Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
covid-19 වෛරසය සඳහා මේ වන විට ලෝකයේ එන්නත් කිහිපයක්ම භාවිත කිරීම ඇරඹුණු අතර, පසුගියදා ලංකාවටද Oxford AstraZeneca ආයතනය මගින් නිර්මාණය කළ සීරම් ඉන්ස්ටිටියුට්හි නිෂ්පාදනය කරන ලද Covishield එන්නත ලැබුණි. එම එන්නත භාවිත කිරීම සහ ඒ වටා ඇති ඔබ දැනුම්වත් විය යුතු කරුණු සහ ඉදිරියේදී ලැබෙන එන්නත් පිළිබඳව මෙම ලිපියෙන් ආවරණය කිරීමට අප උත්සාහ ගත්තෙමු.
covid-19 සඳහා එන්නත්කරණය යනු කුමක්ද?
covid-19 වෛරසයෙන් ආරක්ෂා වීමට ඇති සරල ආරක්ෂාකාරී ඵලදායි ක්රමයකි. මෙහිදී ඔබේ ශරීරයේ පවතින ස්වාභාවික ප්රතිශක්තීකරණයcovid-19 වෛරසයට විරුද්ධව ක්‍රියාකාරී වීමට සලස්වයි. වෛරසයට එරෙහිව තමාගේ සිරුරේ ඇති ප්රතිශක්තීකරණය ශක්තිමත් කරයි. එන්නත ලබාගත් පුද්ගලයෙකුට නැවත වෛරසය ඇතුළු වූ විට ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මතක තබාගැනීමේ සෛල එය හඳුනා ගනී. එවිට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් ඔබ රෝගී වීමට ප්‍රථම වෛරසය විනාශ කර දමයි.
එන්නතක ඇති වැදගත්කම
ඖෂධීය නොවන රෝග වැළැක්වීමේ ක්‍රමවේදයන් covid-19 මැඬපැවැත්වීමට වැදගත් වුවද එමගින් තවදුරටත් රෝගය පාලනය කිරීම අපහසු වී ඇත. එම නිසා එන්නත්කරණය මගින් covid-19 වෛරසයෙන් සිදුවිය හැකි රෝගී තත්ත්වයන් සහ සංකූලතා මගින් සිදුවන මරණ වැළැක්වීමට බලාපොරොත්තු වේ. ලෝකයේ සියලු ජනතාව මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද මෙම වසංගත තත්ත්වය නිසා වසංගත තෙහෙට්ටුවෙන් (Pandemic fatigue) පෙළේ. එබැවින් ඔවුන් හට පුද්ගල දුරස්ථභාවය, අවම සමාජ සංසරණය හා එදිනෙදා අනුගමනය කළයුතු නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමේ අපහසුවක් තිබේ. මේ තත්ත්ව යටතේ වසංගතය පිටුදැකිය හැකි එකම ක්‍රමවේදය එන්නත්කරණය සමග රෝගය වැළැක්වීමේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම බව පෙනේ.
එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම
covid-19 වෛරසය ඉතා ඉක්මනින් පැතිරෙන ව්‍යාධිජනක වෛරසයකි. covid-19 වෛරසය මගින් අධික ලෙස රෝගී වීම, රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය වීම, දිගුකාලීන සංකූලතා ඇතිවීම මගින් මරණයට පත්වීම පවා සිදුවිය හැකිය. ඔබ එන්නත ලබාගැනීම මගින් ඔබේ ආරක්ෂාවද, ඔබේ පවුල සහ ඔබ අවට සිටින අයගේ ආරක්ෂාවද වැඩි වීමේ හැකියාව වැඩි වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම covid -19 වැලඳීමේ හා එය පැතිරවීමේ අවදානම අඩු නොකරයි. වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔබට ඉතා සුළු රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත්, ඔබගේ ආදරණීයයන්ව සහ ඔබ අවට සිටින අයව ආසාදනය කිරීමේ හැකියාවක් ඇත. එන්නත ලබාගැනීම මගින් අප හා සමාජය ආරක්ෂා වීමක් සිදුවන අතර, එය අප සතු සමාජ වගකීම ඉටුකිරීමක්ද වේ.
ලංකාවේ ආරම්භක එන්නත?
Oxford AstraZeneca ආයතනය මගින් නිර්මාණය කර, සීරම් ඉන්ස්ටිටියුට්හි නිෂ්පාදනය කරන ලද Covishield එන්නත ශ්‍රී ලංකාවේ covid -19 රෝගය සඳහා භාවිත කරන ආරම්භක එන්නතයි. මෙම එන්නත අඩපණ කරන ලද ( එම්.එම්.ආර්, පැපොල වැනි) එන්නත් වර්ගවලට සමානය. මෙම එන්නතෙහි covid -19 ප්‍රතිදේහජනකයට සමාන ජානයක් ඇතුළත් කර ඇත. (SARS-Cov 2 නැතහොත් COVID 19හි ඇති spike ප්‍රෝටීනය) මෙම එන්නත ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති වැදගත් සෛල දෙවර්ගයක් වන B සහ T සෛල සක්‍රීය කරන අතර, එමගින් ප්‍රබල ප්‍රතිශක්තීකරණයක් සහ මතකයක් ඇතිකරයි.
එන්නත් ක්‍රියාවලියට පෙර
එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඔබගේ දුරකථන අංකය, ඔබගේ වර්තමාන ලිපිනය සහ ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය යන තොරතුරු නිවැරදිව ලබාදිය යුතුය.
එන්නතෙන් පසු
එන්නත 100% ඵලදායී නොවිය හැකි නමුත්, එය සැලකිය යුතු ආරක්ෂාවක් ලබාදෙයි. එන්නතෙහි පූර්ණ සඵලතාව ලබාගත හැක්කේ මාත්‍රාවන් දෙකම ලබාගැනීමෙන් පසුව පමණි. අදාළ එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කිරීමෙන් පසු ඇතිවන ප්‍රතිශක්තීකරණයෙන් ලැබෙන ආරක්ෂාව පවතින කාලය පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැත. එන්නත ලබාගැනීමෙන් පසු වෛරසය ඔබගෙන් තවත් අයෙකුට බෝ නොවන බවට තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත.
Covishield එන්නත ක්‍රියාත්මක වන ආකාරය
මෙම එන්නත වෛරස් දෛශික එන්නතක් වේ. එහි ඇති අඩපණ කරන ලද එනම් හානියක් නොවන ලෙස සකස් කරන ලද වෛරසයෙහි ප්රතිදේහජනයක් ලෙස ක්‍රියාකරන ජානය ඇතුළත්ව ඇත. එනම් covid -19 වෛරසයට ආවේණික වූ spike ප්‍රෝටීනයට හෝ එහි කොටසකට ප්‍රතිචාර දැක්වීමක් සිදු වේ. පුද්ගලයෙකුට එන්නත ලැබුණු විට ප්‍රතිශක්තීකරණ පද්ධතිය සහ එහි මතක සෛල ක්‍රියාකාරී වීම ආරම්භ වේ. එන්නත් ලබාගත් පුද්ගලයෙකුට පසුකාලීනව වෛරසය ආසාදනය වූ විට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඒ වනවිටත් වෛරසය හඳුනාගෙන ඇති බැවින් වෛරසයට ඉක්මනින් පහර දීමට පටන් ගෙන එය විනාශ කරනු ලබයි.
එන්නත ලබාදෙන්නේ කා හටද?
Covishield එන්නතෙහි සැපයුම ඉතා සීමිත බැවින් එය වැඩිපුරම අවශ්‍ය පුද්ගලයන්ට හෝ ප්‍රමුඛතා කණ්ඩායම්වලට පළමුව ලබාදෙයි. ඒ අනුව covid -19 වසංගතය මැඬලීමට ප්රමුඛව ක්‍රියාකරන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් පළමු පෙළ නිලධාරීන් වන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට මුල් අදියරයේදී ලබාදෙයි. එමෙන්ම වයස අවුරුදු 60ට හෝ ඊට වැඩි වැඩිහිටි පුද්ගලයන්ට සහ ඉහළ වයස් සීමාවන්ගේ සිට පහළ වයස් සීමාවන් දක්වා වන (වයස අවුරුදු 18ට වැඩි) පුද්ගලයන්ටද මෙම එන්නත ලබාදෙයි. මෙහිදී සුදුසුකම් ලත් ජනගහනයෙන් 80෴ක් ආවරණය වනු ඇතැයි අපේක්ෂා කරයි. මෙහිදී එන්නත්කරණය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ නිර්ණායකයන් වන්නේ covid – 19 වෛරසයට නිරාවරණය වීමට බොහෝදුරට ඉඩ ඇති පුද්ගලයන් (දෛනික රාජකාරී තුළින් ඔවුන් රෝගී පුද්ගලයන් සමග කටයුතු කරන ආකාරය සහ covid-19 අර්බුදය කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය සේවාවන්හී යෙදෙන) සහ රෝගය වැලඳීමට හා එහි සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අය වීමයි. සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරී ඉටුකිරීමේදී වෛරසයට නිරාවරණය වීමට ඇති ඉහළ අවදානම නිසාය. එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සැපයීමේදී ඔවුන්ගේ කාර්යභාරය තීරණාත්මකය. එන්නත් ලබාදීමෙන් පළමු පෙළ සේවකයන්ගෙන් ප්‍රජාවට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කරගත හැකි අතර, සෞඛ්‍ය, නිරෝධායන සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයිය හැකි වේ. අන් අය එන්නත ලබාගැනීමේදී ඔවුන්ටද ඉහළ පෙළ සේවකයන් උපදේශකයන් විය හැකි අතර, ප්‍රජාව සඳහා වටිනා හා විශ්වාසදායක තොරතුරු ප්‍රභවයන් වනු ඇත. එමෙන්ම විශ්වාසදායී ප්‍රජා සම්පත්දායකයන් ලෙස තමන්ගේම එන්නත් කිරීමේ අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් ඔවුන්ට සාමාන්‍ය ජනතාවට විශ්වාසයක් ලබාදිය හැක.
වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයන්ට මෙම වෛරසය වැලඳීමේ වැඩි අවදානමක් තිබෙන බව වෛසරය ආරම්භයේ සිටම ඔබ සියලුදෙනා දන්නා කරුණකි. පුද්ගලයෙකුගේ වයස වැඩිවීමත් සමගම වෛරසය බෝ වීමේ අවදානමද වැඩිවේ. එන්නත ලබාදෙන වැඩිහිටි කණ්ඩායමට නිධන්ගත රෝගාබාධ හෝ බෝ නොවන රෝග හෝ රෝග වැලඳීමට ඇති අවදානම් තත්ත්ව ඇති අතර, එය covid – 19 වෛරසයේ ආසාදන අවදානම, රෝහල්ගත කිරීම, සංකූලතා ඇති වී එමගින් මරණය සිදුවීම වැනි අවස්ථා වැඩි කරයි. මෙම වයස් කණ්ඩායමේ පුද්ගලයන්ට ආසාදනය වුවහොත් රෝහල්ගත වී සිටිය යුතු කාලය දිගු නිසා සෞඛ්‍ය සේවා සම්පත් භාවිතයද දීර්ඝ කාලයකට අවශ්‍ය වේ.
එන්නත්කරණයේ වැරදීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතික්‍රියා
ප්‍රතිනිර්මාණය (Reconstitution) කිරීමේ දෝෂ සිදුවීම (වැරදි තනුකකාරක යොදා ගැනීම, අත්වැරදීමකින් තනුකකාරකය වෙනුවට වෙනත් ඖෂධයක් ආදේශ කිරීම, එන්නත හා සිරින්ජය අපවිත්‍ර වීම, එන්නත් කටුව හෝ එහි වැස්ම අතින් හෝ වෙනත් වස්තුවකින් ස්පර්ශ කිරීම, උපරිම නිර්දේශිත කාලයෙන් පසු ප්‍රතිනිර්මාණය කරන ලද එන්නත් භාවිත කිරීම) මෙම වැරදි මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති කළ හැකි අතර, එමගින් බරපතළ අතුරු ආබාධ හෝ ඇතැම් විට මරණය පවා සිදුවිය හැකිය. එමෙන්ම මෙම වැරදි වළක්වාගත හැකි අතර, මේවා වැළැක්වීම තුළින් ප්‍රතිශක්තීකරණ වැඩසටහන පිළිබඳව ඇති විශ්වාසය තහවුරු කළ යුතුය.
covid -19 එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවසීම
2020 දෙසැම්බර් මැද වනවිට covid -19 වෛරසයට එරෙහිව එන්නත් සායනික ඇගයීම් සඳහා යොමු වී තිබුණි. තවත් එන්නත් 166ක් පූර්ව රසායනික ඇගයීම් සඳහා යොමු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 2021.01.24 දින වන විට Pfizer එන්නත සඳහා පමණක් හදිසි වලංගුතාවය (emergency validation) ලැබී ඇත. කෙසේ වෙතත් එක් එක් රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියට තම රටෙහි ජාතික මට්ටමේ භාවිතය සඳහා එන්නත් අනුමත කළ හැකිය.
එන්නත්කරණය සේම මතක තබාගත යුතු වැදගත් කරුණු
මුලදී ලබාගත හැකිවන්නේ එන්නතෙහි සීමිත ප්‍රමාණයක් පමණි. එහි සැපයුම වැඩි කිරීමට එන්නත් නිපදවන රටවලින් එන්නත් වර්ග කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය වේ. ඒ අනුව නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට එන්නත් කිහිපයක් ලැබීමේ හැකියාව ඇත. සීමිත එන්නත් සැපයුමක් තුළ covid -19 රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට එන්නතටම පමණක් හැකිවන්නේ නැත. එන්නත ලබාගැනීම මගින් පමණක් කෙනෙකු ආසාදිතයකු වීම වළක්වා ගත නොහැකි අතර, පුද්ගල දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම, දෑත් නිරන්තරයෙන් සේදීම, විෂබීජනාශක දියර භාවිතය ඇතුළු covid -19ට එරෙහි සෞඛ්‍ය උපදෙස් සියල්ල නිරන්තරයෙන් පිළිපැදිය යුතුය. එමෙන්ම මෙම එන්නතෙහි ආරක්ෂණ කාලසීමාව තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක බැවින්ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍යය.
Covishield එන්නතෙන් ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව පැවසූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය,
"ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් ලබාගැනීමෙන් අනතුරුව අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. මේවා බොහෝවිට තාවකාලික ආබාධයි. සාමාන්‍යයෙන් මෙම එන්නත විද පැය කිහිපයකට පසුව බහුලව ඇතිවන අපහසුතා කිහිපයක් තිබෙනවා.
එන්නත විදින ස්ථානයේ රතු පැහැ වීම, කැසීම, සුළු ඉදිමීම් හා වේදනාවක්.
ඇඟ සීතල කරවමින් ඇතිවන උණ ගතිය. මෙහිදී වෙව්ලීමක් වුවද ඇතිවිය හැකියි.
හිසරදය.
ඔක්කාරය, වමනය හා බඩ පෙරළීම
මාංසපේෂී සහ සන්ධිවල වේදනාව (ඇඟපත වේදනාව)
මෙම අතුරු ආබාධ ඇතිවුවහොත් ඒ සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් (පැය හයෙන් හයට) ලබාගන්න. සාමාන්‍යයෙන් මෙම ලක්ෂණ එන්නත විදීමෙන් දින කිහිපයකට පසුව පහව යනු ඇති. යම් හෙයකින් මෙම සංකූලතා වැඩි වුවහොත් හෝ දිගටම පැවතුණහොත් වෛද්‍ය අවවාද ලබාගන්න. එසේ නැතිනම් 1999, වසංගතවේද අංශය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.
තමන්ට වෙනත් රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා එන්නත්කරණ ස්ථානවල වෛද්‍යවරු ඉන්නවා. පුද්ගලයෙකුට එවැනි ආකාරයේ වෙනත් රෝග තිබෙනවා නම් ඔහු පිළිබඳ තීරණය ඒ අදාළ වෛද්‍යවරු ගන්නවා. ඒ නිසා එවැනි රෝග පිළිබඳව අනිවාර්යයෙන්ම ඔවුන් වෛද්‍යවරුන් දැනුම්වත් කළ යුතුයි. එහිදී අවශ්‍ය පර්යේෂණ කිරීමෙන් අනතුරුවයි විශේෂිත රෝගාබාධ තිබෙන කෙනෙකුට එන්නත ලබාදෙන්නේ.
පළමු මාත්‍රාව ලබා දී හරියටම මාසයකින් තමයි දෙවැනි මාත්‍රාව ලබාදෙන්නේ. පළවෙනි මාත්‍රාව එන්නත් කිරීමේදී අදාළ තැනැත්තාට එන්නත් කාඩ්පතක් නිකුත් කරනවා. එම එන්නත් කාඩ්පතෙහි නිවැරදිව දිනය සටහන් වී තිබෙනවාද කියලා පරික්ෂා කළ යුතුයි. නැවත දෙවැනි මාත්‍රාව ලබාගැනීමට පැමිණෙන විට එම එන්නත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්යයි. මාසයක් යන විට තවත් එන්නත් වර්ග කිහිපයක් අපට ලැබෙනවානේ. එතකොට පළමු මාත්‍රාවේදී ලබාගත් එන්නතම දෙවැනි මාත්රාවේදීත් ලබාගත යුතුයි. දෙවැනි මාත්රාවේදීද යම් යම් සංකූලතා හෝ අතුරු ආබාධ යම් පමණකින් ඇතිවෙන්න පුළුවන්.
අවුරුදු 18ට අඩු දරුවන්ට සහ ගර්භිණී මවුවරුන්ට එන්නත ලබාදීමට තවම නිර්දේශ කරලා නැහැ. ඔවුන් සඳහා එන්නත ලබාදීමට අවශ්‍ය පර්යේෂණවලට මෙම එන්නත තවම යොදාගෙන නැහැ. එම නිසා මේ අවස්ථාවේදී ඔවුන්ට එන්නත ලැබෙන්නේ නැහැ. නමුත් එයින් අදහස් කරන්නේ ඒ අයට මේ එන්නත සුදුසු නැහැ කියන එක නොවෙයි."
ලෝක සෞඛ්‍ය සංවිධානයද ජනතාවට නැගෙන ප්‍රධාන ගැටලු කිහිපයක් වෙනුවෙන් පිළිතුරු මෙලෙස ඉදිරිපත් කර ඇත.
කෝවිඩ් 19 එන්නත ලබාගත් පුද්ගලයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකිද?
එන්නත ලබාදීමෙන් පසු ශරීරයට ප්‍රතිශක්තිය (කෝවිඩ් 19 රෝගයට හේතු වන වෛරසයෙන් ආරක්ෂා වීම) ගොඩනැගීමට සාමාන්‍යයෙන් සති කිහිපයක් ගත වේ. ඒ කියන්නේ පුද්ගලයෙකුට එන්නත ලැබීමට පෙර හෝ පසුව කෝවිඩ් -19 ඇතිකරන වෛරසය ආසාදනය වී රෝගාතුර විය හැකි බවයි. මෙයට හේතුව එන්නත සඳහා ආරක්ෂාව සැපයීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම මිස එන්නත අකාර්යක්ෂම වීම නිසා නොවේ. තවද කිසිදු එන්නතකට 100෴ක කාර්යක්ෂමතාවයක් නොමැති හෙයින් කෝවිඩ් 19 එන්නත් ලබාගන්නා සමහර පුද්ගලයන්ට රෝගයට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය නොවිය හැකි අතර, එම නිසා රෝගය වැලඳීමේ අවදානමක් පවතී.
යම් පුද්ගලයෙකුට කෝවිඩ් 19 වෛරසය වැලඳී සුවය ලබා ඇත්නම්, ඔවුන්ට කෝවිඩ් 19 එන්නත ලබාගත හැකිද?
කෝවිඩ් 19 හා සම්බන්ධ දරුණු සෞඛ්‍ය අවදානම් සහ කෝවිඩ් 19 සමග නැවත ප්‍රතිනිර්මාණය කළ හැකි නිසා, කෝවිඩ් 19 දැනටමත් තිබේද යන්න නොසලකා සියලුම පුද්ගලයන්ට එන්නත් ලබාදිය යුතුය. එන්නත පිළිබඳ තීරණ ගැනීමේ අරමුණින් පූර්ව ආසාදනය සඳහා වෛරස් හෝ Serological පරීක්ෂණ නිර්දේශ නොකරයි. ස්වාභාවික ප්‍රතිශක්තිය ලෙස හැඳින්වෙන ආසාදනයකින් යමෙකු ලබාගන්නා ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ස්වාභාවික ප්‍රතිශක්තිය සහ එන්නත මගින් ඇතිකරන ප්‍රතිශක්තිය යන දෙකම කෝවිඩ් 19හි වැදගත් අංගයන් වන අතර, විශේෂඥයන් වැඩි විස්තර දැන ගැනීමට විවිධ පරීක්ෂණ හරහා උත්සාහ කරයි. මෙම අවස්ථාවේදී ඔබට කෝවිඩ් 19 තිබුණත්, නැතත් ආසාදන වැළැක්විය හැකි හොඳම ක්‍රමය වන්නේ පොදු ස්ථානවලදී මුව ආවරණ පැලඳීම, අනෙක් පුද්ගලයන්ගෙන් අවම වශයෙන් අඩි හයක් ඈතින් සිටීම, අවම වශයෙන් තත්ත්පර 20ක් වත් සබන් හා වතුරෙන් අත් සේදීම සහ සෙනඟ සිටින ස්ථාන සහ සීමිත අවකාශයන්ට යාමෙන් වළකින්න.
එක් එන්නතක් වෙනත් එන්නතක් සමග හුවමාරු කර එන්නත්කර ගත හැකිද?
කෝවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකක් විද ගැනීමට සිදුවන අතර, පළමු මාත්‍රාව ගත් කාණ්ඩයෙන් තොරව වෙනත් එන්නතක් සමග හුවමාරු කර ගැනීමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳ හෝ හැකියාව පිළිබඳ දත්ත මේ වනතුරු නොමැත. එකම නිෂ්පාදිතයක මාත්‍රාවන් දෙකක් භාවිත කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට නිර්දේශ කරයි. විවිධ කේවිඩ් 19 එන්නත් නිෂ්පාදන නොදැනුවත්වම මාත්‍රා දෙකෙන් විඳගෙන ඇති විටෙක එන්නතෙහි අතිරේක මාත්‍රාවක් නිර්දේශ නොකරයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පරීක්ෂණ ප්‍රතිඵල හ නිර්දේශ ඉදිරිපත් කරන විට ඉදිරියේදී යාවත්කාලීන කළ හැකිය.
කෝවිඩ් 19 එන්නත් මගින් දිගුකාලීන ප්‍රතිශක්තියක් ලබාදෙයිද?
මෙම එන්නත් නව එන්නතක් වන බැවින් ඒවා කෝවිඩ් 19ට එරෙහිව අඛණ්ඩව හා දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් ලබාදෙයි දැයි අපි තවමත් නොදනිමු.
එන්නත මගින් පුද්ගලයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකිද?
බලයලත් සහ නිර්දේශිත කෝවිඩ් 19 එන්නත් හෝ දැනට සංවර්ධනය වෙමින් පවතින කෝවිඩ් 19 එන්නත් කිසිවක කෝවිඩ් 19 වෛරසයට හේතු වන සජීවී වෛරසය අඩංගු නොවේ. මෙයින් අදහස් කරන්නේ කෝවිඩ් 19 එන්නත මගින් රෝගය ඇතිවිය නොහැකි බවයි. කෝවිඩ් 19ට හේතු වන වෛරසය හඳුනාගෙන සටන් කළයුතු ආකාරය සියලුම එන්නත් මගින් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට උගන්වයි. සමහර විට මෙම ක්‍රියාවලිය නිසා උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි. මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වන අතර, ඉන් ඔබේ ශරීරය කෝවිඩ් 19ට හේතු වන වෛරසයෙන් ආරක්ෂා වන බවට ලකුණක් පෙන්නුම් කරයි.
තුන්වන අදියර අත්හදා බැලීම් සම්පූර්ණ කර ඇති කෝවිඩ් 19 එන්නත් කීයක් තිබේද? ඒවා මොනවාද?
තුන්වන අදියර අත්හදා බැලීම් අවසන් කර ඇති කෝවිඩ් 19 එන්නත් හයක් මේ වන විට පවතියි. ඒවා නම් ෆයිසර්-බයෝටෙක්, මෝඩර්නා, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාපසෙනෙකා, ස්පුට්නික් වී, සිනොෆාර්ම් සහ සිනොවාක්ය. මෙම නිෂ්පාදන හයේ කාර්යක්ෂමතා ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී තිබේ. කෙසේ වෙතත්, සම-සමාලෝචනය කළ කාර්යක්ෂමතා ප්‍රතිඵල ලැබී ඇත්තේ එන්නත් ද්විත්වයක පමණි. එන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රානසෙනෙකා සහ ෆයිසර්-බයෝටෙක් යන එන්නත්ය.
කෝවිඩ් 19 එන්නත් ආරක්ෂිතද? සහ උසස් තත්ත්වයේද?
එන්නත් වල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම ප්‍රමුඛතාවයකි. කෝවිඩ් 19 එන්නත් ඉක්මනින් සංවර්ධනය කළද, සියලු අත්‍යාවශ්‍ය පියවරයන් අනුගමනය කරනු ලබන අතර, සුපුරුදු ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව අධීක්ෂණ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ ජාතික නියාමන අධිකාරීන් හරහා එන්නත්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ගෝලීය සම්මතයන් සහ ප්‍රමිති සකස් කර ක්‍රියාත්මක කිරීම, සහතික කිරීම සඳහා ජාතික බලධාරීන් සමග සමීපව කටයුතු කරයි.
විශේෂ ස්තූතිය - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රතිපත්ති හා උපදේශන, අවදානම් සන්නිවේදන ඒකකයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය උපදේශක අමන්ති බන්දුසේන මහත්මියට.
කැළුම් දේවින්ද / නදීශානි පතිරණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd