මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙන බවට පසුගිය කාලයේ රාවයක් තිබුණද එය එසේ වූයේ නැත. මේ සම්බන්ධව හා වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව බුද්ධික පතිරණ මහතා සමග කළ සංවාද සටහනකි මේ.
? වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබේ අදහස
ඉතා පැහැදිලිව පළාත් පාලන මැතිවරණයේ ජනතාව දුන්න තීන්දුවෙන් පස්සේ එක් පැත්තකින් යහපාලන රජය විදියට සංශෝධන සිදුකරමින්, අනිත් පැත්තට ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එජාපය විදියට ප්රතිසංවිධාන සිදුකරමින් අදාළ ක්‍රියාමාර්ගවලට යනවා. ඒ නිසා යහපාලන රජය අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි බලාපොරොත්තුව, ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ.
?විද්‍යාත්මක පදනමක් මත සිදුකළ බව පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන මොකද හිතන්නේ
ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකතුවෙලා කරපු අමාත්‍ය මණ්ඩල සංශෝධනය යහපත් සාධනීය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි කළේ. එහි නියම ප්‍රතිඵලය ඉදිරි වකවානුවේදී දැකබලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ජනතාව ඒ සඳහා දක්වන ප්‍රතිචාර ඊළඟ මැතිවරණයේදී මැනගන්න පුළුවන් වෙයි.
?ඔබට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙන බවට මත පළවුවත් එසේ සිදුවූයේ නැහැ නේද
විවිධ අය විවිධ අදහස් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් පළකරනවා. නමුත් මම තනතුරු තානාත්තර පිළිබඳව මේ අවුරුදු 3දී කල්පනා නොකර වැඩ කරපු කෙනෙක්. ඉදිරියටත් ඒ දේවල් ලැබෙයි කියලා මම හිතන්නෙ නැහැ. මගේ කටයුතු කරගෙන යනවා. නමුත් මා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවත්, රට තුළත් මට සාධාරණයක් ඉෂ්ට වුණාද නැද්ද කියලා කතා කරනවා.
?සුජීව සේනසිංහ මහතා පසුගියදා පවසා තිබුණා වැඩක් කරන්න පුළුවන් අයට තනතුරු නොදී හාල්පාරුවන්ට ඇමතිකම් දුන්නා කියලා
ඒ සම්බන්ධව ඔබ සුජීව මහත්තයගෙන් විමසිමක් කරන්න. එතුමා කියපු දෙයක් ගැන මම කතා කරන එක සදාචාරාත්මක නැහැනේ.
? ඔබට තනතුරක් නොදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග සමීපව කටයුතු කරන නිසා බව ඇතැමුන් පවසනවා
නැහැ, සජිත් මහත්තයා ගාව හිටිය සියලු දෙනා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ඒ තර්කය වැරදියි. එතුමා සමග කටයුතු කරන නිසා මට තනතුරක් නොලැබෙනවා නම් තවත් බොහෝ පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර නොලැබෙන්න ඕන. ඒ නිසා ඔබේ තර්කය වැරදියි.
? ඔබ යම් කලකිරීමකින්ද ඉන්නේ
ඔබ අහන්නේ රටේ පවතින දේශපාලන ක්‍රමය නිසා කලකිරීමෙන් ඉන්නවද කියල නම් ඒකට පිළිතුර ඔව්. මොකද අවුරුදු 70ක් ආපසු හැරී බැලුවම සාධනීය ප්‍රතිඵල ලැබෙනවා වගේම රටේ සිදුවුණ යම් යම් ක්‍රියාමාර්ග පිළිබඳව මට කලකිරීමක් තියෙනවා. හැබැයි ඔබ සඟවා අහන්නේ තනතුරු තරාතිරම් නොලැබීම නිසා කලකිරීමෙන් ඉන්නවද කියල නම් ඒ ප්‍රශ්නයට උත්තරය අනේ නැහැ කියලයි. සමහර කෙනෙක්ට ආණ්ඩු බලය ආවාම, තනතුරක් නොමැති වීම නිසා සෑහෙන කලකිරීමක් තියෙනවා.
මට එහෙම නැහැ. මගේ දිනපොත හැමදාම පිරිලා පවතින්නේ. දිස්ත්‍රික්ක 5ක වැඩකරන ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මම. දෙස් විදෙස් ආයතනවලින් මුදල් ගෙනත් මහනුවර, ගම්පහ, හම්බන්තොට, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල මම ව්‍යාපෘති කරනවා. ඒ නිසා මට වැඩකරන්න තනතුරු අවශ්‍ය නැහැ. හැබැයි මට තනතුරක් නොලැබීම නිසා මාතර දිස්ත්‍රික්කයේ ජනතාව කලකිරීමෙන් ඉන්නෙ. මොකද ඒ අයගේ අවශ්‍යතාවන් මට ඉටුකරන්න නොහැකි වෙලා තියෙනවා. එහෙම වුණාම ජනතාව පක්ෂය එක්කයි කලකිරෙන්නේ.
? එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් රනිල් මහත්මයාට එරෙහිව කැරැල්ලක් නිර්මාණයකොට තිබෙනවා නේද
පළමු කාරණය මේ ප්රශ්නය වැරදියි. ඔබ කැරැල්ලක් ලෙස අර්ථ දැක්වුවාට මට එහෙම කියන්න බැහැ. නවක මන්ත්‍රීවරුන් විවිධ අදහස් මතු කරනවා. එහෙම කළා කියල එය කැරැල්ලක් කියල අපට කියන්න බැහැ.
?එසේනම් ඔබ විශ්වාස කරන්නෙ නැද්ද එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි කියලා
මම හැමදාම කිව්වේ නායකත්වයේ වෙනසක් නෙමෙයි, පක්ෂයේ කරුණු 7ක් සම්පූර්ණ කළ යුතුයි කියලයි. පළමු එක පක්ෂයේ ප්‍රතිපත්ති වරින් වර යාවත්කාලීන කිරීම, දෙවැන්න පක්ෂයේ ශාඛා යොවුන්, ලක්වනිතා සංවිධාන වඩාත් ශක්තිමත් කරමින් පුළුල් කිරීම, තුන්වැන්න පක්ෂයට අනුබද්ධිත විවිධ සංවිධාන වඩාත් විධිමත් ක්‍රමවේදයකට සකස් කිරීම, සිවුවැන්න පක්ෂයට දේශපාලන අධ්‍යාපන වැඩපිළිවෙළක් අවශ්‍යයි, පස්වැන්න පක්ෂයේ අරමුදල් යාන්ත්‍රණය වඩා ශක්තිමත් කළ යුතුයි, හය පක්ෂය තුළ අසංවිධිත කණ්ඩායම් වඩා සංවිධිතගත කිරීම සහ විදේශගත කණ්ඩායම් පක්ෂය වෙනුවෙන් එකතු කිරීම, හත පක්ෂයේ සියලුම තනතුරු ජනතාව පිළිගන්නා ආකාරයට සකස් කිරීමයි. මේ විදියටයි වෙනස් විය යුත්තේ.
?නමුත් මෙය මෙසේ සිදුවෙන්නේ නැහැ නේද? නායකත්වය ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා
නායකත්වයේ වෙනසක් කළ පමණින් මම හිතන්නෙ නැහැ පක්ෂය ජයග්‍රහණය කරයි කියලා. 2010 මැතිවරණයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය වුණා. ඒ හරහා මැතිවරණ දෙකක් ජයග්‍රහණය කරන්න ලැබුණා. දැන් අපට තියෙන්නේ මේ ලබපු ජයග්‍රහණය රැක ගැනීමයි. ඒ සඳහා මම කිව්ව කරුණු 7 ගෙනත් අවශ්‍ය ක්‍රමවේදය සකස් කළ යුතුයි.
?අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට බෙදී පවතිනවා. මෙය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද
ඒ සම්බන්ධව මම කතා කරන එක සදාචාරාත්මක නැහැ. ඒක ඒ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්.
?එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙක් නේද
ආණ්ඩුවේ හිටියට ඒක වෙනම පක්ෂයක්. එකම වත්තේ හිටියට අල්ලපු ගෙදර, අල්ලපු ගෙදරමනේ. අල්ලපු ගෙදර ගැන කතා කරන එක සදාචාරාත්මක නැහැ. නමුත් මම එක දෙයක් කියන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන තරමට එජාපයට හොඳයි. හැබැයි රටේ ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ගත්තොත් ප්‍රධාන පක්ෂයක් මීට වඩා ශක්තිමත් විය යුතුයි.
?16 කණ්ඩායම, පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන මේ සියල්ල 2020දී එකතු වුවහොත් එජාපයට කුමක් වේවිද
2020ට තව අවුරුදු එකහමාරක් තියෙනවා. ඔබට මතකද 2015 ජනවාරි 8 මැතිවරණය. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන් පොදු අපේක්ෂකයා වෙන්න සූදානම් කිව්වේ 2014 නොවැම්බර් 21. එතකොට මාස එකහමාරක කාලයකින් තමයි එතුමා ජනාධිපති වුණේ. ඉතින් දේශපාලනය පිළිබඳව දීර්ඝකාලීනව සමහර කාරණා සඳහන් කරන්න බැහැ. 2020 ආසන්න වෙද්දි ඒ අය එකතු වෙයිද, බෙදෙයිද, අපේ පක්ෂයේ තීන්දුව මොකක්ද කියලා රටට බලාගන්න පුළුවන් වෙයි.
?මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයා වෙත භාර දී තිබෙනවා නේද
ඒ සම්බන්ධව අපේ පක්ෂයේ තීන්දුව එක්ක මම ඉන්නවා. ගිය සතියේ තමයි ඒක කථානායකවරයාට භාරදුන්නේ. ඊට පසුව එය න්‍යාය පුස්තකයට යනවා. පසුව තමයි න්‍යාය පත්‍රයට එන්නේ. එසේ අවාම අපේ පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කරලා ඒ තීන්දුව අපි ගන්නවා.
?පසුගියදා අගමැතිවරයා මාධ්‍යට අනතුරු ඇඟවීමක් සිදුකළා. මාධ්‍ය ක්ෂේත්රයේ හිටපු කෙනෙක් විදියට මේ සම්බන්ධව ඔබේ අදහස කෙබඳුද
එය ඔබ අගමැතිවරයාගෙනුයි අහන්න ඕන. මොකද මම මාධ්‍යකරුවෙක් වගේම අගමැතිතුමා මාධ්‍ය පවුලකින් පැවත එන කෙනෙක්. එතුමාගේ සීයා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ. එතුමාගේ මව සහ පියා මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කළා. සහෝදරයන් දෙපළ මාධ්‍ය ආයතන දෙකක වගකීම් දරනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව මට වඩා දැක්මක් එතුමාට තියෙනවා.
?ඔබ අගමැතිවරයා සම්බන්ධව කතා කරද්දි බොහෝ ප්‍රවේශම් වෙනවා නේද
මම මොකටද ප්‍රවේශම් වෙන්නේ. එතුමාට මොකුත් බෝ වෙන ලෙඩක් නැහැ. ඒ නිසා මට කාගෙන්වත් පරිස්සම් වෙන්න දෙයක් නැහැ.
?එහෙනම් ඔබ සුජීව මහතා කියපු දෙයක් ගැන ඇහුවම එයත් ප්‍රතික්ෂේප කළානේ
මම සාමාන්‍යයෙන් අනුන්ගේ පිට්ටනිවල සෙල්ලම් කරන්නේ නැහැ. මම සෙල්ලම් කරන්නේ මගේ පිට්ටනියේ විතරයි. ඒ නිසා ඔබ මගෙන් මගේ පිට්ටනියට අදාළ දෙයක් ඇහුවොත් උත්තර දෙන්නම්. අනුන්ගේ පිට්ටනිවලට බැහැලා උත්තර දෙන්නෙ නැහැ.
?යහපාලන රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබේ අදහස
ඉතා පැහැදිලිව කෙටිකාලීනව, මැදකාලීනව සංවර්ධන ක්‍රියාවලියක නියැළිලා ඉන්නවා. හැබැයි සමහර වෙලාවට ප්‍රමාදයක් ඇතිවෙනවා. අර මහින්ද මහත්තයගේ කාලේ වගේ එක පැයෙන් සියල්ල පවරගෙන, පොලීසිය හමුදාව දාලා ඉඩම් අත්පත් කරගෙන කැලෑ නීතිය, කැන්ගරු උසාවි ක්‍රමවේදයක් නැහැ. අනිත් පැත්තෙන් සමහර නිලධාරීන් හිතාමතාම රජයේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කරන්න කටයුතු කරනවා.
?එවැනි සිදුවීමක් නිසා නේද ඔබ පසුගියදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගියේ
ඇත්තටම ඔව්. 2018 වර්ෂය සඳහා ආහාර බෙදා දීමේදී රුපියල් බිලියන 2ක ටෙන්ඩර් වංචාවක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධව මම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළා. මෙහි පිටුපස ඉන්නේ රජයේ නිලධාරීන්, ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා, තාක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා. මේ අය වැරදි තීන්දු ගන්නවා. මේ අය ඉතාම නිර්ලජ්ජ විදියට ආණ්ඩුවේ සල්ලි මංකොල්ල කනවා. මේක ඛේදවාචකයක්. සංවර්ධනය ඇතුළේ මේ වගේ දේවලුත් සිදුවෙනවා.
?පියාගේ දේහය නිවසේ තිබියදි පවා ඔබ මහජන සේවයේ නිරත වූ අයෙක්. මතක් කරමුද ඒ සිදුවීම
ඇත්තටම ජනතා නියෝජිතයෙක් කියන්නේ එහෙම කෙනෙක්ට. මගේ පියාගේ දේහය නිවසේ තිබියදී මම මාතර සංවර්ධන කමිටුවට සහභාගි වුණා. මගේ පවුලේ වගකීම් ඉටුකරනවා වගේම ජනතාව මට දීපු වරමක් තියෙනවා. එය මම නොපිරිහෙළා ඉටු කළ යුතුයි. මට අද වෙනකල් අපරාධ, අපචාර චෝදනා එල්ලවෙලා නැහැ. පාර්ලිමේන්තු රැස්වීමක් නැත්නම්, වෙනත් රජයේ කටයුත්තක් නැත්නම් මාතර ගෙදර උදේ 6.15 ඉඳන් මේසයක්, පුටුවක් තියාගෙන මම ජනතා ප්‍රශ්න විසඳනවා. ඕන කෙනෙක්ට කිසිදු අපහසුතාවකින් තොරව මාව හමුවෙන්න පුළුවන්. මම හිතන්නෙ ජනතා නියෝජිතයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්ටයි.