Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 12 වන ඉරිදා
2025 ජනවාරි මස 12 වන ඉරිදා
පවතින දත්ත අනුව කෝවිඩ් වසංගතය සමාජගත වී අවසන් බවත්, ඉදිරියේදී තවත් දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ එකමුතුවේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ඔහු සමග 'අද' කළ සාකච්ඡාව මෙසේය.
රට විවෘත කිරීම සහ තුන්වැනි රැල්ල
රට විවෘත කිරීම කියන්නේ කෝවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණය. නමුත් ජනජීවිතය, මිනිස්සුන්ගේ ආර්ථිකය සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සලකන විට ගත හැකි හොඳම තීරණය. මේ තීරණ දෙක ගැන කතා කරද්දී රජය ආර්ථිකය සම්බන්ධයෙන් හොඳ තීරණයක් අරගෙන තියෙනවා. කෝවිඩ් සම්බන්ධයෙන් නරක තීරණයක් අරගෙන තියෙනවා. මේ තත්ත්වය තුළ කෝවිඩ් සම්බන්ධයෙන් නරක තත්ත්වයකට ඉදිරි දින කිහිපය තුළදී අපි සූදානම් විය යුතු වෙනවා. තුන්වැනි රැල්ලක් ඇතිවීම කියන කාරණය අපිට අනුව නම් අදාළ නැහැ.
මොකද මේ රැලි ඇතිවෙන්නේ රෝගය සමාජගත වෙලා නැතිනම් පමණයි. අපිට තිබෙන දත්තවලට අනුව සහ මේ තිබෙන වටපිටාවට අනුව මේ වනවිට රෝගය සමාජගත වෙලා කියලා අපි විශ්වාස කරනවා. සමාජගත වෙලා නැතිනම් එය වසංගත රෝග විද්‍යා අංශය මගින් ඔප්පු කළ යුතුයි. ඒ නිසා ඉදිරියට ඇතිවෙන්නේ තුන්වැනි රැල්ලක් නෙවෙයි. සමාජයේ හැමතැනම මේ රෝගය තිබෙන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. අපි දන්නා නොදන්නා හැමෝටම මේ රෝගය බෝ වෙන තත්ත්වයක් ඇතිවේවි.
එවැනි තත්ත්වයක් ඇතිවෙනවා කියලා මෙය අතහැර සිටීම නෙවෙයි අපි කළ යුත්තේ. මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා රජය තීරණය කරල තිබෙනවා නම් මිනිස්සු එයට මුහුණ දිය යුතුයි. මේ තත්ත්වයට සූදානම් විය යුතුයි කියන දේ අපි පැවසුවේ පසුගිය අප්‍රේල් මාසයේදී.
ජනාධිපතිවරයාට සෞඛ්‍ය ඇමති සහ ලේකම්ට ඒ සම්බන්ධයෙන් ලිඛිතවම අපි කරුණු ප්‍රකාශ කළා. ඒ ආකාරයට කටයුතු කළා නම් රසායනාගාර සේවාවේ මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. නමුත් මේ කිසිම කෙනෙක් මේ යෝජනා සැලකිල්ලට ගෙන අදාළ කමිටුවලදීවත් සාකච්ඡා කරන්නට උවමනාවක් තිබුණේ නැහැ. ඒ උවමනාවක් තිබුණේ නැති අය මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකිව යුතුයි කියලා අපි දැන් කියනවා.
අපි සිදුකළ යෝජනා
රසායනාගාර සේවාවේ බහුවිධ උපක්‍රමයක් මේ සඳහා භාවිත කරන ලෙස අපි යෝජනා කළා. දිගින් දිගටම පීසීආර් පරීක්ෂණ පමණක් සිදුකළහොත් මෙය අර්බුදයකට යොමු වන බවත් අපි ප්‍රකාශ කළා. බහුවිධ උපක්‍රම ලෙස අපි උපක්‍රම තුනක් පෙන්වා දුන්නා. ඒ අනුව පීසීආර් ධාරිතාවය වැඩි කිරීමට යෝජනා කළා. ඒ අවස්ථාව වන විටත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පීසීආර් මැෂින් 55ක් තිබුණා. මේ සාම්ප්‍රදායික පීසීආර් මැෂින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ආකාරයට බෙදාහැරීම වගේම බහුකාර්ය පීසීආර් මැෂින් ගෙන්වීම කළයුතු බව අපි පෙන්වා දුන්නා.
අද අපි කියපු කාරණය ඔප්පු වෙලා තියෙනවා. කුරුණෑගල, කලුතර, කෑගල්ල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පීසීආර් මැෂින් මේ වන විටත් නැහැ. ඒ වගේම ජාතික රෝහල තුළත් පීසීආර් මැෂින් එකක් තවමත් නැහැ. මේ තත්ත්වය තුළ රට වටේම කළයුතු පීසීආර් පරීක්ෂණ කොළඹට ගෙනැවිත් කරන්න සිදුවෙලා තිබෙනවා. මේ නිසා අපි දැනුත් අවධාරණය කරන්නේ මේ කාරණය ප්‍රමාද වී හෝ දැන්වත් ඉටුකරන්න කියලා.
ඒ වගේම අලුත් තාක්ෂණය එකතු කළ අලුත් පීසීආර් මැෂින් ගේන්න කියලා අපි කිව්වා. එහෙම ගෙන්නුවා නම් මහා පරිමාණයෙන් පීසීආර් පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපළ, බොරැල්ල පර්යේෂණ ආයතනය, උණ රෝහල වගේ තැන්වල පමණයි දැනට ඒවා තිබෙන්නේ. එය සිදුකරන්න ලෝක බැංකුවෙන් ආධාර පවා ලැබුණා. නමුත් කෝවිඩ් ඉවරයි කියලා එය කළේ නැහැ. මඟහැරපු නිලධාරීන් ඒවාට වග කියන්න අවශ්‍යයි.
පීසීආර් පරීක්ෂණ ප්‍රමාද වීම
ඒ වගේම පීසීආර් පරීක්ෂණ ප්‍රමාද වීම ගැන ලොකු කතාබහක් තිබෙනවා. ක්ෂේත්රයේ සිට පීසීආර් කිරීම සඳහා ලබාගන්නා නියැදි රසායනාගාර වලට ලැබීමට දවසක් පමණ හෝ ඊට වඩා කල්ගත වෙන අවස්ථාවන් තිබෙනවා. රසායනාගාරය තුළ ඒ පරීක්ෂණය පැය අටක් තුළ සිදුකරනවා. නමුත් මේ අතරමැදි කටයුතු වලට වැඩි කාලයක් ගත වෙනවා.
රසායනාගාර තුළ සෑම පීසීආර් පරීක්ෂණයක්ම පැය 08ක් තුළ සිදුකිරීමට අපි කටයුතු කර තිබෙනවා. මේ තදබය අවම කරන්න රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ඇතිකරන්න කියලා අපි යෝජනා කළා. ඒ වගේම පර්යේෂණාගාරය ක්ෂේත්රයට අරගෙන යන්න කියලා අපි යෝජනා කළා. එයට ආදාළ තාක්ෂණය ලබාදීමත් රජයේ වගකීමක්.
ඒ වගේම ප්‍රතිදේහ පරීක්ෂණ වගේම ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහාත් අවස්ථාව ලබාදෙන්න කියලා අපි යෝජනා කළා. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කළා. පීසීආර් පරීක්ෂණ වගේම ප්‍රතිදේහජනක පරීක්ෂණයත්, ප්‍රතිදේහ පරීක්ෂණයත් සිදුකිරීමට අවස්ථාව සකස්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත්, ඔවුන් එයට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ වනවිට ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පමණක් අවසර තිබුණත්, ප්‍රතිදේහ පරීක්ෂණ තවමත් ස්ථාපිතවෙලා නැහැ. දැන්වත් මේ පරීක්ෂණ සඳහා අපි සූදානම් විය යුතුයි.
ලංකාවේ මුලික රෝහල් වල පවා තිබෙන ප්‍රතිශක්තික රසායනික උපකරණ මගින් දවස් දෙකක් ඇතුළත ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා ප්‍රතිදේහ කට්ටල ගෙන්වාදිය යුතුයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය එය දිගටම වැළැක්වූ නිසා මෙතෙක් එය ගෙන්වා නැහැ. ඒ වගේම තවත් ජංගම රසායනාගාර අවම දහයක් හෝ හදාගත යුතුයි. එහෙම උනොත් ක්ෂේත්රයේ පරීක්ෂණ කරන්න පුළුවන්. මේ කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉටුවෙනවා නම් ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි.
වගකීම් පැහැර හරින කළමනාකරණය
වෘත්තිකයන් විදිහට මේ වනතුරු අපි කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. එහෙම තියෙද්දි හමුදාව මගින් පීසීආර් පරීක්ෂණ කරනවා වගේ දේවල් කතා වෙනවා. අපි කියන්නේ එවැනි කතා 'පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා' වගේ කතාවක් කියලා විතරයි. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් අනාගන්න වෙනවා කියල තමයි අපිට කියන්න තිබෙන්නේ. අපේ වෘත්තිකයෝ කවුරුවත් පීසීආර් කරන්න බැහැ කියලා නැහැ. අපිට තිබෙන සම්පත්වල ප්‍රමාණයට අපි පීසීආර් කරලා තියෙනවා. ප්රශ්නය තිබෙන්නේ පීසීආර් කරන්න බැරිකම නෙවෙයි, ඒ සඳහා පහසුකම් නැතිකමයි.
ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාග වලින් වත් පීසීආර් රසායනාගාරයක් පටන්ගන්න බැරිවෙලා තිබෙනවා. එයට සෞඛ්‍යය පරිපාලනය කරන වෛද්‍ය කළමනාකරණය වග කිවයුතුයි. ඒකට අපිට වග කියන්න බැහැ. කුරුණෑගල රෝහලට මැෂින් එකක් දීලත් තවම වැඩ පටන් අරගෙන නැහැ. ජාතික රෝහලට දීපු මැෂින් එක හරවලා යවලා. එවැනි තත්ත්වයක් තුළ සිදුකළ යුත්තේ මෙය හමුදාවට ලබාදීම නොවෙයි. රෝහල්වල හිඳිමින් දුර්වල කළමනාකරණයකින් කටයුතු කරන පුද්ගලයන්ට දඬුවම් කර ඉවත් කිරීම සහ වැඩ කරන්න හැකියාව ඇති අයට ඒ අවස්ථා ලබාදීමයි කළ යුත්තේ. වැඩ කරන්න බැරි අය ඉවත් කරලා ඒ වෙනුවට හමුදාවෙ අය දැම්මට අපිට ප්‍රශ්නයක් නැහැ.
කෝවිඩ් නිසා අනිකුත් රෝගීන් මිය යන තත්ත්වයක් හෝ කෝවිඩ් පසුව හඳුනාගන්නා තත්ත්වයක් ඇතිවෙමින් යනවා. ඉදිරියට එය වැඩිවෙන්න පුළුවන්. එය වළක්වන්න නම් කෝවිඩ් ආසාදිතයන් ඉක්මනින් හඳුනාගන්නා තත්ත්වයක් ඇති කළ යුතු වෙනවා. රට විවෘත කරනවා නම් ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීම බාහිර රෝගී අංශවලට පවරන්න. එහෙම කළොත් තමයි අනිකුත් රෝගීන් ආරක්ෂා වෙන්නේ සහ ඔවුන් ගැන අවධානය යොමු වෙන්නේ.
ප්‍රතිදේහජනක පරීක්ෂණ සම්බන්ධයෙන් දැන් බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේවා එක සමාගමකට පමණක් ලබාදීලා වැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කළා කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ප්‍රතිදේහ වලටත් ඒ දේම වෙනකල් ඉන්න එපා. එය පටන් ගන්න කවුරුහරි සමාගමක් ඇවිත් කොමිස් මුදලක් දෙනකම් ඉන්න එපා. රට විවෘත කරනවා නම් අනිවාර්යෙන්ම ප්‍රතිදේහ පරීක්ෂණ සූදානම්ව තිබිය යුතු වෙනවා. මේ වනතුරු එය නොකර ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කවුරු හෝ සමාගමක් කොමිස් මුදලක් ලබාදෙනකම්ද කියලා අපිට අහන්න සිදුවෙනවා.
වෛද්‍ය රසායනාගාර විද්‍යාව සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් තිබෙන තාක්ෂණ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලියි. එය ලබාගන්න ඔවුන් කැමැත්තක් දක්වලත් නැහැ. නිවැරදිව වැඩ කරනවා නම් දැනුමැති වෘත්තීය ආයතනවල උපදෙස් ගත යුතුයි. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන් කැමති නැහැ පීසීආර් පරීක්ෂණය හැර වෙනත් පරීක්ෂණ කරන්න. මොකද ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර නඩත්තු කරන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ගන්න ඇතැමුන්ට පෞද්ගලික රෝහල්වල රසායනාගාර තිබෙනවා. විවිධ උපකරණ ගෙන්වන සමාගම් තිබෙනවා. මේ නිසා තමයි මේ අකමැති වෙන්නේ. ඒකපාර්ශ්වීය නොවී මේ වසංගත තත්ත්වය මැඬපවත්වන්න කටයුතු කරන්න කියලයි අපි කියන්නේ.
popular news
Deepal Nirosh Monday, 09 November 2020 01:47 PM
මේ විවේචනය සත්‍ය හා සාධාරණයි, ඒ වගේම පහුගිය කෝවිඩ් සමයේ අරඹපු අරමුදලට වෙච්චි දේ ගැනත් සොයා බැලිය යුතුයි. දැන් ඒ ගැන වගේ වගක් නැහැ.
Reply : 0 0
Kumar Monday, 09 November 2020 10:01 PM
According to a relative in Sri Lanka the current spike is because the fisherman of Sri Lanka purchased the catch from the Indian fisherman out at sea. It is easier for the Indian fisherman to sell their catch at sea than trying sell in their local markets under current conditions. This story seems to be plausible.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd