Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මුහුණ දී තිබෙන වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස රජයට බලකරමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ ගුරුසේවා සංගමය තීරණය කර තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එම සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර මහතා අදට සම්බන්ධ කර ගතිමු.
මෙය කාලයක සිට පැනනැගි ප්‍රශ්නයක්
ගුරු සේවයේ, විදුහල්පති සේවයේ ප්‍රශ්න විසඳන්නෙ නැතිව ආණ්ඩුව පාසල් ක්ෂේත්රය ස්වයං විනාශයට යවා තිබෙනවා. එය ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න විසඳීමත් එක්ක සම්බන්ධයි. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන එය ඍජු ලෙස අපේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට බලපාන නිසයි. ගුරුවරු නිසි මානසික තත්ත්වයකින් යුතුව පන්ති කාමරයට ආවේ නැත්නම් ශිෂ්‍යයන්ට නිසි මගපෙන්වීමක් කරන්න බැහැ. ඒ නිසා ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳීම අතව්‍යශ්‍ය කරුණක් වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් එහෙම ප්‍රවේශයක් අපි දකින්නෙ නෑ. ආණ්ඩුව බලන්නේ රාජ්‍ය පාසල් පද්ධතිය විනාශයට යවලා පෞද්ගලීකරණය කරන්න. ආණ්ඩුවේ උත්සාහය වී තිබෙන්නේ ජාත්‍යන්තර පාසල් නංවන එක. ඒවා දියුණු කරන්න, ඒවාට ආධාර දෙන්න කතා කරන ආණ්ඩුව රාජ්‍ය පාසල්වල ප්‍රශ්න විසඳලා නැහැ. පාසල් ආශ්‍රිතව ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් අපි දකිනවා. ඉන් ප්‍රධාන ප්රශ්නය ගුරු වැටුප් පිළිබඳ ප්රශ්නය. දැනට ගුරුවරයාට ලැබෙන සොච්චම් වැටුප කොහෙත්ම ගුරුවරයෙකුට ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ආර්ථික ප්‍රශ්න ගණනාවකට ඔවුන් මුහුණ දී තිබෙනවා. බොහෝ ගුරුවරු ගෙයක් දොරක් හදාගන්න ගිහින්, තමන්ගේ දරුවන්ට උගන්වන්න ගිහින් ණය කන්දක හිරකාරයෝ වෙලා තිබෙනවා. ණය වාරිකවලට කැපුණාම ගොඩක් ගුරුවරුන්ට ලැබෙන සොච්චමෙන් කරන්න දෙයක් නැහැ. නිදහසක්, විවේකයක් සහිතව නිරවුල් මනසකින් අධ්‍යාපන කටයුතුවල, ඉගැන්වීම් කටයුතුවල නියැළුණු ගුරුවරුන් වැටුප පිළිබඳ ප්රශ්නයේ ප්‍රතිඵලය වශයෙන් අද අවිවේකී තත්ත්වයට පත්වෙලා. ගුරුවරුන් ජීවත් වීම සඳහා ආදායම් මාර්ගයක් හොයාගන්න ටියුෂන් ඇතුළු විවිධ කටයුතුවල නිරත වෙනවා. ගුරුවරුන්ට බලපා තිබෙන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩි නොවීම කියන ප්රශ්නය මේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට ඍජු ලෙස බලපා තිබෙනවා. මෙය රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලු ගුරුවරුන්ට පොදු කාරණයක්. බී.සී. පෙරේරා වැටුප් කොමිසම හරහා 1997දී ගුරුවරුන්ට අසාධාරණයක් සිදු වුණා. මෙම කොමිසම විසින් ගුරු හා විදුහල්පති සේවාවන්හි වැටුප්වල බරපතළ විෂමතාවක් නිර්මාණය කළා. ගුරුවරු දශක ගාණක් කළ අරගලයක ප්‍රතිඵලයක් විදියට 1994දී ලංකාවේ ගුරු සේවය දීපව්‍යාප්ත සේවයක් බවට පත් වුණා. නිශ්චිත බඳවා ගැනීමේ ක්‍රමවේදයක් නැතිව, මාරුවීම්වලට අදාළ ක්‍රමවේදයක් නැතිව, ගුරු සේවය දේශපාලන අතකොළුවක් බවට පත්වීම නිසා 94ට පෙර ගුරු සේවය ලොකු ව්‍යාකූලත්වයක තිබුණේ. ගුරු සේවයේ විධිමත් බඳවා ගැනීම්, මාරු වීම්, උසස්වීම් සහිත පිළිගත් සේවාවක් බවට පත්කරන්න කියලා තමයි ගුරුවරුන් කාලයක් තිස්සේ සටන් කළේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ගුරු සේවය දීපව්‍යාප්ත සේවාවක් බවට පත් වුණා. ඉන් පසුව ගුරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය හා විදුහල්පති සේවය සමාන සේවාවන් බවට පත්වුණා. මෙම සේවාවන් තුනටම සමාන වැටුප් තල ලබාදෙන්න කටයුතු කළා. 94දී ලබාදීපු ගුරු සේවය අහෝසි කරලා 94දී ගුරුවරයාට ලබාදීපු වැටුප් තල කප්පාදුවක් 1997දී සිදු වුණේ. 94 ගුරු සේවයේ වැටුප් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ වැටුප් සමාන තලයක තිබුණා. 97දී සිදු වූ කප්පාදුවත් එක්ක ගුරු සේවය ඇතුළෙ බරපතළ වැටුප් විෂමතාවක් නිර්මාණය වෙනවා. ගුරු සේවය හඳුන්වාදෙද්දී ගුරු වර්ග 25කට වැඩි සංඛ්‍යාවක් තිබුණා. වැටුප් වර්ගත් එවැනි සංඛ්‍යාවක් තිබුණා. ගුරු සේවය නිර්මාණය කළ විට සියල්ල එකතු කරලා පන්ති තුනකින් හා ශ්‍රේණි 05කින් සමන්විත ගුරු සේවයක් බවට පත් කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට ගුරු සේවයේ 2 (ii) ශ්‍රේණිය සමාන කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි ශ්‍රේණියට ගුරු සේවයේ 2 (i) ශ්‍රේණිය සමාන කළා. ගුරු සේවයේ පළමු පන්තියයි අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියයි සමාන වැටුප් තල සහිත සේවාවක් බවට පත් කළා. 94දී අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියටයි ගුරු සේවයේ 2(ii)ටයි රුපියල් 4,490ක සමාන වැටුපක් ලැබුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි පන්තියටයි, ගුරු සේවයේ 2(i) ශ්‍රේණියටයි රුපියල් 6,700ක සමාන වැටුප් තලයක් ලැබුණා. මේ දෙකේම පළමු පන්තිවලට රුපියල් 8,750ක සමාන වැටුප් තලයක් ලබා දුන්නා. 97දී බී.සී. පෙරේරා වැටුප් කොමිසම ගෙනැල්ලා අනෙකුත් සියලුම සේවාවන්හි වැටුප් වැඩිකිරීමක් සිදු කළා. නමුත් ගුරු සහ විදුහල්පති සේවාවන්හි වැටුප් වැඩි කිරීමක් සිදු වුණේ නැහැ. 94 සමාන තලයන්හි සිටි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සහ ගුරුවරු අතරේ 97 සිට වැටුප් විෂමතාවක් නිර්මාණයක් වෙන්න පටන් ගත්තා.
ආණ්ඩුවල පොරොන්දු
මෙම වැටුප් විෂමතාව විසඳනවා කියලා ආණ්ඩුව විවිධ අවස්ථාවලදී පොරොන්දු දීලා තිබෙනවා. 97 බී.සී. පෙරේරා වැටුප් කොමිසමත් කියනවා ගුරුවරුන්ගේ වැටුප් පිළිබඳ ප්රශ්නය පසුව සලකා බලන්න කියලා. නමුත් ඒ පසුව සලකා බලනවා කියපු දවස තවම ඇවිත් නැහැ. අපි හිතනවා ගුරුවරුන් ඒ සඳහා වන බලපෑමක් කළේ නැත්නම් ඒ දවස කවදාවත් එන එකක් නැහැ කියලා. ඊට පසුව හඳුන්වා දුන් වැටුප් චක්‍රලේඛ හරහා සිදුවෙලා තිබෙන්නේ මෙම වැටුප් විෂමතාව බරපතළ ලෙස වර්ධනය වූ එක පමණයි. ඒක විසඳන්න කටයුතු කළේ නැහැ. 2007දී ගුරුවරු උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වර්ජනයක් කළා. ඒකට අදාළව විශාල රාජ්‍ය මර්දනයක් දියත් වුණා. ඒ වෙලාවේ අධිකරණයෙන් ලබාදීපු තීන්දුවක් තිබෙනවා ගුරු සේවාව ස්ථාපිත කරන්න කියලා. නමුත් මේ දක්වා එම ගුරු සේවාව ක්‍රියාත්මක වෙලා නැහැ. අවසන් වශයෙන් ගුරු සේවයේ වැටුප් වැඩිවීමක් වුණේ 2016දී. එම වැටුප් වැඩි වීම කොටස් වශයෙන් තමයි මූලික වැටුපට එකතු කරන්න යෝජනා වුණේ. එහි අන්තිම වැටුප් වාරිකය 2020දී එකතු වීමට නියමිතයි. 97දී ආරම්භ වුණු වැටුප් විෂමතාව 2020 වනවිට ඉතා බරපතළ තැනකට එනවා. 94දී අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියයි, ගුරු සේවයේ 2(ii) ශ්‍රේණියයි සමාන වැටුප් තලවල පිහිටුවා තිබුණත්, මෙම වැටුප් තල දෙක අතරේ මේ වෙද්දි 14,315ක වැටුප් විෂමතාවක් නිර්මාණය වී තිබෙනවා. මේ වනවිට තුන්වැනි පන්තියේ අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 47,615යි. 94 සමාන වැටුප් තලයක සිටි දෙකේ දෙක ශ්‍රේණියේ ගුරු සේවයේ අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 33,300යි. බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ ප්රශ්නය නිසා 2(ii) ශ්‍රේණියේ ගුරුවරයෙකුට ලැබිය යුතු වැටුපෙන් 14,315ක් මාසිකව උදුරා ගන්න බව ඉන් පැහැදිලියි. 2(i) ශ්‍රේණියේ ගුරුවරයෙකුට අදාළව ගත්තොත් මාසිකව රුපියල් 23,125ක වැටුප් විෂමතාවක් නිර්මාණය වී තිබෙනවා. දෙවැනි පන්තියේ අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකුට රුපියල් 62,300ක වැටුපක් ලැබෙනවා. නමුත් 94 සමාන තලයක සිටි දෙකයි එක ශ්‍රේණියේ ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 39,175යි. පළමු පන්තියේ අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු රුපියල් 75,635ක් ගන්නවා. 94 සමාන තලයක සිටි පළමු පන්තියේ ගුරුවරයෙකු ගන්නේ රුපියල් 44,950යි. එතැන රුපියල් 30,685ක වැටුප් කොල්ලයක් සිදුව තිබෙනවා. බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ ශාපය විසින් ගුරුවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුකර ගුරුවරයාට ලැබිය යුතු වැටුප බරපතළ විදියට කොල්ලකෑමට ලක්ව තිබෙන බව පැහැදිලියි. අධ්‍යාපන පරිපාලන සේවයට සාපේක්ෂව බැලුවොත් 94 සමාන වැටුප් තලයේ හිටපු ගුරුවරයාගේ වැටුප හරි නම් අධ්‍යාපන පරිපාලන සේවයට සමාන විය යුතුයි. අපි කියන්නේ වහාම බී.සී. පෙරේරා වැටුප් කොමිසම හරහා සිදුකළ අසාධාරණය නිවැරදි කරලා වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කරන්න. 94දී ස්ථාපිත කළ 97දී අහිමි කළ ගුරු සේවය යළි ස්ථාපිත කරන්න. ගුරු හා විදුහල්පති සේවාවන් දීපව්‍යාප්ත සේවා බවට පත්කරලා 97දී හඳුන්වා දුන් බී.සී. පෙරේරා වැටුප් කොමිසම ඉවත් කරලා වැටුප් නැවත ලබාදෙන්න කටයුතු කරන්න. එසේ වූ විට ගුරුවරුන් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට යම් උත්තරයක් ලැබේවි. ඒක අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට ඍජු ලෙසම බලපානවා. ඒක ආණ්ඩුව කළ යුතුයි. උසස් වීම් සම්බන්ධ ප්‍රශ්න, ගුරු මාරු වීම් සම්බන්ධ ප්‍රශ්න හා වැටුප් වර්ධකය එකතු නොකරපු ප්‍රශ්න ගණනාවකට ගුරුවරු මුහුණ දී තිබෙනවා. ඒ වගේම විද්‍යා පීඨ ගුරුවරු මුහුණ දෙන සුවිශේෂී ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එම ගුරුවරුන්ට පුහුණු කාලපරිච්ඡේදය ඇතුළේ පාසල්වල ඉගැන්වීම සඳහා මාසයකට රුපියල් 5,000යි ලැබෙන්නෙ. ඔවුන් එම රුපියල් 5,000න් කන්න, බොන්න, අඳින්න, බෝඩින්වලට ගෙවීම් කරන්න ඕන. ඒ නිසා බලද්දී රුපියල් 5,000න් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා පේනවා. මෙම ගුරුවරු බරපතළ පීඩාවකට මුහුණ දී සිටිනවා. මේ ගුරුවරු කියන්නේ මහලොකුවට සල්ලිබාගේ තියෙන දෙමවුපියන්ගේ දරුවො නෙමෙයි. ඒ නිසා ඔවුන්ට සාධාරණ ගෙවීමක් කරන්න කියන බලපෑමත් අපි කරනවා.
අනවශ්‍ය ආකෘති පත්‍ර පිරවීමට සිදුවීම
මේ වනවිට අනවශ්‍ය ආකෘති පත්‍ර පිරවීමක් ගෙනැල්ලා ගුරුවරු පාසල් පද්ධතිය ඇතුළෙ වැඩ කන්දකට හිරකරලා තිබෙනවා. බොහෝ පාසල්වල ගුරුවරුන්ට විෂයානුබද්ධ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ගණනාවක් කරන්න තිබෙනවා. සමහර ගුරුවරු පීරියඩ් අටේම වැඩ කරනවා. සමහර ගුරුවරුන් විෂයන් දෙක තුනක් කරනවා. ඒ විදියට ඔවුන්ට කරන්න වැඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ල තිබියදී එක එක ජාතියේ ආකෘති පත්‍ර පිරවීම හෙවත් කොළ පිරවීමට සිදුවීම නිසා ගුරුවරුන්ට උගන්වන්න තිබෙන වෙලාව නැති වෙලා තිබෙනවා. ඒ වගේම මේ හරහා ගුරුවරුන්ට අනවශ්‍ය පීඩාවක් පැටවී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කලාප කාර්යාල මගින් පාසල්වල භෞතික සම්පත් සම්බන්ධ වාර්තාවල සිට ඇගයීම් වාර්තා, පාසල් සංවර්ධන කමිටුවල මූල්‍ය වාර්තා ඇතුළු වාර්තා තොගයක් ගුරුවරුන් ලවා පුරවාගන්න තත්ත්වයක් ඇවිත් තිබෙනවා. මෙම අනවශ්‍ය ආකෘති පත්‍ර පිරවීම සම්බන්ධව ගුරුවරු ඇතුළෙ විශාල විරෝධයක් ගොඩනැගී තිබෙනවා. විවිධ අමාත්‍යාංශවල වැඩත් පාසල් හරහා සිදුකර ගන්නවා. හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ පාසැල් හරහා සිදුකිරීම. අධිකරණ අමාත්‍යාංශයේ වැඩත් කර ගන්නවා. ප්‍රාදේශීය සභාවල, පළාත් සභාවල ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල වැඩත් පාසල් ගුරුවරුන් හරහා කරගන්න තත්ත්වයක් ඇවිල්ලා. ඒකෙන් වෙන්නේ ගුරුවරයාට තමන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා සූදානම් වෙන්න තිබෙන වෙලාව, දරුවන්ගේ අධ්‍යාපනයට උනන්දුව දක්වන්න තිබෙන වෙලාව අහිමි වෙන එක. එම අනවශ්‍ය බරෙන් ගුරුවරුන් නිදහස් කරන්න කියන බලපෑම අපි අධ්‍යාපන බලධාරීන්ට කරනවා. මේක ගුරුවරුන්ටවත්, ශිෂ්යන්ටවත් ප්‍රයෝජනයක් නැහැ. මේකෙන් වෙන්නේ ගුරුවරුන් තවතවත් පීඩාවට පත්වීම පමණයි. එවැනි ආකෘති පත්‍ර පිරවීම සඳහා අනධ්‍යයන සේවකයන් බඳවාගෙන වාර්තා පවත්වාගෙන යෑමට අදාළ වැඩපිළිවෙළක් සකස් කළ හැකියි. එහෙම නැතිව දැනට සිටින ගුරුවරු හරහා එය පැටවීම හරහා දරුවන්ගේ අධ්‍යාපනයට හානියක් සිදු වෙනවා.
අධ්‍යාපනයට 06%ක් වෙන් කිරීම
අධ්‍යාපනයට 06%ක් වෙන් නොකිරීම ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට බලපා තිබෙනවා. අධ්‍යාපනයට වෙන්වන ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කිරීම නිසා තමයි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට නොහැකි වී තිබෙන්නේ. ආණ්ඩුව අධ්‍යාපනයට වෙන්කරන ප්‍රතිපාදන කප්පාදු කරලා පාසල නඩත්තු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්, දෙමවුපියන්, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් මත පටවමින් ඉන්නවා. මේ නිසා ගුරුවරු විශාල පීඩාවකට මුහුණ දී සිටිනවා. පාසල් සංවර්ධන සමිති හරහා පාසල් සංවර්ධනය කිරීමේ විවිධ ව්‍යාපෘති සඳහා ගුරුවරුන්ට තමන්ගේ කාලය හා ශ්‍රමය යොදවන්න වෙලා. ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු හා දරුවන්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමුකරනවා වෙනුවට පාසල පවත්වාගෙන යන්නේ කොහොමද, පාසල නඩත්තු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. විදුහල්පතිවරුන් කල්පනා කරන්නේ පාසල නඩත්තු කිරීමට අවශ්‍ය මුදල කොහොමද ළමයින්ගෙන් අයකර ගන්නේ කියලා. විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට තිබෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන වදවෙන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව පාසල නඩත්තු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පැටවීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට ඍජු ලෙස බලපානවා. ඒ නිසා අපි කියන්නේ අධ්‍යාපනයේ වගකීම ආණ්ඩුව ගන්න ඕන. අධ්‍යාපනයට 06෴ක් වෙන් කරලා පාසල් නඩත්තු කිරීමේ වගකීමෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් නිදහස් කරන්න. ඔවුන්ට නිදහසේ දරුවන්ගේ අධ්‍යාපනයට අවධානය යොමුකරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න.
නැවතුණු සටනට යළි පණ පෙවීම
මෙම ඉල්ලීම් මුල්කර ගෙන ඒකාබද්ධ ගුරු සේවා සංගමය උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රශ්න සම්බන්ධව විවිධ අවස්ථාවල ගුරුවරු හා ගුරු සංගම් සටන් කරලා තිබෙනවා. ඒ අරගල ආපු දුරකුත් තිබෙනවා. නමුත් එම අරගල දැන් අතරමග නතර වෙලා තිබෙන්නෙ. ඒ නිසා ගුරුවරුන්ගේ ප්‍රශ්න නොවිසඳන තත්ත්වයක් අද මේ ක්ෂේත්රය ඇතුළෙ නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඒකාබද්ධ ගුරු සේවා සංගමය විදියට මේ අතරමැද නතර වුණු අරගලය ඉදිරියට ගන්න අපි හිතුවා. එහි ආරම්භය විදියට මේ මස 28 වැනිදා උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. එදින සවස 2.00ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණක් පැවැත්වෙනවා. මේ වනවිට ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් පෙත්සම් අත්සන් කිරීම්, දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ ව්‍යාපාර සිදුකර තිබෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ වහාම මේ ගුරුවරුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න කියලයි.
දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුව මේ ප්රශ්නය විසඳන ස්වභාවයක් නැහැ. ආණ්ඩුව ගුරුවරුන්ට ඇහුම්කන් දෙන්නෙ නැහැ. ඒකට බලපා තිබෙනවා අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය. ආණ්ඩුව ඉන්නේ අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් නිදහස් වෙලා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කරන ප්රතිපත්තියක. එවැනි තත්ත්වයක් ඇතුළෙ අපට බලාපොරොත්තු වෙන්න බැහැ ආණ්ඩුව මේ ප්‍රශ්න විසඳයි කියලා. ඒ නිසා ඒකට අදාළ බලපෑමක් කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ආණ්ඩුව මේ ප්‍රශ්න නොවිසඳන්න බලපෑ ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුව හඳුනාගෙන නැහැ මේ රටේ ගුරුවරුන්ගේ තත්ත්වය හා බලය. ඒ නිසා අද ගුරුවරුන්ගේ ප්‍රශ්න නොවිසඳනවා පමණක් නොවෙයි ගුරුවරුන් දණගස්සන, ගුරුවරුන් හිරේ විලංගුවේ දාන, ගුරුවරුන්ට විවිධ දේශපාලන බලපෑම් කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ආණ්ඩුව මේ ප්‍රශ්න විසඳන්න සූදානම් නැත්නම් ආණ්ඩුවට මේ රටේ ගුරුවරුන්ගේ බලය කොයිවගේද කියලා දැගන්න ලැබේවි. එතැනට අපිව තල්ලු කරන්නෙ නැතිව, ගුරුවරයා සටනට, අරගලයට කැදවන්නෙ නැතිව වහාම මේ ප්‍රශ්න විසඳලා ගුරුවරුන්ට නිදහසේ තමන්ගේ ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න කියන බලපෑම අපි කරනවා. ඒ වගේම සියලු ගුරුවරුන්ට අපි ආරාධනා කරනවා අවුරුදු ගාණක් තිස්සේ බැටකන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ගුරුවරු සටනට අවතීර්ණය විය යුතුයි. ගුරුවරු අරගල කළොත් හැරෙන්න, තමන්ගේ බලය පෙන්නුවොත් හැරෙන්න මේ ප්‍රශ්න විසඳගන්න බැහැ. වෙන ක්‍රමවේදයක් හෝ විකල්පයක් නැහැ. පසුගිය කාලයේදී සටන් කළ හැම ක්ෂේත්රයක් ඇතුළෙම ජයග්‍රහණ අරගෙන තිබෙනවා. ඒ නිසා සටන් දිනන්න බැහැ කියලා කතාවක් නැහැ. ලංකාවේ ගුරුවරු 241,000ක් විතර ඉන්නවා. ඒ ගුරුවරු සියලු දෙනා එකතු වෙනවා නම් මේ සටන ජයග්‍රහණය කරන්න බැරි නැහැ. ඒ නිසා සියලු ගුරුවරුන්ට මේ සටන වටා එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා.
අමිත් මධුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd