Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 17 වන ඉරිදා
2024 නොවැම්බර් මස 17 වන ඉරිදා
පෙරදිග, බටහිර හා ජනසංගීතය සම්බන්ධව විධිමත් හැදෑරීමක් සහිත ශ්‍රී ලාංකීය ගෝලීය සංගීතඥයන් බිහිකිරීමේ අරමුණින් පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය සංගීත පීඨය මගින් සිවු අවුරුදු සංගීත උපාධි පාඨමාලාවක් ලබන වසරේ සිටි ඇරඹීමට සූදානමින් සිටී. මේ ඒ පිළිබඳව හා වත්මන් සංගීත ක්ෂේත්‍ර හා ශ්‍රී ලාංකික මුහුණුවර සම්බන්ධවත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ පීඨාධිපති නදීක ගුරුගේ මහතා දැක්වූ අදහස් මාලාවකි.
තාක්ෂණය හා ගෝලීය සංගීත
අද වන විට ලෝකයේ සංගීතය කියන එක එක පැත්තකින් කලාවක් ලෙස අන්තර් මිශ්‍ර වෙමින්, අලුත් ශානරයන් හදමින් වසර දහස් ගණනෙම තිබූ පරිණාමය දෙගුණ, තෙගුණ, සියගුණ වෙලා තාක්ෂණික තොරතුරු විප්ලවයත් එක්ක ඉහළට යනවා. ඒ වගේම සමාජ ජාලයන්හී මැදිහත්වීමත් එක්ක ලෝකය පුරාම සංගීත ශානරයන් අතර අන්තර් මුහුවීම වැඩිවෙලා තිබෙනවා. ඒත් එක්කම සංගීතය සම්බන්ධ අධ්‍යයන ක්ෂේත්රයන් විශාල ප්‍රමාණයක් විවර වෙලා තිබෙනවා. සංගීතය කියන්නේ තවදුරටත් සංගීත සම්ප්රදායක් ඉගෙන ගැනීම නොවන බව ලෝක පරිණාමව සංගීත අධ්‍යාපනඥයන් තීරණයකොට තිබෙනවා.
සංගීතය සම්බන්ධව අධ්‍යයනයන් කිරීමේදී වෙනත් විෂයන් ගොඩක අදාළත්වයක් සැකසී තිබෙනවා. විශේෂයෙන් ලෝක සංගීතය, සංගීතය සම්බන්ධ සංස්කෘතික හැදෑරීම හා සංගීත විශ්ලේෂණවේදය, සෞන්දර්යවාදය හා සංගීතය ආදී විෂයන් සේම මහා සම්ප්‍රදායන් කිව්ව පෙරදිග හා බටහිර සම්ප්‍රදායන් වෙනුවට විශාල සම්ප්‍රදායන් ගොඩක් අද දැනුම් පද්ධතියට තුළට පැමිණ තිබෙනවා.
ගෝලීය සංගීතය තුළ ලාංකික භූමිකාව
ඒත් එක්කම ගෝලීය වෙළෙඳ පොළ තුළ සංගීතයට විශාල වෙළෙඳ පොළක් තිර්මාණය වී තිබෙනවා. නමුත් මෙච්චර දේවල් ගොඩක් සිද්ධවෙලා තිබියදී ගෝලීය මට්ටමේ සංගීතඥයෙක් තාම ගොඩනගාගන්න අපට බැරිවෙලා තිබෙනවා.
ගෝලීය තොරතුරු තාක්ෂණය ඇතුළේ ලෝකය පුරා තරුණ ප්‍රජාවගේ තාක්ෂණික දක්ෂතාවන් නොසිතූවිරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා. උදාහරණයක් ලෙස සංගීත භාණ්ඩ වාදනය ගත්තොත් තරුණයන්ගේ හැකියාවන් ඉතා ඉහළයි. තොරතුරු තාක්ෂණය ඇතුළෙ ඔවුන් දැනුමට නිරාවරණය වීම මීට හේතුවයි.
මීට සමගාමීව ඥානශාස්ත්රයත් පුළුල් විය යුතුයි. එහෙම නැතිවුණොත් ගෝලීය වෙළෙඳ පොළ ඇතුළෙ තවදුරටත් කොළඹට නිෂ්පාදන කරමින් ඉන්න වෙනවා.
ගුරු භූමිකාවෙන් ඔබ්බට
සංගීත ක්ෂේත්රයට අදාළව වෘත්තීන් රැසක් තිබෙනවා. නමුත් අපේ රටේ වැඩි වශයෙන් ඉලක්ක කරන්නේ ගුරුවරයෙක් වීමටයි. හැබැයි එය අන්තිම අවස්ථාව විය යුතුයි. මීට එහා ගිය අවස්ථාවන් රැසක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ සංගීත ඥානය හරියට දියුණු කරගත්තොත් ලෝකයේ ප්‍රකට සිනමාකරුවන් සමග ඔබේ සංගීතය එකතු කරන්න පුළුවන්. ලෝකයේ ඉන්න හොඳම ගායකයන්ට ගීත නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෙකෝඩින් ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කළොත් ඕනෑතරම් වැඩ තිබෙනවා. වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතන තුළ සංගීත නිෂ්පාදකයන්ට ඕනෑතරම් ඉඩ තිබෙනවා. මෙම සංගීත උපාධි පාඨමාලාවේ එක් විෂයක් තමයි මියුසික් තෙරපි. මියුසික් තෙරපි අපිට සංචාරක ව්‍යාපාරය සමග සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම සංගීත විචාර හා විශ්ලේෂණ යනුවෙන් විෂයක්ද මෙම පාඨමාලාවට ඇතුළත්. එවිට විචාරකයෙක් ලෙසත් කලඑළි බැසීමේ හැකියාව තිබෙනවා.
ඒ හැරුණුකොට 'එත්නොමියුසිකලොජි' (ලෝක සංගීතය සම්බන්ධව සංස්කෘතික හෝ මානව විද්‍යා ප්‍රවේශය) හැදෑරූ කෙනෙකුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ පර්යේෂකයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඕනෑතරම් වෘත්තීය අවකාශයන් තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි අන්තර්ජාතික මට්ටමේ හොඳ ගායකයෙක් ලෙස ඔබට කලඑළි බැසිය හැකියි. මෙම පාඨමාලාව ඇතුළෙ බටහිර සම්භාව්‍ය සංගීතය, බටහිර සම්භාව්‍ය නොවන ජනප්‍රිය සංගීතය (පොප්, රොක්, ජෑස්, බ්ලූස්), ඕල්ඩ් මියුසික්, ඒතනොමියුසිකලොජි, ඔරියන්ටල් මියුසික් (උත්තර භාරතීය, දක්ෂිණ භාරතීය, සුෆී හා ඉන්දියානු චූල සම්ප්‍රදායන්ට අයත් සංගීතය, පර්සියාවේ සිට අග්නිදිග ආසියාව දක්වා සංගීත ශෛලීන්), ජනසංගීතය පිළිබඳව වසර 4ක ප්‍රමාණික ඥානයක් විද්‍යාර්ථීන්ට ලබාදෙනවා. එවිට මේ විශ්වවිද්‍යාලයෙන් එළියට යන විද්‍යාර්ථයෙක් එක් සම්ප්රදායක් දන්නා සගීතඥයෙක් නොව ගෝලීය සංගීතඥයෙක්. ඒ තුළ ඔහුට සංගීතඥයෙක් වෙන්න, ගායකයෙක්, වාදකයෙක් වෙන්න හෝ පර්යේෂකයෙක් ආදී විවිධ පරාසයන් තුළ කටයුතු කළ හැකියි.
හුදෙක්ම සංගීත උපාධියක් අරන් ගුරුවරයෙක් වෙනවා කියන පැරණි අදහස වෙනුවට, නූතන ව්‍යාපාර ලෝකය, නූතන කලා ලෝකයට කොහොමද පුළුල් දැනුමක් සහිත පිරිපුන් ලාංකික සංගීතඥයෙක් බිහිකරන්නේ කියන කාරණය වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්නේ.
සංගීත උපාධි පාඨමාලාව
මෙවන් පසුබිමක පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මූලිකවෙලා, සංවිධිත මට්ටමේ උපාධි පාඨමාලාවක් ලංකාවේ පළමුවරට නිර්මාණයකොට තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි පාඨමාලාවක්. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය යනු කළමනාකරණයේ සිට කෘෂි තාක්ෂණය දක්වා විවිධ උපාධි පාඨමාලා පවත්වන උසස් අධ්‍යාපන ආයතනයක්. ඔවුන් පළමුවරට තමයි සංගීතය සම්බන්ධව පාඨමාලාවක් පවත්වන්නේ.
මෙම පාඨමාලාවේ විෂයපථය සකසා තිබෙන්නේ ලංකාවේ සිටින සංගීතය සම්බන්ධ ප්‍රාමාණික සංගීත අධ්‍යාපනඥයන් සහ ලෝකයේ සංගීත සම්ප්‍රදායන් හා සංගීතයට අදාළ අනුශාංගික විෂයන් ගැන බුද්ධිමත් පිරිසක්. දර්ශනය සම්බන්ධව මැදිහත් වුණේ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතායි. සංගීතය හා සාහිත්‍ය සම්බන්ධව මැදිහත් වුණේ මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය අරංගල වැනි විද්වතුන්. ඒ වගේම ලංකාවට සම්පතක් වුණ හර්ෂ මාකලන්ද අපිත් සමග කටයුතු කරනවා. ඔහු තමයි බටහිර සම්භාව්‍ය නොවන සංගීතය මොඩියුලයන් සිදුකරන්නේ.
පෙරදිග සම්භාව්‍ය සංගීතය හෝ බටහිර සම්භාව්‍ය සංගීතය හදාරන්න අපේ රටේ ඕනෑතරම් අවස්ථා තිබෙනවා. නමුත් මේ සම්ප්‍රදායන් දෙකම හැදෑරුවන් ලංකාවේ සංගීතඥයන් ලෙස නොව ඉන්දියානු හෝ බටහිර සම්භාව්‍ය සංගීතඥයන් ගොන්නට තමයි වැටෙන්නේ. අපේකම සහිත මේ පොළොවෙන් නිර්මාණය වෙච්ච සංගීතඥයෙක් ගොඩනගන්න තමයි මේ වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ. ලංකාවේ පූර්ව විජයාගමනයට පෙර තිබූ සංගීතය කෙසේද, එතැන් සිට පුනරුදය දක්වා සංගීත සම්ප්‍රදායන් කෙසේද, එතැන් සිට මහනුවර යුගය දක්වා සංගීතය හා අනෙකුත් අනුශාංගික විෂයන් වර්ධනය වුණේ කෙසේද, එතැන් සිට 20වැනි ශතවර්ෂයේ මේ දක්වා ලංකාවේ සංගීතය කවරාකාරද ආදී සියල්ල හදාළ ලංකාවේ සංගීතයේ අගමුල අතැඹුලක් සේ දන්න කටඇරලා ලෝකයට ගිහින් ලංකාවේ සංගීතය ගැන කතා කළ හැකි ලංකාවේ නාදය සහිත තරුණයෙකු බිහිකිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ.
ශාස්ත්රාලයීය අධ්‍යාපනයක් සංගීතය කෙරේ නැතිවුණාට ඔබට ප්‍රාමාණික සංගීතය ඥානයක් තිබෙනවා නම් ඔබට එතැන් සිට සංගීත හැකියාවන් ඉදිරියට ගෙන යා හැකියි. උදාහරණයක් ලෙස හර්ෂ මාකලන්ද ගත්තොත් ඔහු ගණිතඥයෙක්. අපේ ගොඩක් සංගීතඥයෝ, එක්කො ඉංජිනේරුවෝ, එක්කො වෛද්‍යවරු. සංගීතයම හදාළ අය කිහිපදෙනයි ඉන්නෙ. ලෝකයේ තත්ත්වයත් ඒකයි. මම පවා කෘෂිවිද්‍යාව තමයි උසස් අධ්‍යාපනයට හැදෑරුවේ. ඒ නිසා මේ විභවය සහිත තරුණයන්ට සංගීතය හැදෑරීමේ අවස්ථාව ්මේ තුළින් උදාවෙනවා.
සිසුන් බඳවා ගැනීම
වසර 4ක පූර්ණකාලීන උපාධි පාඨමාලවක් වන මේ සඳහා 2021 වසර උදෙසා 50දෙනෙකුගේ කණ්ඩායමක් අපි බඳවා ගන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුකූලව තමයි මේ සඳහා සිසුන්ගෙන් අයදුම්පත් කැඳවන්නේ. ඔවුන් ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වූ අවුරුදු 18 සිට 24දක්වා අයෙකු විය යුතුයි.
අයදුම්කරන සිසුන් තෝරාගැනීමේදී විභාග 4ක් සඳහා මුහුණදීමට සිදුවනවා. එහිදී නිර්මාණශීලී හැකියාව, තර්කඥානය, අවශෝෂණය කරගැනීමේ හැකියාව හා සංගීත ඥානය යන ක්ෂේත්රවලට අදාළව විභාග පැවැත්වෙනවා. මේ තුළින් තමයි අප සිසුන් 50ක් තෝරා ගන්නේ.
මේ සිසුන් 50 සඳහා ගුරුවරුන් 15ක් සිටිනවා. එය ඉතා හොඳ අනුපාතයක්. මෙම උපාධි පාඨමාලාවේ පළමු වසර සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙනවා. දෙවැනි වසරේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි පැවැත්වෙන්නේ. මොකද අපි ලෝකයට යන්න නම් සිංහල භාෂාවෙන් පමණක් ඉගෙනගෙන ඒක කරන්න බැහැ. නමුත් මේක ඇතුළෙ විශේෂ වැඩසටහනක් තිබෙනවා සිංහල භාෂාව උගන්වන. මොකද තමන්ගේ ස්වභාෂාව නොදන්නා කෙනෙකුට වෙනත් භාෂාවක් ඉගෙන ගන්නත් බැරි නිසා.
පළමු වසරේ සිට ලංකාවේ ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂවරු, සංගීත අධ්යක්ෂවරු, ශබ්ද පරිපාලකයන්, ගායකයන්, ලේඛකයන් ආදී පිරිස් සමග වැඩමුළු සඳහා සම්බන්ධ කරවීම සිදුකරනවා. එවිට එම නිර්මාණකරුවන්ට මෙම සිසුන් සිය නිර්මාණ සඳහා දායක කර ගැනීමේ අවස්ථාව සැලසෙන අතරම සිසුන්ටත් මේ නිර්මාණකරුවන් සමග සම්බන්ධතා ඇතිකර ගනිමින් දීර්ඝකාලීනව කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙනවා.
මෙහි හොඳම ශිෂ්‍යයන්ට නෝර්වේ, ජර්මනිය, ස්ලෝවේනියාවේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබාදෙනවා. එසේම චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සමග ශිෂ්‍ය හුවමාරු කටයුතුත් සිදුකෙරෙනවා.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂම කරුණක් තිබෙනවා. එනම් මේ හැම සිසුවෙක්ටම ඔහුගේ අනන්‍යතාව එලෙසම පවත්වාගනිමින් ඉදිරියට රැගෙන යාම. එහෙම නැතුව සිසුන් 50ම එකම කෝවකට දාලා උපාධියක් ලබාදීම නෙවෙයි මෙතන කෙරෙන්නේ. ස්වීයත්වය සහිත ලංකාවේ රුව ගුණ දන්නා, ප්‍රෞඪ සංස්කෘතිය දන්නා හෙට ලෝකයට අවශ්‍ය කරන සංගීතඥයෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.
ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයීය සංගීත පීඨය ලංකාවේ සංගීතය සම්බන්ධව පර්යේෂණ පවත්වන මධ්‍යස්ථානය බවට පත්කිරීම අපේ අරමුණයි. ලෝකයේ ඕනෑම කෙනෙක් ආසියානු කලාපයේ සංගීතය සම්බන්ධව පර්යේෂණ කරනවා නම් ඒ සඳහා වන ප්‍රධාන මධ්‍යස්ථානය බවට SLTC School of Music පත්කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වනවිටත් ලංකාවේ මියුසික් සම්බන්ධව පර්යේෂණ දෙකක් සිදුකෙරෙනවා.
ඒ වගේම චිත්‍රපට ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් නූතන තාක්ෂණයෙන් සන්නද්ධ රෙකෝඩින් ස්ටුඩියෝවක් මෙම සංගීත පීඨයට අදාළව නිර්මාණය කරමින් තිබෙනවා. මේ හරහා ඉන්දියාවට ඇදී යන විදේශ විනිමය ශ්‍රී ලංකාව තුළම නවතා ගැනීමයි අපේ අරමුණ වෙන්නේ. මෙම ශබ්දාගාර තුළ විදෙස් නිර්මාණකරුවන්ටත් ඔහුන්ගේ නිර්මාණ සිදුකිරීමට යොදාගත හැකි මට්ටමක් ඇති කිරීමට අපි උත්සාහ ගන්නවා.
එමෙන්ම හැම වසරකම ලංකාවට ලෝකයේ ඉන්න හොඳම සංගීතඥයො ගෙන්වලා ප්‍රසංග පවත්වන්න අපි කටයුතු කරනවා. ඒ වගේම හැම මාස 6කට වරක්ම පාදුක්කේ පිහිටි අප විශ්වවිද්‍යාලයීය එළිමහන් රංගපීඨයේදී විද්‍යාර්ථයන්ගේ සංගීත වැඩසටහනක්, කථිකාචාර්යවරුන්ගේ සංගීත වැඩසටහනක් හා ලංකාවේ සංගීතඥයෙකු හෝ සංගීත කණ්ඩායමක කතාබහට ලක්වෙන නිර්මාණ සම්බන්ධව කතාබහ කිරීමට අපි පසුතලයක් සකසා දෙනවා.
මේ ආදී බොහෝ කාරණා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මූලික කරගෙන සිදුකරන්න අපි අපේක්ෂා කරනවා. මෙහිදී අපි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුයි. ඔහුගේ ඉදිරි දැක්ම නිසා තමයි මෙවැනි අවස්ථාවක් ලංකාවේ ශිෂ්‍යයන්ට ලැබෙන්නේ.
0716044828/ 0112100500
නිරෝෂාන් ප්‍රේමරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd