Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
අඟහරුවාදා සවස සිරිකොත මාධ්‍ය හමුවක් වෙන් වූයේ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහාය.
‘වෙනදා නම් ප්ලේන්ටියක්, රෝල් එකක් හරි මෙහේ බෙදෙනවා. අද ඒකත් නෑ නේද?’ අසමින් මාධ්‍ය සාකච්ඡාවට වාඩි වූ තුෂාර විමල්ට, ගම්මන්පිලට, ඩිලාන්ට, මහින්දට දිගටහරහට පහර ගසමින් සිය අදහස් ප්‍රකාශ කරන්නට විය. එයිනුදු නොනැවතී අවසනදී,
‘මැක්කන්ට ගමනක් යන්න බල්ලෙක් ඉන්න ඕන වගේ තමයි රාජපක්ෂ නමක් නැතිව ඒකාබද්ධ විපක්ෂයටත් ගමනක් නෑ’ යැයිද කීය.
‘මන්ත්‍රීතුමා, ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වුණොත් ඒක ඔබතුමාලාට අභියෝගයක් වෙයිද?’ ප්රශ්නය මාධ්යවේදියෙකුගෙනි.
‘අභියෝගයක්.... ඔව් අභියෝගයක් වෙයි....’
එතෙක් නොනවත්වා කියවූ තුෂාර මොහොතකට වචන අතර පරතරයක් තැබුවේ වටපිට බලමිනි. අනතුරුව ප්‍රශ්නයට ක්ෂණිකව පිළිතුරු සොයාගත් ඔහු නැවතත් නොනවත්වා කීය.
‘අභියෝගයක් වෙයි. මොකද හිට්ලර් කෙනෙක් එක්කනේ ඉදිරිපත් වෙන්න තියෙන්නෙ. හිට්ලර් කියන්නේ පොඩි බඩුවක් නෙවෙයිනේ. භීෂණය මවාගත්තු මිනිහෙක්.’
එයිනිදු නොනැවතුණු තුෂාර ඉතිරිය මෙලෙස කීවේ දෑතින් තම ශරීරයේ තැනතැන පෙන්වමින් අභිනයන්ද පාමිනි.
‘මේ පැත්තෙන් ටී-56 එල්ලගෙන... මේ පැත්තෙන් පොරව ගහගෙන.. මෙතන මන්නා පිහිය ගහගෙන... මෙතන උල්පිහිය ගහගෙන.. එහෙම බඩ්ඩක් එක්ක ඡන්දෙට යනවා නම් අපි ඒවාට සූදානම් විය යුතුයි’ යැයි කියා අනතුරුව සිනහසුණේය.
පසුගිය අඟහරුවාදා දින නීති විද්‍යාලයේ සිසුන් 250ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනි.
ඒ අනුව ඔවුන්ගේ පස්වරු 2-4 කාලය වෙන් වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් දැනගැනීමටය.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 වෙන් වී තිබිණි. කෙසේ වුවද නියමිත වේලාවේ එහි පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පමණි. සෙසු දේශපාලන පක්ෂ මෙම අවස්ථාව මගහැරීම පිළිබඳව සිසුන්ගේ නොසතුට පළ වූ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා එම අවස්ථාව පාවිච්චි කරගත්තේ නීති ශිෂ්‍යයන්ට 20 පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කරමින් ඔවුන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලටද පිළිතුරු දෙමිනි.
ජවිපෙ නායක අනුර දිසානායක ග්‍රීසියේ හා එක්සත් රාජධානියේ සංචාරයකට එක්ව සිටියි. පසුගිය සෙනසුරාදා ඇතැන්ස්හිදී එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සමුළුවකට සහභාගි වූ ඔහු ඉරිදා ග්‍රීසියේ ‘එතෙර අපි^ සංවිධානය පිහිටුවීමේ සමුළුව සඳහාද එක්විය. මේ සඳහා ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකුද එක්ව සිටීම විශේෂත්වයක් විය. මේ අතර ඉදිරි දිනවලදී ජවිපෙ නායකයා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයන් හමුවීමටද, ජවිපෙ කමිටුව මුණගැසීමටද නියමිතය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇතුළුවීම සඳහා වෙනමම පිවිසුමක් ඇති අතර, මහජනතාවට ඇතුළුවීමට වෙනමම පිවිසුමක් තිබේ. එසේ වුවද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියෝ තවත් දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක්ද සමග පාර්ලිමේන්තුවට යෑමට මහජන පිවිසුම අසල සිටි අතර, සිය ගෝල පිරිස පිවිසුමෙන් ඇතුළු වනතුරු රතන හිමියෝද ඒ අසලම සිටියහ. මේ අතර හිතවතුන් කිහිපදෙනෙක් රතන හිමි සමග කතාකිරීමට පැමිණි අතර, එම කතාබහ ආණ්ඩුව පිළිබඳව සිදුකෙරෙන කතාබහක් බවට පත්විය.
‘තවත් මේ විදිහට මේ ආණ්ඩුවත් එක්ක යන්න බැහැ. දැන් හොඳටම ඇති. දැන් අපි බලන්න ඕන ආණ්ඩුව වෙනස් කරගන්න. මේ විදිහට දෙගොල්ලන්ම එකතුවෙලා යන්න බැහැ.’
රතන හිමි පවසන කරුණු අසල සිටි පිරිසද අනුමත කරන්නට විය.
‘එතකොට දැන් ඔබවහන්සේගේ වැඩපිළිවෙළ මොකද්ද?’ ඔවුන් අසන්නට විය.
‘වැඩපිළිවෙළක් තියෙනවා. මේ දවස්වල ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරනවා. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. කොහොම වුනත් මේ ආණ්ඩුව නම් වෙනස් කරන්න වෙනවා.’
‘පහුගිය දවස්වල ඔබවහන්සේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, හිටපු ජනාධිපතිතුමාට යෝජනාවලියක් භාරදුන්නා නේද? ඒකට මොකද වුණේ?’
ඒකෙන් වැඩක් ගන්නත් බැරිවුනානේ. ඒ කරුණු යට ගිහිල්ලා වෙන වෙන දේවල් උඩ ආවා. කොහොම වුනත් අලුත් වැඩපිළිවෙළකට යන්න කාලෙ හරි. ඒ ගැන අපි කතා කරමුකෝ. මම මේ හාමුදුරුවන්ට පාර්ලිමේන්තුව පෙන්නන්න එකක්ගෙන ආවේ. අපි උඩට ගිහිල්ලා එන්නම් එහෙනම්. පස්සේ කතාකරමු’ කියා රතන හිමි පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරය දෙසට යන්නට හැරුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට විපක්ෂයට ගිය 16 කණ්ඩායම මේ දිනවල විවිධ පක්ෂවල නියෝජිතයෝ හමුවෙමින් සාකච්ඡා කරමින් සිටියි. 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වීමට කැමැත්ත පළකර තිබුණද ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් එයට විරෝධය පළකර තිබීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් 16 කණ්ඩායම විවිධ පුද්ගලයන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, අඟහරුවාදා 16 කණ්ඩායම මන්ත්‍රී විමල් වීරවංශ හමුවීමට ගොස් තිබුණි. ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ජනාධිපති කාර්යාලයේදී මුණගැසුන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් කතාකර තිබුණි.
‘අරගොල්ලො රෙදි ඇඳගෙනද දන්නෙ නැහැ විමල් වීරවංශගේ ගෙදර ගියේ. ලැජ්ජාවෙ බැහැනේ.’
‘කියල වැඩක් නැහැ ඇමතිතුමා... අපිටත් ලැජ්ජාවෙ බැහැ... මේ ජ්‍යෙෂ්ඨ ඇමතිලා ගිහිල්ලා අතන සාකච්ඡා කරනවා...’
‘ඉස්සර පාර්ලිමේන්තුවේදී ඩිලාන්ලා, දයාසිරිලා කොහොමද ජාතිවාදේ ගැන කතා කළේ? දැන් ඒවා ප්‍රශ්නයක් නැතිව ඇති.’
‘අනේ මන්දා. මම නම් ඕව කතා කරන්නත් කැමති නැහැ’ කියූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයා යන්නට සුදානම් විය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සෙනසුරාදා වාර්තාගත වැඩසහටනකට සහභාගි වුණේ මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදීය. උදෑසනම හතරලියද්දට ගිය ඇමැතිවරයා අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් ඉදිකළ ‘නිල සෙවණ^ කාර්යාල 16ක් එකම දිනකදී විවෘත කළේය. එය මෙතෙක් එකම දිනකදී විවෘත කළ වැඩිම ‘නිල සෙවණ^ කාර්යාල සංඛ්‍යාවයි. මෙම ‘නිල සෙවණ^ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සරත් අමුණුගම ඇමතිවරයාද එක්විය.
''මමත් වජිර අබේවර්ධන ඇමතිවරයාත් දීර්ඝ කාලයුක් පාර්ලිමේන්තුවේ බොහොම හොඳින් එකට කටයතු කළා විතරක් නෙවෙයි එකම තැන, එක ළඟ වාඩිවෙලා හිටියේ " යැයි සරත් අමුණුගම කීවේ අතීතය සිහිපත් කරමිනි.
අමුණුගම ඇමතිවරයා කියූ ඒ කතාවට ඌන පූර්ණයක් එක් කළ වජිර ඇමතිවරයා මෙසේ පැවසීය.
''අපේ සරත් අමුණුගම ඇමතිවරයාත්, මමත් පාර්ලිමේන්තුවේ එක ළඟ වාඩිවෙලා ඉන්න කාලේ මගේ පැත්තෙන් හිටියේ 'අ' අකුරෙන් නම පටන්ගන්න ඔසී අබේගුණසේකර මහතා. අමුණුගම ඇමතිවරයාගේ පැත්තෙන් හිටියේ 'ස' අකුරෙන් නම පටන් ගන්න සරත්චන්ද්‍ර රාජකරුණා. මේ දෙන්නාම අද ජීවතුන් අතර නෑ."
සෙනසුරාදා ඇමති වජිර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය. රුපියල් ලක්ෂ 400ක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිවරයා ගාල්ල කොටුව සමුද්‍ර කෞතුකාගාර ගොඩනැගිල්ලේ පැවැති ගාලු උරුමය සම්බන්ධ රැස්වීමකට සහභාගි විය.
මේ රැස්වීමේදී ගාල්ල කොටුවේ ඇති රාජ්‍ය ආයතන එම ස්ථානවලින් ඉවත්කිරීමේ ප්‍රගතිය පිළිබඳවත්, ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ඉවත්කළ යුතු ගොඩනැගිලි හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙනුත් සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, පියසේන ගමගේ යන ඇමැතිවරුද සහභාගි වී සිටියේය.
එහිදී අගමැතිවරයා රැස්වීම ආරම්භ කිරීමට පෙරදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේදී ගාල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානය කරන බවයි. එහිදී මහා පරිමාණ හෝටල් මෙන්ම තනි පුද්ගල සංචාරකයන් පවා ඉලක්ක කරගත් කුඩා සංචාරක නිවාස පවා වැඩිදියුණු කළ යුතු බවද අගමැතිවරයා කියා සිටියේය.
එක් එක් ආයතනවලින් පැමිණි නිලධාරීන්ගෙන් කොටුවෙන් ආයතන ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ ඇමතිවරයා විමසා සිටි අතර, එහිදී ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ තම පාසල මෙරට ඉතා අඩුම භූමියක පිහිටි පාසල විය යුතු බවයි. ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ මේ පාසල පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.
''පාසල තිබෙන්නේ ඉතා අඩු පහසුකම් යටතේ. එය වැඩිදියුණු කරන්නත් බැහැ. අපි නගරය ආසන්නයෙන්ම පාසලට හොඳ තැනක් ලබාදීලා දියුණු පාසලක් ඉදිකළොත් පාසල් ප්‍රජාව එතැනට යන්න කැමති කරවා ගන්න" යැයි එහිදී ඇමති වජිර පැවසීය.
''මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. පාසලේ ආදි සිසුන්, දෙමවුපියන් සාකච්ඡා පටන්ගන්නේ වෙන තැනකට පාසල රැගෙන යමු කියලා. නමුත් සාකච්ඡාව අවසන් වෙන්නේ තියෙන තැනම පාසල තියන්න ඕන කියලා. මට මේක තනියම තීරණය කරන්න බැහැ" යනුවෙන් විදුහල්පතිවරයා කියා සිටියේය.
'' ගාල්ලේ ලෝක උරුමය ගැන අපි කතා කරනවා. නමුත් මිනිසුන්ට විවේකයෙන් ගතකරන්න, තරුණයන්ට ක්‍රීඩා කරන්න තිබුණු පොදු ක්‍රීඩාංගණය නගර වැසියන්ට, පාසල් දරුවන්ට නැති කරලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. ඒක දැන් හැමෝටම තහනම් කරලා. කිසිම ප්‍රමිතියක් නැතිව අනවසර ඉදිකිරීම් කළා. මේවා කඩලා මුහුදට දාන්න වෙනවා. අපි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි" යැයි වජිර අබේවර්ධන ඇමතිවරයා පවසද්දී, අගමැතිවරයා කියා සිටියේ ගාල්ලේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කළ යුතු බවයි. මේ අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරියෙන් අගමැතිවරයා විමසා සිටියේ ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී අවසරයක් ලබාගත්තාද යන්න පිළිබඳවයි. නමුත් එයට ඔවුන්ගෙන් නිවැරදි පිළිතුරක් නොලැබුණි.
''පුංචි මිනිහෙක් තාප්පයක් බැන්දාම ඔයාලා නඩු දානවා. ඒත් දැන් දේශපාලකයන්ගේ නම් ගහලා ඒක අවසරයක් කරගෙන නගරය මැද අනවසර ගොඩනැගිලි ඉදිකරනවිට බලාගෙන ඉන්නවා" යනුවෙන් ඇමති වජිර කියද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය. ''ගාල්ලේ නිශ්චිත නගර සංවර්ධන සැලැස්මක් තිබෙනවා. මේ අනුව කටයුතු කරන්න අවශ්‍යයි. එක එක ආයතනවලට එක එක අරමුණු තියෙන්න බැහැ. දැනට ලෝක උරුමයට පටහැණි සියලු ඉදිකිරීම් කඩා ඉවත් කරන්න. අනවසර ඉදිකිරීම් කඩා දාන්න" යනුවෙනි.
සඳුදා දිනයේ යළිත් ඇමැති වජිර බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේ පසුගිය ගංවතුරින් විපතට පත් වූ 666 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 284ක් වටිනා චෙක්පත් පිරිනැමීමටය. මේ සඳහා වජිර අබේවර්ධන සමග චීන ජාතිකයන් කිහිප දෙනෙකුද පැමිණ සිටියේය. ඔවුන් ගිංගඟ ව්‍යාපෘතිය පවත්වාගෙන යන සමාගමේ නියෝජිතයන්ය. බද්දේගමදී ගිංගඟ ව්‍යාපෘතිය ගැන චීන ජාතිකයන් විසින් පැහැදිලි කරද්දී රැස්ව සිටි සියලු දෙනා අත්පොළොසන් දුන්නේ ඉදිරි ගංවතුරකින් වැළකී සිටීමේ අපේක්ෂාවෙන් විය යුතුය. එදිනම සවස ගාල්ල ‘හෝල් ඩි ගෝල් ශාලාවේදී තවත් චෙක්පත් බෙදාදීමක් සිදුකෙරිණි.
ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් විපතට පත් වූ 157 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් එහිදී ප්රදානය කෙරිණි.
බ්‍රහස්පතින්දා උදෑසන දිසාපති සමුළුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. රජයේ සංවර්ධන ව්‍යාපෘති කොතරම් ක්‍රියාත්මක කළද රජයේ මාධ්‍යවලින්ද ප්‍රමාණවත් ප්‍රචාරයක් නොලැබෙන බවත්, රජයේ අඩුපාඩු සොයා එම රජයේ මාධ්‍ය මගින්ද වාර්තා කරමින් ස්වාධීන වීමට ගන්නා උත්සාහය බරපතළ ගැටලුවක් බවත් දිසාපතිවරුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට පැවසූ අතර, මේ සඳහා සුදුසු පිළියමක් යොදන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd