Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවට අභියෝග කරමින් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ සටන මේ වනවිට තීව්ර වෙමින් තිබේ. එහි ඉදිරි පෙළ කථිකයෙකු ලෙසින් සිටින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා සිටීමට අද අප අදහස් කළෙමු.
අලුත් අගමැතිවරයෙක් පත්කිරීමට මූලික හේතුව වුණේ යහපාලන රජයේ වංචා දූෂණ නිසා බව ජනාධිපතිවරයා නිතරම කියනවා. එය නිවැරදි තීරණයක් කියා ඔබ සිතනවාද?
රටේ නායකයා ජනාධිපතිවරයා. ආණ්ඩුවේ නායකයා ජනාධිපතිවරයා. වංචා දූෂණ සිද්ධ වුණා නම් ඊට විරුද්ධව කටයුතු කළ හැකි ශක්තිමත් ආයතන මේ රටේ තිබෙනවා. කවුරු වැරදි වැඩක් කළත්, නීතිවිරෝධී වැඩක් කළත් ,වංචාවක් දූෂණයක් කළත් ඒකට දඬුවම් කිරීමට ඒ ආයතනවලට පුළුවන්. ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ ඒවාට දඬුවම් කිරීමට අවශ්‍ය කටයුතු කරන එකයි. එහෙම නැතිව එතුමාම චෝදනා කරපු ,විශේෂ අධිකරණවල නඩු විභාගවීමට නියමිත චෝදනා තිබෙන පරණ හොරු ටික ගෙනල්ලා ඒ පුටුවල වාඩිකරන එක නෙමෙයි ඒකට විසඳුම. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට තිබෙන චෝදනා මොනවද කියලා මේ රටේ සාමාන්‍ය ඕනම කෙනෙක් දන්නවා. එදා කථානායකතුමාගේ ආසනය වටේ ඉඳගෙන පාර්ලිමේන්තුව, ප්රජාතන්ත්රවාදය බලහත්කාරයෙන් යටපත් කරන්න දඟලපු අයට තිබෙන චෝදනා මොනවද කියලා ජනතාව දන්නවා. ඒ අයම ගෙනල්ලා නැවත පුටුවල වාඩිකරපු එක තමයි ජනාධිපතිවරයා කළේ. මේක ගැන දකින ඕනෑම සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා මෙය බලලෝභය පමණක් අරමුණු කරගනිමින් ගත් ඉතාම අන්ත දූෂීත ක්‍රියාමාර්ගයක් කියලා.
ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාවලින් මිදුණු, වංචා දූෂණ නොමැති පිරිසිදු පාලනයක් පසුගිය අවුරුදු තුනහමාරේ රට තුළ තිබුණ බවද ඔබ කියන්නේ ?
චෝදනා තිබෙන්න පුළුවන්. ආණ්ඩුවක්,රටක් පාලනය කරනකොට යම් යම් ප්‍රශ්න තිබෙන්න පුළුවන්. එවැනි චෝදනා තිබුණා නම් ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා දඬුවම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. ඒකට විසඳුම මේ වගේ අරාජික තැනකට රට තල්ලු කරලා දාන එක නෙමෙයි.
එහෙම වරදක් කරලා තිබුණා නම් පසුගිය මාස එකහමාර තුළදී එය නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරන්න තිබුණා. ඒ වෙනුවට අද කරමින් තිබෙන්නේ මිලියන 500 බැගින් මුදල් දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න මන්ත්‍රීවරුන්ට කතාකරමින් තමන්ගේ බලය තහවුරු කරගන්න ගමනක් යන එකයි. ජනාධිපතිවරයා එක චිත්‍රයක් සමාජයට පෙන්වමින් වෙනත් ගමනක් යන්න උත්සාහ කරන එකයි.
මහ මැතිවරණයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන පාර්ශ්වය කියද්දී ඊට විරුද්ධව ඔබ කණ්ඩායම උසාවි යනවා. එහෙම කළේ මැතිවරණයකට ඇති බිය නිසාද?
කිසිසේත්ම අපි ඡන්දයකට බය නැහැ. ආණ්ඩුව පත්කරලා තිබෙන්නේ අවුරුදු පහකට. පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය රකින්නේ නැතිව, පාර්ලිමේන්තුවේ ඇතුළේ ඡන්දයකට මුහුණදෙන්නේ නැතිව පාර්ලිමේන්තුව ඇතුළේ කථානායක පුටුව කොල්ලකන කණ්ඩායමේ වැඩ කටයුතු උසාවිය තහනම් කර තිබෙනවා. මෙවැනි කණ්ඩායමක් රටේ ජනතාව ඉදිරියේ මැතිවරණයකට යනවා කියන එක විහිළු කතාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා ඡන්දය තියන්න. ජනවාරි 08න් පස්සේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවීමට අවස්ථාව තිබෙනවා.
රට අරාජික තත්ත්වයකට පත් කිරීමට මුල්වූයේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කළ කටයුතු සාධාරණද කියලා අහන්න ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් කියන මැතිවරණ දෙකම එකට තියලා බලමු. ඒ දෙකටම අපි සූදානම්. හැබැයි මේ විදිහේ බලහත්කාරයෙන් රටේ ජනමතය යටපත් කරලා, ජනතා වරම යටපත් කරලා, පාර්ලිමේන්තුවේ කථානායක පුටුව කොල්ලකාපු පිරිසක් ගමේ ඡන්ද පෙට්ටිය කොල්ලකන එකක් නැහැ කියලා කාටද කියන්න පුළුවන්. අපිට මොන ප්‍රශ්න තිබුණත් මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය අපි ඉතාම සාධාරණව පැවැත්වුවා. ඒ නිසා තමයි මේ අය කියන්නේ පළාත් පාලන ඡන්දේ අපි පැරදුනා කියලා. අපි රාජ්‍ය බලය යෙදවූවේ නැහැ. වරදාන වරප්‍රසාද දෙන්න ගියේ නැහැ. ජනතාවට ඉතාම නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා. ඉදිරියේදී ඡන්දයක් තියනව නම් අපි සූදානම්. ව්‍යවස්ථාව අනුව රටේ ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වටපිටාවක් හදලා සාධාරණ මැතිවරණයකට අපි යමු. ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි දෙකම එකට තියමු. සාධාරණව පාර්ලිමේන්තුව ස්ථාපිත කරලා ඕනෑම වෙලාවක ඡන්දයකට යන්න අපි ලෑස්තියි. අපි ඡන්දයකට බය නැහැ.
එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකතුවෙලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන රට බෙදන්න යනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම එවැනි සූදානමක් තිබෙනවාද?
මේ උදවිය දෙමළ ජාතික සන්ධානයට නොයෙකුත් වරදාන, වරප්‍රසාද දෙන්න, ඕනෑම දෙයක් කරන්න එකඟවෙලා කතා කළා. ජනාධිපතිවරයාගේ කතාවෙම ඒකට උත්තරය තිබෙනවා. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයට කරන චෝදනා අතරේ කියනවා උතුරට රනිල් වික්‍රමසිංහ දිය හැකි දෙයවත් දුන්නේ නැති නායකයෙක් කියලා.ඉතින් වෙන සහතිකයක් තව ඕන නැහැ. දෙමළ ජාතික සන්ධානය වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා මේවායෙත් ඉන්නේ මිනිස්සු. ඒ මිනිස්සු දන්නවා මේ රටේ ප්රජාතන්ත්ර විරෝධී දෙයක් සිදුව තිබෙන බව. ඒ මිනිස්සු පෙළගැසුණා මිසක අපි රට බෙදන්න හරි, රට කඩන්න හරි, වෙනත් කතන්දර ගැන ඇතිවු‘ණු එකඟතා නැහැ. ගිවිසුම් නැහැ. නමුත් අපි අතර එකඟතාවක් තිබෙනවා හැකි ඉක්මනින් රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කර ගැනීම සඳහා.
නීතියේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා. ඔය කතාකරන මහා බෞද්ධයෝය, සිංහලයෝය කියන නායකයන්ට වඩා හොඳට බෞද්ධකම රකින මිනිස්සු අපි. මේ රට බෙදන්න අපේ පක්ෂය තීන්දුවකට ගිහින් නැහැ. හැබැයි කොයි වෙලාවක හරි රට බෙදන්න මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න කවුරු හරි උත්සහ කළොත් ඒවෙලේම අපි එළියට බහිනවා. එවැනි අවස්ථාවකට අපි අත උස්සන්න සූදානම් නැහැ. කෝටි පනහක් දෙන්නම් කියද්දී ඒකට පයින් ගැහුවා. නියෝජ්‍ය ඇමතිකම් දෙන්නම්, ඔයගොල්ලන්ගේ විශ්‍රාම වැටුපත් නැතිවෙන විදියට පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා බයකරපු වෙලාවේත් ඒවාට නැමුණු නැති මිනිස්සු අපි.
අපි වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෑ. රටේ අනාගතය පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ. එවැනි අවස්ථාවක් ආවොත් කවුරු ගෙනාවත් අපි අත උස්සන්න සූදානම් නැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන රට බෙදන්න යනවා කියලා එක එක්කෙනා කියාගෙන යන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න බලාගෙන. ඒවා මිථ්‍යා කතා පමණයි.
ද්‍රවිඩ සන්ධානයට වරප්‍රසාද දෙන්න ඒ අය තමයි කටයුතු කළේ කියලා ඔබතුමා පැවසුවා. මොනවද ඒ කටයුතු?
ඒ අය සාකච්ඡා කළා. දෙමළ මන්ත්‍රී කෙනෙක් ඔවුන් ගත්තා. අපි දන්නවා කරුණා අම්මාන්ලාට, පිල්ලෙයාන්ට සැලකුවේ කොහොමද කියලා. දෙමළ සන්ධානය සමග මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සාකච්ඡා එළියට දාන්න කියලා අපි අභියෝග කරනවා. මොනවද ඔවුන්ට පොරොන්දු වුණේ කියලා එළියට දාන්නකෝ. අපි කතාකරමු, අපි ඕන වැඩපිළිවෙළකට එමු කියලා දෙමළ සන්ධානය ඉදිරියේ ඒ අය බැගෑපත් වුණා. හැබැයි ඒ මිනිස්සු ඒවා පිළිගත්තේ නැහැ. රටේ ප්රජාතන්ත්රවාදය ඉස්සෙල්ලා තහවුරු කරලා ඉන්න කියලා දෙමළ සන්ධානය එම යෝජනාවලට පයින් ගැහුවා. ඒ ගොල්ලෝ එකතු කරගත්තාම කරුණත් හොඳයි, පිල්ලේයානුත් හොඳයි ,අනිත් මන්ත්‍රීවරුත් හොඳයි. ඒ අයට දෙමළ මන්ත්‍රීවරු එකතු කරගන්න බැරිවුණාම, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න දෙමළ මන්ත්‍රීවරු අපිත් එකතුවුනාම කොටි කියනවා. රට බෙදන්න යන කණ්ඩායම කියනවා. මේවා නිකන් විහිළු කතා. මේවා ගමේ භාෂාවෙන් කිව්වොත් බයිලා. මේවා කියලා මේ රටේ මිනිස්සු මුලා කරන්න බැහැ. අපි කොයි වෙලාවකවත් රට කඩන,රට බෙදන තැනකට ව්‍යවස්ථාව වෙනස් කරන්නෑ.හැබැයි මේ හොරු රැලට එරෙහිව මේ ජනසම්මතවාදයට, ප්රජාතන්ත්රවාදයට විරුද්ධව කටයුතු කරන පිරිසට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්.
මන්ත්‍රීවරු මිලියන 500 දක්වා ඉහළ ගණන් ඉල්ලා සිටි නිසා තමන්ට 113 හදාගන්න බැරිවුණ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. ඇත්තටම ජනාධිපතිතුමාට 113 හදාගන්න බැරි විදිහට ඔබතුමාලා ගණන් වැඩි කළාද?
අපේ මන්ත්‍රීවරුන් එවැනි ඉල්ලීම් කළේ නැහැ. නමුත් මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්න වැඳ වැඳ පස්සෙන් ආවා. ජනාධිපතිතුමාගෙ පස්සෙන් ගිහින් මිලියන 500ක් ඉල්ලපු කෙනෙක් නැහැ. අපේ කෙනෙක් ඒ විදියට ඉල්ලපු හඬ පටියක් හෝ වීඩියෝවක් තිබෙනව නම් ප්‍රසිද්ධ කරන්න කියලා අපි අභියෝග කරනවා.
ඒ විදියට මටත් කතා කළා. මිලියන 500යේ කතා කිව්වේ නැහැ. හැබැයි ඕනම දෙයක් කතා කරගන්න පොඩි වෙලාවකට එළියට එන්න කිව්වා. ඒවායේ පටිගත කළ දුකථන ඇමතුම් මා ගාව තිබෙනවා. ජනාධිපතිවරයාගේ විශේෂ පණිවිඩයක් අරගෙන හම්බ වෙන්න පොඩි අවස්ථාවක් දෙන්න කියලා මට කතා කරපු සමහර රජයේ උසස් නිලධාරීන් ඉන්නවා. නියෝජ්‍ය ඇමතිකමක් ,ඇමතිකමක් දෙන්නම් කියලා කතාකරපු ඇමතුම්වල පටිගත කරපුවා මාගාව තිබෙනවා.
කවුද මේවා දෙන්න හැදුවේ, මන්ත්‍රීවරු වෙන්දේසි කරන තැනට රට පත් කළේ කවුද, කාගෙ අත්තනෝමතික තීන්දු තීරණ නිසාද රට අරාජික තත්වයට පත් වුණේ කියලා මේ රටේ ජනතාව දන්නවා. ජනාධිපතිවරයා ලැජ්ජා වෙන්න ඕන. ජනාධිපතිවරයා යුක්තියට,නීතීයට,සාධාරණයට හිස නමනවා නම් ඔහුට විලිලැජ්ජාවේ අංශු මාත්‍රයක් හරි ගෑවිලා තිබෙනවා නම් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වෙන්න ඕන. ලැජ්ජා නැතිව මේ විදියේ ප්‍රකාශ කරන්නැතිව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙලා යන්න ඕන.
ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන බව පැවසෙනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?
ඒ ගැන අපේ පක්ෂයේ නායකයෝ එකතුවෙලා තීන්දුවක් ගනීවි. මේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් හෙට දුන්නත් මම අත්සන් කරනවා. ඒක මගේ පෞද්ගලික ස්ථාවරය. කවුරු දෝෂාභියෝගයක් දුන්නත් ඒකට අත්සන් කරන්න මට ඕන තරම් කාරණා තිබෙනවා.
19 වැනි සංශෝධන නිසා අර්බුධ පැන නැගී තිබෙන බව එයට අත් උස්සපු මන්ත්‍රීවරු පවා ප්‍රකාශ කරනවා. එම අවුල විසඳන්න සූදානමක් නැද්ද?
19 වැනි සංශෝධනයට අත ඉස්සුවේ නැත්තේ එවකට පාර්ලිමේන්තුවේ සිටි සරත් වීරසේකර මහතා පමණයි. අනෙකුත් සියලුම දෙනා එකතුවෙලා අත් උස්සලා 19 සම්මත කළා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මොකක් හරි යෝජනාවකට අත ඉස්සුවා නම් මට දැන් කියන්න බැහැ ඒකේ අර අඩුපාඩුව තිබුණා, මේ අඩුපාඩුව තිබුණා කියලා. එහෙනම් එදා මම පාර්ලිමේන්තුවේ කරලා තිබෙන්නේ විශාල වරදක්. එහෙම නැවත කියනවා නම් මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සුදුසු කෙනෙක් නෙමෙයි. හොඳ හෝ නරක,හරි හෝ වැරදි අඩුපාඩු තිබුණා නම් මම අත ඉස්සුවානම් මම ඒකේ වගකීම භාරගන්න ඕන. දැන් චෝදනා කරන මිනිස්සු ඔක්කොම මොන හේතුවට හරි එදා මේකට අත ඉස්සුවා. 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක තලයට එද්දී අඩුපාඩු තිබෙනවා නම් ඒවා හදාගන්න අපිට ඉදිරියේදී ඉඩකඩ තිබෙනවා. මේ වෙලාවේ ඒවා කියලා රටේ අටවපු මර උගුලෙන් ගැලවෙන්න ඔය නායකයන්ට පුළුවන්කමක් නැහැ. ඒවා නිකන් ජනතාව ඉස්සරහ කියන බොරු හේතු.
එක්සත් ජාතික පක්ෂය පවතින අර්බුධයට මුහුණදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
අපි ශක්තිමත් දේශපාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ අර්බුධයත් එක්ක අපිට ජීවය හම්බවුණා. ඔක්සිජන් හම්බවුණා. රටපුරාම අපි විශාල සංවිධාන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 17 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා. අපේ පක්ෂ සංවිධානය වේගවත්ව ඉස්සරහට යනවා. මෛත්‍රී මහත්තයා අපිට කරපු ඔක්කොම ද්‍රෝහිකම්, හතුරුකම් මැද්දේ මේ කරපු වැඩෙන් අපිට හොඳ ජීවයක් ලැබිලා තිබෙනවා. එතුමා කළ ඒ උදව්ව ගැන සියලුම පාක්ෂිකයන් කතා කරනවා.
මේ වනවිට එජාපය සමග එකතුවී තිබෙන කණ්ඩායම් කවුද?
මේ වනවිට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගුණරත්න වීරකෝන් හිටපු කැබිනට් ඇමතිවරයා බල මණ්ඩල රැස්වීමට එකතු වුණා. එතුමා ස්වේච්ඡාවෙන් ඇවිත් අපිට එකතු වුණේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙක් අපි සමග එකතුවෙලා තිබෙනවා. ඒ විදියට විවිධ පාර්ශ්ව එකතුවෙමින් තිබෙනවා. ඒ අයට නාමයෝජනා දෙනවාද නැද්ද කියන එක අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නායකත්වය එකතු වෙලා තීරණය කරාවි.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට හැම ක්ෂේත්රයකම ජනතාව අපිට එකතු වෙන්න ඕන. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගෙන පැමිණෙන කොයි පක්ෂයේ පුද්ගලයා වුණත් අපි බාරගන්නවා. අපිට ඒ අයට පයින් ගහන්න උවමනා නැහැ. එන අයට පක්ෂයේ දොරටු විවෘතයි.
ඔබට පාක්ෂිකයන්ට ලබාදීමට තිබෙන පණිවුඩය කුමක්ද?
අපේ පාක්ෂිකයන් අමාරුවෙන් ජනාධිපති කෙනෙක් පත්කරගත්තා. අමාරුවෙන් ආණ්ඩුවක් පත්කරගත්තා. හැබැයි ජනතාව බලාපොරොත්තු වූ ඒ වැඩ කොටස ඉටුකරගන්න පුළුවන් පරිසරයක් පසුගිය අවුරුදු තුනහමාරේ ඇති වුණේ නැහැ. ඒක එළියට ආවේ මේ කරපු ද්‍රෝහිකමත් එක්ක. ඊට කලින් ද්‍රෝහිකම් ගොඩක් අපිට සිද්ධ වුණා. අපි ලොකු කෙනෙහිලිකම්වලට මුහුණදුන්නා. අපේ වේදිකා ගිනි තියපු මිනිස්සු අරගෙන ඇමතිකම් දුන්නා. ඒ අයට ඉතා හොඳ රස්සාවල් දුන්නා.
මෛත්‍රීපාල මහතාගේ වේදිකා ගිනි තියපු මිනිස්සු වරායේ රස්සාවලට ගියා. නමුත් වේදිකා හදපු මිනිස්සුන්ට එක රස්සාවක්වත් අපිට දෙන්න බැරිවුණා. මේකෙන් පස්සේ පාක්ෂිකයන්ටත්, පක්ෂයටත්, මුළු මහත් ජනතාවටත් හොඳ යුගයක් උදාවේවි. මේ වනවිට අපි ගාල්ලේ බහුතරය පෙන්වලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 10න් හයක් දැන් අපි සමග ඉන්නවා. තව ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අප සමග එකතු වීමට සිටිනවා. බලමණ්ඩල 10ම තියලා අවසන් කළා. හිනිදුම ආසනයේ බලමණ්ඩල දෙකක් තිබ්බා. එක තැනකට රැස්කරන්න බැරි තරමට ජනතාවක් සිටින නිසා තමයි තැන් දෙකක බලමණ්ඩලය රැස්වීම් පැවැත්වූයේ.
2015 ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, බල මණ්ඩලවලදී දැකපු නැති සෙනඟක් මෙවර එකතු වුණා. දකුණේ මිනිස්සු හැමදාම අසාධාරණයට විරුද්ධයි. අපේ ආණ්ඩුවෙන් මොනතරම් අඩුපාඩු වුණත් අසාධාරණයට අයුක්තියට විරුද්ධ පිරිසක් හැටියට ගාලු දිස්ත්‍රික්කයේ මිනිස්සු ඉදිරියට ඇවිත් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙදී අප ආසන 10න් 07ක් ජයග්‍රහණය කරනවා. එවැනි ජනරැල්ලක් සෑම දිස්ත්රික්කයමක ඇතිවෙලා තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd