නිවර්තන ශාකයක් වන කුරුඳු ශ්‍රී ලංකාවට ආවේණික ප්‍රධානතම කුළුබඩු භෝගයකි. එමෙන්ම සියවස් ගණනාවක් පුරා ලෝකයේ කුරුඳු ඉල්ලුමෙන් 80෴ක්ම සපයනු ලැබුවේද අප රට විසිනි. එය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් 2020 වර්ෂය වන විට කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකෙන් සියයට හැටකට (60%) වැඩි ආදායමක් ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව ජාතික ආදායමට එක්කර දීමට වත්මන් රජය අරමුණු කර තිබේ.
එකී අරමුණ පෙරදැරි කරගෙන ජාතික කුරුඳු සතිය පැවැත්වූයේ ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවටය. එය පසුගිය 7 වැනිදා සිට 11වැනිදා දක්වා ශ්‍රී ලාකේය කුරුඳු, සුව දිවියට - ධන සවියට යන තේමාව යටතේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාවට නැංවීය.
කුරුඳු කර්මාන්තයෙන් වැඩි නිෂ්පාදනයක් ලාංකේය කර්මාන්ත ක්ෂේත්රය තුළ සිදුකරන අතරතුර එහි ගුණාත්මයද නිරන්තරයෙන් වැඩිදියුණු කළ යුතුය. ඒ තුළින් වැඩි ලාභ පරාසයක් සහිතව යුරෝපීය වෙළෙඳ පොළ සඳහා ප්‍රවේශ වීමේ ඉඩකඩ පුළුල්කර ගැනීමේ හැකියාව අපට උදා වේ. ඒ සඳහා පර්යේෂණ අංශ තුළ තිබෙන නව තාක්ෂණික දැනුමත්, පාර්ශ්වකරුවන් සතු ශිල්පීය දැනුමත් ප්‍රායෝගික භාවිතයට එක්කිරීම මෙහි ප්‍රධාන අරමුණු විය.
අපනයන කෘෂි භෝග අතර කුරුඳු ශ්‍රී ලංකාවටම ආවේණික ජාතික උරුම භෝගයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතියක් පුරාවට පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සියලුම දැනුම හා තාක්ෂණය ඔවුන්ගේ ක්ෂේත්‍ර තුළදීම හෝ විශේෂ ඉදිරිපත් කිරීම් ප්‍රදර්ශනය කිරීම තුළින් එක්කිරීම මෙම ජාතික කුරුඳු ප්‍රවර්ධන මෙහෙයුමේ ඇති විශේෂත්වයයි.
වසර 1973 සිට ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පෙරගමන්කරු ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුනාගත හැකිය. එමගින් වසර 45ක ඉතිහාසය තුළ කුළුබඩු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක් උපයා ගැනීමට පසුගිය වර්ෂයේ (2017) සමත් විය. එය රුපියල් මිලියන 72,000ක ප්රමාණයකි. මේ සඳහා දායක වූ අපනයන කෘෂි නිෂ්පාදන පරිමාව මෙට්‍රික් ටොන් 60,000කි. කුරුඳු නිෂ්පාදනවලින් මෙට්‍රික් ටොන් 17,000ක් මේ සඳහා දායක වී තිබේ. මෙය මුළු අපනයන පරිමාවෙන් 28.5% පමණ ප්රතිශතයකි.
ලංකාවේ කුරුඳු කර්මාන්තයේ හදවත දකුණු පළාත ආශ්රිත වෙරළබඩ කලාපයයි. නමුත් වර්තමානයේ රත්නපුර හා මාතලේ යන දිස්ත්‍රික්ක තුළද කුරුඳු වගාව සාර්ථකව සිදුකරමින් පවතින අතර, දැනට දිවයින පුරාම කුරුඳු වගා අක්කර 75,000ක් පමණ ප්‍රමාණයක් ඒ ඔස්සේ අපට හඳුනාගත හැකිය.
වර්තමානය වන විට මෙම කුරුඳු කර්මාන්තය මත සෘජුව හා වක්‍රව යැපෙන පවුල් ප්‍රමාණය 300,000ක් පමණ වේ. ආර්ථිකමය වශයෙන් වටිනා මෙම දේශීය ලෝක උරුම භෝගයෙහි ඇති ඖෂධමය වටිනාකමද අතිමහත්ය. මෙවැනි වූ ආර්ථික, සමාජීයීය හා දේශයට අනන්‍ය වටිනාකම් තවත් පුළුල් කරමින් ශ්‍රී ලාංකේය කුරුඳු නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට දේශීය නිෂ්පාදනයේ පදනම තව තවත් සංවර්ධනය කර මෙම කර්මාන්තයේ ප්රතිලාභ සියලු පාර්ශ්වකරුවන්ට ළඟා කර දීමට පහසුකම් සැලසීම මෙම ජාතික කුරුඳු සතියේ තවත් එක් අභිමතාර්ථයකි.
ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරන ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා රත්නපුර යන ප්‍රධාන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් පැවති මෙම කුරුඳු සතිය තුළ විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය. මෙම වැඩසටහන්වලට සමගාමීව 10 සහ 11 යන දෙදින පුරා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළෙඳ පරිශ්‍රයේදී කෘෂිකාර්මික හා වෙළෙඳ ප්රදර්ශනයක්ද පැවැත්විණි. වැඩි අස්වනු හා ගුණාත්මක නිෂ්පාදන සඳහා නව තාක්ෂණය ලබාදීම, විදේශ වෙළෙඳ පොළ සඳහා ව්‍යාපාරික අවස්ථා සලසාදීම, ස්වයං රැකියා අවස්ථා සඳහා පුහුණුව, කුරුඳු වගාවේ උපරිම අස්වැන්නක් සඳහා උපදෙස් ලබාදිම, කුරුඳු වගා භූමියේ පාංශු පරීක්ෂාව, කුරුඳු වගාවේ රෝග පළිබෝධ පාලනය පිළිබඳ උපදෙස් ලබාදීමද මෙහිදී සිදුකෙරිණි.
මෙම සතිය පුරා කුරුඳු වගා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පුහුණු කිරීම්, වැඩමුළු හා ගොවි සායන ආදියද පැවැත්විණි.
එහිදී,
වැඩි අස්වනු ලබාගැනීමට හා ගුණාත්මක නිෂ්පාදන සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම.
ව්‍යාපාරික අවස්ථා ලබාදීම. ( නිෂ්පාදන කර්මාන්ත / අපනයන වෙළෙඳ පොළ)
ස්වයං රැකියා අවස්ථා සඳහා පුහුණුව.
කුරුඳු වගාවෙන් උපරිම අස්වැන්නක් ලබාගැනීම සඳහා උපදෙස්.
වගා භූමියේ pH අගය පරීක්ෂාව හා පාංශු සංවර්ධන නිර්දේශයන් ලබාදීම.
කුරුඳු අස්වනුවල ගුණාත්වය හා තෙතමනය පරීක්ෂාව.
කුරුඳු වගාවේ රෝග හා පළිබෝධ පාලනය සඳහා මගපෙන්වීම ආදිය සිදුකෙරිණි.
කුරුඳු කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා ගොවි සායන පැවැත්වීම, කුරුඳුවල අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අපනයන වෙළෙඳ පොළ පිළිබඳව ප්‍රායෝගික මගපෙන්වීම් ලබාදීම, මහජනතාව ගැවසෙන සතිපොළ, බස් නැවතුම්පොළ ආදී පොදු ස්ථානවලට ගොස් මහජනතාව දැනුවත් කිරීම, වගාකරුවන්ගේ ඉඩම්වලට ජංගම රථවලින් ගොස් අදාළ සේවා සැපයුම් ලබාදීම ආදී කටයුතු රැසක්ද එයට අමතරව මෙහිදී සිදුකෙරිණි.
කුරුඳු වගාව ආශ්රිත ප්‍රදර්ශනය 10 වැනි දින පාසල් ළමයින් සඳහා විශේෂයෙන් වෙන් කර තිබුණු අතර, 11වැනි දින කුරුඳු පාර්ශ්වකරුවන් සඳහා සහ මෙම කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන මහජනයා සඳහාද විවෘත කර තිබිණි. නව ව්‍යවසායකයන්, ආයෝජකයන්, කර්මාන්තකරුවන් හා අපනයනකරුවන් හමුවීමේ පහසුකම්ද සලසා දීම පමණක් නොව කුරුඳු නිෂ්පාදන, අගය එකතු කළ වෙළෙඳ භාණ්ඩ හා තාක්ෂණය ආදිය හා කුරුඳු නිෂ්පාදනවල ඇති නව්‍ය වටිනාකම් පිළිබඳ දේශන මාලාවක්ද පැවැත්විණි.
දේශන ශාලා තුළට සීමා නොවී ක්ෂේත්රයට ගොස් ප්‍රායෝගිකව මෙම වැඩසටහන සිදුකරන්න පුළුවන් වුණා
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 45 වසරක් තුළ, කුරුඳු වගාව තුළින් ඉතාමත් ඉහළ දායකත්වයක් අපනයන ආදායම ලබාගැනීම සඳහා හිමි වී තිබෙනවා. කුරුඳු වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමත්, කුරුඳු අපනයනයන් තිරසාරව පවත්වාගෙන යාමටත්, තවදුරටත් අපනයනය වැඩි කිරීම අරමුණු කරගෙන තමයි අපි මෙය පැවැත්වූයේ. ඒ යටතේ 7 සහ 8 යන දෙදින ඉතා සාර්ථකව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අපි පැවැත්වූවා. එමෙන්ම විවිධ වැඩසටහන්වලින් කුරුඳු වගා කිරීමේ වැදගත්කම, එහි අපනයන විභවය, තවදුරටත් ගුණාත්මක බවින් ඉහළ කුරුඳු නිෂ්පාදනයන් සිදුකරන්නේ කෙසේද? යහපත් නිෂ්පාදන පිළිවෙත්, යහපත් වගා කිරීමේ පිළිවෙත් පිළිබඳ හොඳ දැනීමක් වගාකරුවන් සිටින ස්ථානයටම ගොස් ලබාදීම මේ වැඩසටහන යටතේ අප සිදුකළා. දේශන ශාලා තුළට පමණක් සීමා වී තිබුණ දේශන මෙවර ක්ෂේත්රයට ගොස් ප්‍රායෝගිකව සිදුකරන්න පුළුවන් වුණා. ගාල්ල කරන්දෙණිය, උඩුගම යන ප්‍රදේශවලත්, කඹුරුපිටිය, හම්බන්තොට, රත්නපුර වැනි ප්‍රදේශවලත් මෙම ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. ඒ නිසා 7 හා 8 දෙදින තුළ විශාල උනන්දුවක් අපේ ගොවිමහතුන් තුළ තිබුණා. තෙවැනි දිනය පැවැත්වුණේ ජාතික කුරුඳු පර්යේෂණ ආයතනයේදී. එහිදී සොයාගත් නව තාක්ෂණයන් හා රෝග පළිබෝධ මොනවාද යන්න, කුරුඳුවල අගය එකතුකරගත් නිෂ්පාදන ආදී බොහෝ දේ පිළිබඳ දැනුමක් ලබාගන්නට කුරුඳු ගොවීන්ට හැකියාව ලැබුණා. ඒ වගේම 10 හා 11 යන දෙදින පැවැත්වූ ප්‍රදර්ශනය මෙම සතියේ බොහෝ සාකච්ඡාවට තුඩුදුන් දෙයක්. මෙහි වෙළෙඳ කුටි 30ක් පමණ තිබුණා. එහිදී කුරුඳු වගා කරන අන්දම, කුරුඳු වගාවේදී භාවිතයට ගන්නා උපකරණ ආදී මේ වගාව සම්බන්ධ බොහෝ කරුණු කාරණා අධ්‍යයනය කරන්න හැකි වුණා. වගාකරුවන් අතර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්ද එහිදී පැවැත්වුණා. අමාත්‍යවරුන් රැසක්ද මේ සඳහා සහාභාගි වුණා. මේ තුළින් කුරුඳු වගාව ආශ්රිත කර්මාන්තයේ නියැළී සිටින හැමෝටම තමන් සතු දැනුම අලුත් කර ගැනීමට ප්‍රථම වතාවට අවස්ථාව උදා වුණා.
විශේෂ ස්තුතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු මහත්මියට හා ලසන්ත අබේරත්න මහතාට.