘ ඒක තමයි විෂ යොදපු කිරි පැකට් බෙදනවා වගේ බාල වැඩ කරන්න ආණ්ඩුව පෙළඹුණේ. අපේ රටේ සතෙකුටවත් ඒ වගේ වසක් විසක් කවන සිරිතක් නැහැ. ඒ අතින් බලන කොට මේ ආණ්ඩුවේ ඉන්නේ මිනිස්සු නෙමේ සත්තු’ ප්‍රසන්න කීවේය.
‘ ඔය කිරි පැකට් බෙදන එක පිටිපස්සේ ඉන්නේ මංගල. බාල වැඩක් කළොත් ඉතින් මංගල හැර වෙන කවුද? ‘ඩලස් පැවසීය.
‘ ඒක නම් හරි. මේ කිරි පැකට් බෙදලා තියෙන්නෙත් ලොතරැයි මණ්ඩලයේ වාහනයකින්. ලොතරැයි මණ්ඩලය අයිති මංගලට. අපිට දගන්න ලැබුණා මේ වාහනය නිදහස් කරලා තියෙන්නේ ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයාට කියලා’ උදය කීවේය.
‘ කොහොම වුණත් අපිටත් මේ සිද්ධිය ලොකු පාඩමක්. අපි මීට පස්සේ මේ වගේ කාරණා ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. අපේ බලවේගය පරාජය කරන්න ඕනෙම ජරා වැඩක් කරන තැනට ආණ්ඩුව පත්වෙලා ඉවරයි. ඒ නිසා අපිත් එක්ක එන මිනිස්සු ආරක්ෂා කරන එක අපි කාගෙත් යුතුකම’ ප්‍රසන්න කියන විට මහින්ද ද එය අනුමත කළේය.
‘ හැබැයි අපි මේ සිද්ධිය මෙතැනින් ඉවර කරන්න හොඳ නැහැ. මේ බලු වැඩේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නම ඕනේ. මේ වගේ ජරා වැඩ ආයේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනේ’ මහින්දානන්ද කීවේය.
‘ උද්ඝෝෂණය සාර්ථක වුණා කියන එක වහගන්න ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මඩ ගහනවා. රජයේ සමහර නාළිකාවල පෙන්වන්නේ පරණ රූපරාමු. මට ආරංචි වුණා උද්ඝෝෂණයට පහුවදාම ලේක්හවුස් එකේ ඡායාරූප ශිල්පීන්ට කුණු ගොඩවල්වල පින්තූර ගන්න කිව්වා කියලා. කොහොම හරි ඒ අය යන කොට එක කුණු ගොඩක්වත් හම්බ වෙලා නැහැ’ ප්‍රසන්න පැවසීය.
‘ ඒක ඇත්ත. අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ’ ඩලස් කීවේය.
‘ අර මොකක්ද සිරිසේන ජනාධිපතිවරයා හොඳ අගමැතිවරයෙකු ගැන කියන්නේ?’ රෝහිත ඇසුවේය.
‘ ඒ කියන්නේ ඉතින් දැන් ඉන්න අගමැති හොඳ නැහැ කියලනේ. හැබැයි වැඩේ කියන්නේ අපි ඕක කිව්වේ 2015 ඉඳලයි. ජනාධිපතිවරයට දැන් තමයි ඒක තේරිලත් තියෙන්නේ’ විමල් පැවසීය.
‘ සමහර විට ජනාධිපතිවරයා මේ ටිකේ පත්තර එහෙම බැලුවද දන්නෙත් නැහැ’ ප්‍රසන්න කීවේ සැවොම සිනාගස්වමිනි.
‘ නින්දෙන් නැගිට්ටා වගේ ප්‍රකාශ කරන එක එතුමාගේ පුරුද්දක්නේ. හැබැයි අද කියන දේ හෙට මතක නැහැ. මුලින් කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. ඒ ගැන දැන් කතාවක්වත් නැහැ. පස්සේ කියනවා පොදු දේපොළ හොරකම් කරන අයට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. කටින් බතල කොළ තමයි’ රෝහිත කීවේය.
‘තමන්ට බලය හම්බ වුණ වෙලාවේ කම්බා හොරෙක් අගමැති කරලා ජනාධිපතිවරයා දැන් අපිට බණ කියන්න එනවා. ඒ අගමැතිකමත් දුන්නේ ව්‍යවස්ථාවටත් පයින් ගහලයි. හිටපු අගමැතිවරයා ඉවත් කරන්නෙවත් නැතුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිටපු කෙනාට අගමැතිකම දීලා රටම විනාශ කළා’ ඩලස් පැවසීය.
‘ ඒ කතාව නම් හරියටම හරි. බලය වැරැදියට භාවිත කරලා රටම නැති කරපු ජනාධිපතිවරයා අනාගත අගමැති ගැන කියන එක තරම් විහිළුවක් තවත් නැහැ’ මහින්දානන්ද පැවසීය.
‘ඊළඟ අගමැති ගැන තීන්දුව ගන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් කියන එක ජනාධිපතිවරයාට අමතක වෙලා වගෙයි’ විමල් කීවේය.
‘ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන වද වෙවී හිටිය එක්සත් ජාතික පක්ෂයට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ලොකු අර්බුදයකට. අපිට ආරංචි වෙලා තියෙන විදියට රාජිතලා, පාඨලීලා, සජිත්ලා, රනිල්ලා පොදු අපේක්ෂකකම ගන්න පෙරකනවලු’ ප්‍රසන්න හෙළි කළේය.
‘ කවුරු ආවත් ඉතින් දිනන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ පාර දිනන්නේ මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා මිසක් වෙන කවුරුත් නෙමෙයි’ මහින්දානන්ද පැවසීය.
මහින්ද සහ මෝදි අතර පුද්ගලික කතාබහක්
සඳුදා මහින්ද ඉන්දියාව බලා පිටත්ව ගියේ ‘විරාත් හින්දුස්ථාන්’ සංගමයෙන් ලැබුණු ආරාධනයක් පරිදිය. එම සංගමය මගින් සංවිධාන කරන මහජන රැලියක් ඇමතීමට මහින්දට ආරාධනා ලැබී තිබුණු අතර, පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ සුබ්‍රමනියම් ස්වාමි මහින්දට එම ආරාධනය කර තිබුණේය.
මහින්ද සමග පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එම සංචාරයට එක්ව සිටියහ.
ඉන්දියාවට ගිය මහින්ද ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ සුබ්‍රමනියම් ස්වාමි විසිනි. මෙම සංචාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් අවධානය යොමු වී තිබුණු අතර, මහින්ද සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් පැවැත්වෙතැයි දැනගන්නට ලැබීම එම අවධානය තීව්ර කර තිබුණි.
මහින්ද සහ මෝදි අතර හමුව පැවැත්වුණේ 12 වැනිදා සවස 4.30ට ඉන්දීය අගමැති මන්දිරයේදීය. එම සාකච්ඡාවට නාමල් රාජපක්ෂද සහභාගි වී සිටියේය. මහින්ද ඉන්දීය අගමැතිවරයාට නාමල් හඳුන්වා දුන් මොහොතේ අගමැතිවරයා කීවේ ‘තාත්තා වගේම තමයි පුතත්’ කියාය. අනතුරුව මහින්ද, නාමල්, මෝදි සහ මෝදිගේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව මහින්ද සහ මෝදි අතර පුද්ගලික කතාබහක්ද පැවැත්වුණි. පැය භාගයක් පමණ කාලයක් පැවැති එම සාකච්ඡාවේදී කතාබහට ලක්වුණේ කුමක්දැයි හෙළිදරව් කෙරුණේ නැත.
මහින්දගේ සංචාරයේ තවත් වැදගත් සිදුවීමක් වූයේ මහින්ද සහ ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං අතර පැවැති සාකච්ඡාවය. දීර්ඝ කාලයක පටන් දැන හඳුනන මහින්ද මන්මෝහන් ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තේය. එම සාකච්ඡාවේදී මහින්ද යුද්ධය අවසන් කිරීමට දැක් වූ දායකත්වය සම්බන්ධයෙන් මන්මෝහන්ට ස්තුති කළේය.
‘ඉන්දියාව අපේ පැරණිම මිතුරෙක්. ඒ වගේම අපේ ළඟම අසල්වැසියා වෙන්නෙත් ඉන්දියාවයි. ඒ මිත්‍රකම් අපි සැමදා පවත්වා ගන්න ඕනේ’ යනුවෙන් මහින්ද මෙහිදී පැවසීය.
අනතුරුව මහින්ද සහ නාමල් ඉන්දියාවේ ගාන්ධි පරපුරේ වර්තමාන පුරුක වන රාහුල් ගාන්ධි සමග සාකච්ඡාවක් පැවැත්වීය. මහින්ද සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාහුල් නාමල් සමග වෙනම කතාබහක නිරත වූයේය. එහිදී දෙදෙනා අතර සාකච්ඡාවට ලක් වූයේ ඉදිරියේදී එක්ව කටයුතු කිරීම සහ ලෝක දේශපාලන කරුණු සම්බන්ධයෙනි.
සිය ඉන්දීය සංචාරය අතරතුර මහින්දද හින්දු පුවත්පත ඇතුළු එරට ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සමග සම්මුඛ සාකච්ඡාවලට එක්විය. ‘ද හින්දු’ පුවත්පත සමග පැවැති සාකච්ඡාවේදී මහින්ද කියා තිබුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සිය සොහොයුරෙකු ඉදිරිපත් කරන බවය.
එසේම දෙරට අතර මහින්දගේ කාලයේ පැවැති සිත් අමනාපකම් පිළිබඳ ඇසූ විට ඔහු කීවේ ඒවා අතීතයට අයත් කරුණු බවයි. දැන් කල්පනා කළ යුත්තේ අනාගතයේදී කටයුතු කළ යුතු අන්දම ගැන බවත් මහින්ද පැවසීය.
ජනාධිපති ආරක්ෂක අංශයේ අලුත් නීතිය
ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සාහිත්‍ය උළෙල පැවැත්වුණේ පසුගිය අඟහරුවාදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීය.
ආචාර්ය මහාචාර්යවරු සහ සාහිත්‍යවේදීහු රැසක් ඒ සඳහා පැමිණ සිටියහ. මෙම උළෙල ආවාරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට ජනාධිපති ආරක්ෂක අංශය අලුත් නීතියක් දමා තිබුණි.
සාමාන්‍යයෙන් ජනාධිපති මාධ්‍ය ආවාරණයක් සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ගේ නම් කලින් ලබාගනියි. එසේ වුවද මාධ්‍ය ආවරණයට පැමණෙන මාධ්‍යවේදීන්ගේ වෙනසක් වුවහොත් ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂාකර ඔවුහු අදාළ කාර්යයට යොමු කරති.
නමුත් මේ වන විට ජනාධිපති ආරක්ෂක අංශය එය වෙනස් කොට අලුතින් නීතියක් දමා ඇති අතර ලයිස්තුවේ නම් සඳහන් නොවන මාධ්‍යවේදීන් පැමිණියහොත් ඔවුන්ගේ නම් පරීක්ෂා කර ලියා ගැනීමට එක් නිලධාරියෙකු නම් කර ඇති අතර ඔහු හැරෙන්නට වෙන කිසිවෙකුට එය සිදු කිරීම තහනම්ය.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු ඒ සඳහා පත් කර ඇති අතර මෙම පුද්ගලයා ඉතා කාර්ය බහුල අයෙකි. මේ අතර උත්සව සංවිධාන කටයුතුද ඔහුට පැවරී තිබේ. රාජ්‍ය සාහිත්‍ය උළෙල පැවැත්වෙන ශාලාව තුළ කටයුතු සොයා බලා අවසන්කර මාධ්‍යවේදීන් පරීක්ෂා කරන තැනට ඔහු පැමිණෙන තුරු මාධ්‍යවේදීන්ට රස්තියාදුවීමට සිදු විය. එදින පමණක් නොව ඊට පෙර දින ජනාධිපති මෛත්‍රී හම්බන්තොට ගිය විටද එය එසේම සිදු විය. මේ සඳහා බොහෝ මාධ්‍යවේදීහු සිය අකමැත්ත පළ කරති. ඊට හේතුව මේ නිසා බොහෝ දෙනෙකුට රස්තියාදු වීමට සිදු වීමය. එම නිසා මෙම නීතිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට මෙහිදී වැඩි වශයෙන් කතාබහට ලක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd