Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
යොවුන් ඇමති සාගලත්, වනජීවී ඇමති ෆොන්සේකත් ඇමති මාරුවෙන් පසු නිල වශයෙන් හමු වුණේ පසුගිය අඟහරුවාදාය. අටුවාටීකා නොමැතිව වනජීවී අමාත්‍යාංශයේදී හමු වූ ඔවුන් දෙදෙනා හරිබරි ගැසී සුහද කතාබහකට මුලපිරුවේ දක්ෂිණ සංවර්ධනය මතින් ඇවිද යමිනි.
‘දකුණු පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්න මූලිකවම අවධානය යොදවලයි තියෙන්නේ’ සාගල කීය.
‘හ්ම්ම්ම්..’ ෆොන්සේකා හූමිටි තැබීය.
‘එතනදී අපි බොහෝම සැලකිලිමත් වෙන්න ඕන වනජීවී කලාප ආශ්රිත ක්‍රියාරකම් දියුණු කරන ක්‍රමවේද ගැන’ යැයි සාගල විස්තර කරද්දි, ‘එහෙම තමයි වෙන්න ඕන. දකුණේ වනාන්තරවලට හානි නොවෙන්න වගබලා ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි හම්බන්තොට කර්මාන්තපුරයේ ඉදි කිරීම්වලදි අලි කළමනාකරණය ගැනත් තදින් හිතන්න ඕන’ ෆොන්සේකාද සිය අදහස් දැක්වීය.
‘ඔබතුමා දැන්ම ඉඳලා අලින්ට රේඩියෝ කොලර්ස් දාලා දිගටම මොනිටර් කරන්න’
‘ඒකට පොඩි කාලයක් ඕන ඇමතිතුමා. එකපාර හරියන්නේ නෑ. පොඩි කාලයක් අලින්ව අධ්‍යයනය කරන්න ඕන. ඊට පස්සෙයි කොලර්ස් දාන්න ඕන. අනික කොලර්ස් දැම්මට විතරක් මදි. කොලර්ස් දාලා දිගටම සතාව මොනිටර් කරන්න ඕන. අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හොඳ සිස්ටම් එකක් නැතිකමිනුයි සත්තුයි, මිනිස්සුයි දෙගොල්ලොම විනාශ වෙන්නෙ.’
‘ඒක ඇත්ත. මමත් පිළිගන්නවා.’
‘කොහොමත් මේ පහුගිය කාලෙ කළා වගේ සංවර්ධනය කරලා බෑ. පහුගිය කාලෙ මොනවද වුණේ? මොනවාද කරලා තියෙන්නේ? රාජපක්ෂ ආණ්ඩුව කළා වගේ අපට කරන්න බෑ, ඒගොල්ලෝ කරපු ඒවයේ මොකක්ද තිබුණු වගකීම?’ දිය යට එබූ රබර් බෝලය උඩට ගනිමින් ෆොන්සේකා සිය සුපුරුදු කතාව අවසන් කළ පසු දකුණේ වනාන්තර මෙන්ම වනජීවීන්ද ආරක්ෂා කිරීමට සමගාමීව සංචාරක කර්මාන්තයද දියුණු කිරීම පිළිබඳ වූ සිය යෝජනා ඇතුළත් වාර්තාව සාගල, ෆොන්සේකාට බාර දුන්නේය.
‘කොහොමත් අලින්ට, සත්තුන්ට වගේම ගහකොළවලටත් හානි අවම වෙන විදියට සංවර්ධන කටයුතු සිදු වෙන්න ඕන’ යැයි කී සාගල අතට අත දී ෆොන්සේකාට සමුදෙන විට දකුණේ සංචාරක කර්මාන්තයත්, වනජීවී සංරක්ෂණයත් ඒකාබද්ධව දියුණු කිරීම ගැන දෙදෙනාම පොදු එකඟතාවන්ට පත්ව තිබිණි.
ෆොන්සේකා හමුවෙන් පසුව එදින සාගල කෙළින්ම ආවේ පානදුර නගරය වෙතය. පානදුර නගරයේ ඉදි වූ යොවුන් සවිබලකරන මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සැවොම සාගල එනතුරු බලා සිටියහ.
රුපියල් මිලියන 80ක වියදමින් පානදුර නගරයේ ඉදිකළ ගොඩනැගිල්ල සාගල විවෘත කරද්දී තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගගේත්, පානදුර නගරාධිපති නන්දන ගුණතිලකත් ඒ අසල වූහ.
‘අපි තරුණ කාලෙ මහන්සි වෙලා කැම්පස් ගියා. හැබැයි එළියට ආවේ උපාධිය නැතිව. අද තරුණයන්ට එහෙම නැහැ’ නන්දන කීවේ චෝදනාත්මකවය.
සාගල මඳ සිනහවක් පෑවේය.
‘නන්දන කියන කාලෙම තමයි මමත් ස්කෝලේ ගියේ. ඒ කාලේ ප්‍රශ්න තිබුණා. හැබැයි අපි රෝයල් එක වහන්න දුන්නේ නෑ. ළමයි එකතු වෙලා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. බොහෝම ටික දවසයි රෝයල් එක වහලා තියන්න පුළුවන් වුණේ’ සාගල කතාවට මුලපිරුවේ සැමගේ අවධානය යොමු කරමිනි.
‘ඒ දවස්වල තිබුණු දේශපාලන ප්‍රශ්න නිසා ලංකාවේ කැම්පස් එකකින් උපාධියක් ගන්න අවස්ථාව අපට ලැබුණේ නෑ. පන්ති ගියේ ගාල්ලට. හැබැයි අපි ඉවර වෙනකන් කරගෙන ගියා. ඉගෙන ගත්තා. අපිත් එක්ක බොහෝම දුප්පත් වගේම ගොඩක් පොහොසත් මිල මුදල් තියෙන ළමයිනුත් එකට ඉගෙන ගත්තා. ඒ අත්දැකීම නිසා අපට අද ඕන සමාජයක ජීවත් වෙන්න පුළුවන්. මම මුලින්ම කම්පියුටර් ඉගෙන ගත්තේ ඒ වගේ සල්ලි තියෙන පවුලක පන්තියේ යාළුවෙක්ගේ කම්පියුටර් එකකින්. මම රෝයල් එකට ගියා තමයි. හැබැයි පහසුකම් ගාස්තු රුපියල් 60ක් ගෙව්වා. පස්සේ විදෙස්ගත වෙලා ඉගෙන ගන්න කාලයේදී ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගෙන තිබුණු එක මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා පවුලේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ඉගෙන ගන්න බාධාවක් නෙවෙයි.’
එම කතාවට තිත තැබුණේ උත්සව සභාව ඇමතීමට සාගලට ආරාධනා ලද බැවිනි. ඉතිරිය සභාව අමතමින් සාගල කීය.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා යෞවන කටයුතු ඇමතිවරයා හැටියට වසර 40කට විතර පෙර ආරම්භ කරපු වැඩපිළිවෙළ තමයි තවමත් මේ ශක්තිමත්ව ඉදිරියට යන්නෙ. ඒ දේශපාලන දිරිගැන්වීමට අපට දිගටම ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. නමුත් දූ දරුවෝ ඉදිරියට අපි ගොඩනැගිය යුතු වෙනවා. මේ වැඩසටහන් ගොඩනගන්න දේශපාලනය අවශ්‍යයි වගේම දරුවෝ හිටගන්න දැනගන්න ඕන මේ පුහුණු වැඩසටහන් අවසානයේදී කොන්ද කෙළින් තියාගෙන පොෙළාවේ පයගහලා ශක්තිමත්ව තනියම නැගී සිටින්න. ඒ සඳහා අවශ්‍ය වැඩසටහනක් තමයි රජයක් වශයෙන් අපි මේ දූ දරුවන්ට ලබා දෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා පටන්ගත් වැඩසටහන අද ශක්තිමත්ව ඉදිරියට යනවා වගේම කාලයත් එක්ක වෙනස් වෙන තාක්ෂණයත් එක්ක වෙනස් වෙන වැඩසටහන් අපි ඉදිරිපත් කරන්න ඕන.
අපි තීන්දු කරන්න ඕන අපට යන්න ඕන ගමන මොකක්ද කියලා. යුද්දෙ ඉවර වුණා. යුද්දේ ඉවර වූ පළියට හැම ප්‍රශ්නයක්ම ඉවර වෙන්නේ නෑ. නමුත් යුද්ධය ඉවර කිරීම විශාල ශක්තියක්. නමුත් ඒ නිසා ඇති වුණු වාතාවරණය ප්‍රයෝජනයට අරගෙන අපි ඉතිරි ටික ගොඩනැගිය යුතු වෙනවා. යුද්ධය ඉවර වුණා කියලා විතරක් නිකන් හිටියොත් වැඩක් වෙන්නේ නැහැ.
තරුණ පරම්පරාවට විශාල අභියෝගයක් ගොඩනැගිලා තිබුණා යුද්ධය අවසන් වීමෙන් පසු ගොඩනැගුණු වාතාවරණය ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යන්න. නමුත් අපේ රජය කටයුතු කළා යුද්ධයෙන් පසු ඇතිවුණු ගැටලු විසඳන්න මූලික අඩිතාලමක් දමන්න. නීතිය හා සාමය සාධාරණ තැනකට ගෙනාවා. සැමට සාධාරණ අවස්ථා ලබා දෙන්න කටයුතු කළා. නමුත් ඒ ටික ඇති වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒ මත පදනම්ව රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන. ඒ ආර්ථිකයට මුහුණ දෙන්න පුළුවන් පරම්පරාවක් හදන්න ඕන. ඒ අතර ඉන්න තරුණ අයට තමයි වැඩිපුරම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අවශ්‍යතාව තියෙන්න ඕන.
අද මෙතැනින් පුහුණුවෙන් පස්සේ රැකියා ඉල්ලාගෙන දේශපාලකයො පිටුපස්සේ යන්න එපා. ඒකට අවශ්‍ය වෙන පසුබිම, වටපිටාව හදන්න අපේ රජයට පුළුවන්. තමන්ගේ දෙපයින් නැගී සිටින්නට උත්සාහ කරන තරුණයන්ට සහන ක්‍රමයට ණය ලබාදීලා ඔවුන්ව දිරිමත් කරන්නට අපි ලෑස්තියි.
මේ හැම දෙයක්ම එද්දි රජයට තවත් අභියෝගක් එනවා තරුණ පරම්පරාව රැක ගන්න. ඒ තමයි මත්ද්‍රව්‍ය ප්රශ්නය. ජවාරම මඬින එක නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදු කළ යුතු වෙනවා. අපි අපේ මිත්‍රයන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වළක්වා ගන්න ඕන. සමාජය තුළ මත්ද්‍රව්‍ය පිළිකුල් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය ශක්තිමක් සන්නිවේදන වැඩසටහනක් යෞවන සමාජ හරහා ගොඩනගමු කියලා සැම දෙනාගෙන්ම ඉල්ලනවා” යැයි සාගල කීවේය.
ගම්මාන 2,500 ඉලක්කයෙන් උතුරු - නැගෙනහිර පළාත් දෙකත් පැහැදිලිවම ආවරණය වෙනවා
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසුගිය සති අන්තයේ වවුනියාව හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල නව උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වල නිරත විය.
වවුනියාව උතුර, පුලියංකුලම %භාරතී කෝට්ටම්^ සහ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පව්චිලෛයිපල්ලි, ඉත්තාවිල්හි %සුරබිනගර්^ යන නව ගම්මාන දෙක ඉදි වී ඇත්තේ මුළුමනින්ම දෙමළ බස කතා කරන ජනයා ජීවත් වන ප්රදේශවලය.
%භාරතී කෝට්ටම්^ උත්සවයට ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරමින් පැමිණ සිටි දොස්තර එස්. සිවමෝහන් සහ අන්නමලේ නඩේස ශිවශක්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වේදිකාවේ අසුන්ගෙන සජිත් සමග බොහෝ දේ කතාබහ කරමින් සිටියහ.
‘ඇමතිතුමා, ඔබතුමාගේ නිවාස වැඩපිළිවෙළ ගැන අපට බොහෝම සන්තෝසයි. මේ වැඩපිළිවෙළ නිසා යුද්ධයෙන් දුක්විඳපු ජනතාවට විශාල සහනයක් ලැබෙනවා’ යැයි ඔවුන් කියද්දී සජිත් කීවේ, ‘ජනාධිපතිතුමාත්, අග්රාමාත්යතුමාත් මට කියනවා මේ වැඩපිළිවෙළ තවත් ශීඝ්‍රගාමීව කරන්න කියලා. මම ඒ අනුව සැලසුම් සකස් කරගෙනයි යන්නෙ. දැනටමත් ක්‍රියාත්මක වන මගේ ගම්මාන 2,500 ඉලක්කයෙන් උතුරු - නැගෙනහිර පළාත් දෙකත් පැහැදිලිවම ආවරණය වෙනවා’ යනුවෙනි. මන්ත්‍රීවරුන් දෙදෙනා සිය කතාවලදීද උතුරේ ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට සජිත් ගෙන ඇති පියවර ප්‍රශංසාවට භාජනය කිරීමට අමතක නොකළහ.
ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිකුරාදා වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පසුගිය 23වැනිදා වන විට ඒ සඳහා අවැසි සියලු පරිවර්තන කටයුතු අවසන්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් වී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත්කොට තිබූ විශේෂ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින් 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත 2020 ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවටද ජවිපෙ යෝජනා කර තිබේ.
තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල කැබිනට් අනුමැතියට යටත් කිරීම, වැරදිකරුවන්ට සමාව දීම, ජනාධිපතිවරයාට ඇති බලතල කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්කිරීම, ඇමති ධුර දැරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව අහෝසි කිරීම ඇතුළු බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමට 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා සතු 13 වැනි සංශෝධනයට අදාළ බලතල එසේම පවත්වාගෙන යාමටද මෙහිදී යෝජනා කර තිබේ. ජනාධිපතිවරයා සතු මුක්තිය දැනට තිබෙන ආකාරයෙන් පවතින අතර, ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳ දැනට ඇති ප්‍රතිපාදන සංශෝධනය නොවේ.
ජනතා විමුක්ති පෙරමුණ මගින් පසුගියදා (22දා) සංවිධානය කර තිබූ බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණය කල් දැමීමට සිදුවූයේ දිස්ත්‍රික් සංවිධායකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සමගය. අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතැම් දිස්ත්‍රික්කවල ආපදාවන්ට මුහුණදුන් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් යම් යම් මැදිහත්වීම් සිදුකිරීමට තිබෙන බැවින් උද්ඝෝෂණය තාවකාලිකව කල් දැමීමට ජවිපෙ තීරණය කළේය.
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ නුවරඑළිය, බදුල්ල ප්‍රදේශවල ජවිපෙ සංවිධායකයෝ පැවති තත්ත්වය පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ. පසුගිය 21 වැනිදා වන විට අයහපත් කාලගුණ තත්ත්වය වර්ධනය වෙමින් තිබුණි. ඒ වන විට බදුල්ල ප්‍රදේශයේ සිටි ටිල්වින් සිල්වා ප්‍රධාන ලේකම්වරයා විජිත හේරත් මන්ත්‍රීවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කර උද්ඝෝෂණය අවලංගු කළේය.
මේ තත්ත්වය සමග ගාල්ලේ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ විජිත හේරත් මන්ත්‍රීවරයාට යෝජනාවක් කළේය.’ඉන්ධන මිල වැඩි වීමත් සමග ධීවර ජනතාව බරපතළ ගැටලු ගණනාවකට මුහුණදීලා. අපි පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. කල් තැබීමේ විවාදයක් ගන්න පුළුවන්ද?” නලීන් හේවගේ ඉල්ලා සිටියේය.
‘ඔව්, භූමිතෙල් මිල වැඩි වීම ධීවරයන්ට බලපාලා වගේම ඩීසල් මිල, පෙට්‍රල් මිල වැඩි වීම සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් වෙලා. ඒ නිසා මේක විවාදයට ගන්න එක හොඳයි” යනුවෙන් විජිත හේරත් පැවසූ අතර, පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් සඳහා නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයාගේ මැදිහත් වීමෙන් කථානායකවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත් 22දා උපායමාර්ග සංවර්ධන පනත පිළිබඳව විවාදයක් පැවති අතර, එදින පස්වරු 4.00ට ඉන්ධන මිල විවාදය යෙදී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව පවසමින් පාර්ලිමේන්තුවේ කලබලකාරී බවක් ඇති කළ අතර, ජවිපෙ බිමල් රත්නායක සභාව කඩාකප්පල් නොවීමට යෝජනාවක් කළේය. ‘අපි ඉන්ධන මිල වැඩි වීම ගැන විවාදයක් ඉල්ලා සිටියා. පක්ෂ නායක රැස්වීමේදී ඒකට එකඟ වුණා. දැන් ගංවතුර ගැන විවාදයක් කරමු කියනවා නම් ඒ කරුණු දැක්වීමත් මේ විවාදයේ කරන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙකම ජනතාවට බලපාන බරපතළ ගැටලු” බිමල් රත්නායක කියා සිටියේය. කෙසේවෙතත් ජවිපෙ ඉන්ධන මිල වැඩි වීම පිළිබඳව විවාදය පවතිද්දී ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් විවාදයට සම්බන්ධ නොවී පිටත්ව ගොස් තිබිණි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුව කාල් - මාක්ස් 200 වැනි සංවත්සර උත්සවයකට සහ නව ආර්ථිකයකට ගැළපෙන ආර්ථිකයේ නව්‍යතා පිළිබඳව පැවැත්වෙන විශේෂ වැඩසටහනකට සහභාගි වීමට ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් 24 වැනිදා චීනය බලා පිටත්වීමට නියමිතව තිබුණි. දින 10ක් පුරාවට මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබෙන අතර, චීනයේ ප්‍රාන්ත කිහිපයකදී එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. ආසියානු කලාපයේ වමේ දේශපාලන පක්ෂවලට කෙරෙන ආරාධනයක් අනුව ජවිපෙට මෙම ආරාධනය ලැබී තිබේ.
මේ අතර නේපාලයේ ආණ්ඩු බලය හොබවන නේපාල එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා ලබන 30 සහ 31 පැවැත්වෙන කාල් - මාක්ස් 200 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමරු වැඩසටහනක් සඳහා සහභාගි වීමට නියමිතය.
කෝප් සභාව නිල වශයෙන් පිහිටුවීම එළඹෙන පාර්ලිමේන්තු රැස්වීමේදී..
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාම පත් කළයුතු බවට පාර්ලිමේන්තුවේ කණ්ඩායම නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණියේය. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජනයක් කෝප් කමිටුවට ලබාගැනීම පිළිබඳව සංවාදයක් මතුව තිබේ.
‘කෝප් කමිටුවේ පැවති සංයුතිය ඒ ආකාරයෙන් තිබිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. ශ්‍රීලනිප 16 දෙනාගේ ප්රශ්නය ඒ අයගේ වැඩක්. මොකද පක්ෂයක් ලෙස ඔවුන් නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ඒ නිසා එහි අභ්‍යන්තර කටයුත්තක් මිස එය අනෙක් ප්‍රශ්නවලට තීරණය කළ හැකි එකක් නෙවෙයි” අනුර දිසානායක කියා සිටියේය.
කෙසේ වෙතත් කෝප් කමිටුවේ නිල කටයුතු ආරම්භ කිරීම එළඹෙන පාර්ලිමේන්තු සතියේදී සිදුකිරීමට බලාපොරොත්තු බව බව කෝප් සභාපතිවරයා අනෙකුත් සාමාජිකයන්ට දැනුම් දී තිබේ. එමෙන්ම පසුගිය කෝප් කමිටුව විසින් විමර්ශනයට ලක් කෙරෙමින් තිබුණ සියලු පරීක්ෂණ ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද නව සභාපතිවරයා පවසා තිබේ.
පසුගිය සෙනසුරාදා (19දා) ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් රැස් වුණේ මහින්ද රාජපක්ෂ නිදහස් කුසලානය සඳහා වන මහා ක්‍රිකට් ගැටුමටය. මෙම තරගය සංවිධානය කර තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය පළකරනු ලබන මුහුණුපොතේ පිරිසක් විසින්ය. විමල් වීරවංශ, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ වැනි මන්ත්‍රීවරු මේ සඳහා සහභාගි වූහ. මුලින්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා මුහුණුපොත් සාමාජිකයන් කණ්ඩායම් 08කට බෙදිණි.
තරගය ආරම්භ වීමෙන් පසු තරගයේ විස්තර ප්‍රචාරය භාර ගත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. විටින් විට ප්‍රේක්ෂකාගාරය මෙන්ම ක්‍රීඩකයන්ද විමල්ගේ විස්තර ප්‍රචාරය හමුවේ බඩ අල්ලා ගෙන සිනාසෙනු දක්නට ලැබිණි. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය උඩින් හෙලිකොප්ටරයක් ගමන් කරන විට විමල් කීවේ ඒකාබද්ධය දෙපිල බෙදී තරග කරන ආකාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උඩු ගුවනේ සිට නරඹමින් සිටින බවයි. තවත් විටෙක තවත් හෙලිකොප්ටරයක් යද්දී විමල් කීවේ එහි යන්නේ අගමැතිවරයා බවයි. 62 වැනි වරටත් සාගල හමුවී අගමැතිවරයා කොළඹ පැමිණෙන බව විමල් කීවේය. එක් කණ්ඩායමකට තරග කරමින් සිටි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දුවද්දී දැවී යෑමකට හසුකර ගත්තේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාය. ‘ආ ඒක ගම්පහ ප්‍රශ්නයක්. ඒක ඒ අය විසඳ ගනීවි” විමල් කීවේය.
අවසානයේදී තරගය ජයග්‍රහණය කළේ දෙහිවල නගරාධිපතිවරයාගේ කණ්ඩායමය. අනුශූරතාව හිමි වුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වය දුන් කණ්ඩායමටය. තරගාවලියේදී විමල් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 18 හා 19 යන දෙදින ඉතා කාර්යබහුල විය. ඒ විජයග්‍රහණය සැමරුම් උත්සව ගණනාවකට සහභාගි වීමට තිබූ නිසාය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණේ රණවිරුවන්ට පින් පැමිණ වීම හා විජයග්‍රහණය සැමරීම සඳහා සියක් නමක් විෂයයෙහි පැවැති සංඝගත දක්ෂිණාවකටද හිටපු ජනාධිපතිවරයා සහභාගි විය. එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාය. ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලාන්සා, දුලීප් විජේසේකර යන මන්ත්‍රීවරු ඒ සඳහා එක්ව සිටියහ.
‘මේ ආණ්ඩුව රණවිරු උත්සව පවත්වන එක සීමා කරලා කරන්නේ ලොකු අපරාධයක්. ආණ්ඩුවට ඕන මේ යුද ජයග්‍රහණය මිනිස්සුන්ට අමතක කරවන්න. සංහිඳියාවට මුවාවෙලා ආණ්ඩුව මේ කරන්න හදන්නේ ඒකයි’ ප්‍රසන්න කීවේය.
‘ඔව් ඒක ඇත්ත. අපි මේ සැමරුම දිස්ත්‍රික් මට්ටමින්, සංවිධානය කරන්න ඕන. ආණ්ඩුව මේක අමතක කරවන්න මොන දේ කළත් අපි එකට ඉඩ තියන්න හොඳ නෑ” මහින්ද කීවේය.
‘ආණ්ඩුව විවිධ මාතෘකා දාලා බැඳුම්කරය වගේ ඒ අයට විරුද්ධ චෝදනා අමතක කරවන්න හදනවා. වෙලාවකට අජිත් ඒවට අහු වෙනවාද කියලා හිතෙනවා” සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පැවසීය.
‘ඒකයි ඇත්ත, අපි සමහර වෙලාවට ආණ්ඩුවේ බෝලවලට ගහන්න යනවා. කරන්න ඕන ආණ්ඩුවේ බෝලවලට ගහන එක නෙවෙයි. ආණ්ඩුව ගෙදර යවන්න අපේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එකයි” මහින්ද කීවේය.
20 වැනි ඉරිදා සවස මහින්ද පානදුරයට ගියේය. ඒ බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මන්ත්‍රීවරයාගේ දේශපාලන දිවියට වසර 25ක් සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වීම සඳහාය. මහින්ද සමග රෝහිත, කුමාර වෙල්ගම, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුද ඒ අවස්ථාවට සහභාගි වූහ. මහ වැසි නොතකා විශාල පිරිසක් මෙම උත්සවයට පැමිණ සිටියහ. රැස්වීම අවසානයේ තේ පැන් සංග්‍රහයේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවේ සෞඛ්‍යය පිරිහෙන බව මේ වන විට හොඳින්ම පෙනෙන බවයි. මහින්ද රාජපක්ෂ මෙහිදී සුප්‍රසිද්ධ ආප්ප සිද්ධිය නැවත සිහිපත් කළේය. ඔහු කීවේ පක්ෂයේ හිටපු ලේකම්වරයා ආප්ප කෑවාක් මෙන් පළාත් සභාවේ සෞඛ්‍ය ඇමතිවරුන්ද ආප්ප කෑ බවයි. ජගත් අංගගේ ඉවත් කරන ලෙස බලපෑම් කළ පුද්ගලයා ජනාධිපතිවරණයෙන් පසු පොළොන්නරුවට ගිය බවත්, ජගත් මැදමුලනට ආ බවත් මහින්ද කීවේය.
පානදුර රැස්වීම අවසන් වූ වහාම මහින්ද ගියේ විජේරාමයේ පිහිටි සිය නිල නිවසටය. මහින්ද එන විට එහි මහින්දගේ නෑදෑ හිතවතුන් පිරිසක් රැඳී සිටියේ මහින්දගේ පැමිණීම අපේක්ෂාවෙනි. නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් එහි පුංචි සාදයක් සංවිධානය වී තිබිණි. සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙනි. මහින්ද හා ශිරන්ති දෙදෙනා එක්ව විවාහ සංවත්සරය සමරමින් මෙහිදී කේක් කැපූහ. කේක් කැපූ මහින්ද හා ශිරන්ති සිය පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැව්වේ ඔවුන්ගේ සුභපැතුම් මධ්‍යයේය. ජී.එල්., වාසු, පවිත්‍රා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.
‘දැන් ඉතින් ඔයාගේ වයසත් හරි” පවිත්‍රා නාමල්ට කීවේය. නාමල් උත්තර නොදී සිනාසෙනු දුටු මහින්ද කීවේ, ‘මම නම් දැන් මේ හාදයාට කියන එක නවත්වලා තියෙන්නෙ” කියාය.
ආණ්ඩුව එක්ක ඉන්න පොල්ගම්පළ දවසින් එළියේ, ආණ්ඩුවට විරුද්ධ මම ඇතුළෙ
සඳුදා උදෑසන ප්‍රසන්න රණතුංග මීගමුව බන්ධනාගාරයට ගියේ එහි සිටින සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ දුකසැප බැලීමටය. ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ සනත් මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් සිටින්නේ මීගමුව බන්ධනාගාරයේය. එහි ගිය ප්‍රසන්න ‘මොකද වුණේ මල්ලි?’ යැයි සනත්ගෙන් ඇසුවේය. ‘මට තියෙන්නෙ අනුරුද්ධ පොල්ගම්පළට තියෙන ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවමයි. ආණ්ඩුව එක්ක ඉන්න පොල්ගම්පළ දවසින් එළියේ. ආණ්ඩුවට විරුද්ධ මම ඇතුළෙ” සනත් කීවේය.
‘දැන් මොකද අයියා වෙන්නෙ?” සනත් ඇසුවේ ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනා ගැනය. ඒ අය මහින්ද මහත්තයාව හම්බ වෙන්න වෙලාව ඉල්ලලා තියෙනවා. මම නම් කියන්නේ මේගොල්ලෝ ඇත්තටම ආණ්ඩුවට විරුද්ධ නම් ඒකාබද්ධයට එකතු වෙන්න ඕන කියන එකයි. එහෙම නැතිව ශ්‍රී.ල.නි.පක්ෂ කණ්ඩායමක් විදියට වෙනම ඉන්නවා කියන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියන එකයි’ ප්‍රසන්න කීවේය.
‘ඒක නම් ඇත්ත” සනත් කීවේය.
මේ අතර, ප්‍රසන්න හා සනත් කතා කරමින් සිටින තැනට පැමිණි බන්ධනාගාර නිලධාරියෙකු කීවේ, සනත් බැලීමට 16 කණ්ඩායමේ සුදර්ශිනී පැමිණෙන බවයි. දැන් මම මාස 03ක් මේක ඇතුළෙ. එතුමිය ඉන්නේ අල්ලපු රටේ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ’ සනත් කීවේය.
ටික වෙලාවක් සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්රීවරියද සනත් හා ප්‍රසන්න කතාබහ කරමින් සිටි තැනට ආවාය.
‘හැමදාම එන්න ඕන කියලා හිතහිතා හිටියට එන්න බැරි වුණා” සුදර්ශිනී කීවාය.
‘කමක් නෑ. මේ වෙලාවේ හරි ආපු එක හොඳයිනේ” සනත් කීවේ ඇඟට පතට නොදැනීය.
පවතින ආපදා තත්ත්වය ගැන මන්ත්‍රීවරුන් තිදෙනා කතා කළද, පවතින දේශපාලන තත්ත්වය කතා නොකිරීමට තිදෙනාම ප්‍රවේසම් වූහ.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පසුගිය බදාදා (24දා) අත්තනගල්ල, හොරගොල්ල මන්දාරා හෝටලයට ගියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ ආරාධනයකට අනුවය. ප්‍රියන්තගේ ආධාරකරුවෙකුගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබීමට ප්‍රසන්නට ආරාධනය කර තිබිණි. මනාලියගේ පාර්ශ්වයෙන් ඊට අත්සන් තැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහය. විවාහයට අත්සන් තැබීමෙන් පසු අගමැති රනිල්ට හා ප්‍රසන්නට අසුන් පනවා තිබුණේද එක මේසයේය.
’අගමැතිතුමාලට හෙට අනිද්දා වෙද්දි කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. බලන් ඉද්දි රට සංවර්ධනය වෙයි” ප්‍රසන්න කතාබහට මුල පිරුවේය.
‘ඒ මොකද?’ රනිල් ඇසුවේය.
‘ඇයි ජනාධිපතිතුමා කියන විදියට මේ වහින වැහිල්ලට %GDP^ එක නගින්නේ ඉහළටමය. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. රට ස්වංපෝෂිතයිනේ’ ප්‍රසන්න කීවේ රනිල් ඇතුළු මේසයේ සිටි පිරිස සිනහ ගන්වමිනි.
‘ඒක නෙමෙයි අගමැතිතුමා දැන් පළාත් සභා තියෙන්නේ පරණ ක්‍රමයටද, අලුත් ක්‍රමයටද?” ප්‍රසන්න ඇසුවේය.
‘මෛත්‍රීපාල ජනාධිපතිතුමයි, ශ්‍රී ලංකා එකයි හැරෙන්න අපි හැමෝම පරණ ක්‍රමයට කැමතියි. හැබැයි ඒ අය කැමති අලුත් ක්‍රමයට’ රනිල් කීවේය.
‘අපට නම් ඔය කොහොම තිබ්බත් එකයි. ආණ්ඩුවට නම් ඉතින් අබ සරණයි’ ප්‍රසන්න රනිල්ගේ මුහුණටම කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (22දා) විජේරාම නිල නිවසේදී රැස් විය. තදවැසි සහිත කාලගුණික තත්ත්වයක් තිබුණද, පක්ෂ නායකයන් ඇතුළු ඒකාබද්ධයේ පාර්ලිමේන්තු නියෝජිතයෝ සියලු දෙනා රැස්වීමට පැමිණ සිටියහ.
සෑම දේශපාලන ව්‍යාපෘතියක්ම මුලින්ම ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවට ඉදිරිපත් කරන්නැයි මහින්ද රාජපක්ෂගේ උපදෙස විය. බැසිල් මීළඟ අලුත්ම ව්‍යාපෘතිය මුලින්ම පාර්ලිමේන්තු කණ්ඩායම වෙත ඉදිරිපත් කරන්න ආවේ මහින්දගේ උපදෙස අනුවය.
‘එහෙනම් පටන් ගන්න’ මහින්දගෙන් බැසිල්ට ආරම්භක සංඥාවක් ලැබිණි. මැතිවරණ දත්ත විශ්ලේෂණය කරමින් බැසිල් අනාගත දේශපාලන තත්ත්වය ඉතා තාර්කිකව පැහැදිලි කළේය. ‘මේක අනාගතය සම්බන්ධ ඉතා හොඳ ඇස් ඇරවීමක්’ ඩලස්, බැසිල්ට ස්තුති කළේ ශාස්ත්‍රීය භාෂාවකිනි. ‘අපේ ඉදිරි වැඩ සැලසුම් කරන්න ඕන මෙන්න මේ කරුණු පදනම් කරගෙන. එතකොට අපේ ජයග්‍රහණය පහසු වෙනවා’ වෙල්ගමගේ ඒ අදහසට සියලු දෙනා එකඟ වූහ. ‘අපි පාර්ලිමේන්තු කණ්ඩායම විදියට පුළුවන් හැම වෙලාවෙම නෙළුම් මාවතේදී මුණගැසෙන්න ඕන. පාර්ලිමේන්තු කණ්ඩායම නෙළුම් මාවත කාර්යාලයේ හැමදේටම සම්බන්ධ කර ගන්න කියලා මම එහෙටත් උපදෙස් දීලා තියෙන්නෙ’ මහින්ද එහෙම කිව්වේ පාර්ලිමේන්තු කණ්ඩායම නෙළුම් මාවත සමග නිතර ගනුදෙනු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමිනි. ‘අපි නම් පුළුවන් හැම වෙලාවෙම නෙළුම් මාවතට යනවා’ ඒ ගාමිණී ලොකුගේගේ ප්රතිචාරයයි. ‘මාත් හැම බදාදාම උදේ නෙළුම් මාවතට යන්න තීරණය කළා’ මහින්ද කීවේය.
පොරොන්දු පරිදිම මහින්ද රාජපක්ෂ බදාදා උදේම නෙළුම් මාවතට පැමිණියේය. එම අවස්ථාවේ නෙළුම් මාවතට රැස්ව සිටි පිරිස සමග දිගු වෙලාවක් සතුටු සාමීචියේ යෙදුණු මහින්ද විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වීමට සිටි බැවින් ඒ සඳහා පිටත් වීමට සූදානම් විය. ‘මේ දවස්වල ටිකක් මඟුල් ගෙවල් වැඩියි. නොගිහිනුත් බෑනෙ ඉතින්’ කියමින් මහින්ද නෙළුම් මාවතෙන් සමුගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd