අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය සිදුකළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පිළිබඳ හද සසල කරවන තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබිණි.
පර්යේෂණ අංශය 2019 වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය අතර කාලයේදී ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය එක්ව මත්ද්‍රව්‍ය කමිටු හරහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත්පැන් පානයට, 301,898ක් කංසා පානයට, 92,540ක් හෙරොයින් පානයට, 24,211ක් මත්පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත්ද්‍රව්‍ය පානය කරන බවට සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1,613,777 දෙනෙකු සිගරට්, 1,063,383ක් මත්පැන්, 178,643ක් කංසා, 70,862ක් හෙරොයින් සහ 12,932ක් විෂ මත්ද්‍රව්‍ය දිනපතාම භාවිත කරන බවට මෙහිදී තහවුරු කරගෙන තිබිණි.
එසේම ලංකාවේ අවුරුදු 18ට අඩු කාන්තා හා පිරිමි බාල වයස්කරුවන් මෙන්ම 18ට හෝ ඊට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශ්වයම මත්පැන් සිගරට් හා නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබිබැහි වී සිටින බවද මෙයින් අනාවරණය කරගෙන තිබිණි.
මේ ශ්‍රී ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ පවතින එක් පැතිකඩකි. ශ්‍රී ලංකාවේ සියලු අංශ වහ වහා එක්ව මෙම ගැටලුවට විසඳුමක් සොයාගත යුතුව තිබේ.
මත්ද්‍රව්‍ය හා මත්පැන් හේතුවෙන් වරදකරුවන් බවට පත්වන පිරිසද අධිකරණය මගින් දඬුවම් ලැබ බන්ධනාගරගත වන පිරිසද මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේ සඳහා කළ හැකි එක් විසඳුමක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් එයින් මුදවාගැනීම වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමය. අනෙක් අතින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගද තවදුරටත් ශක්තිමත් කළ යුතු වෙයි.
නව රජය පත්වීමත් සමග ආරක්ෂක අංශ සඳහා මේ වනවිට මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන ලෙසට උපදෙස් දී තිබේ. මේ වසරේ ගත වූ දින කිහිපයේදී පමණක් නාවික හමුදාව අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය මෙට්‍රික් ටොන් එකකට ආසන්න වෙයි. ඒ අනුව රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම වෙනුවෙන් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
අපගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණක් වන්නේ බන්ධනාගාරය තුළ මේ වනවිට ක්‍රමයෙන් වැඩිවන තදබදය අවම කිරීමට කටයුතු කිරීමය.
මෙසේ බන්ධනාගාර ගත වී ඇති පුද්ගලයන් පිළිබඳ අවධානය යොමුකළ විට මහා පරිමාණ අපරාධකරුවන් අතර ඉතාමත් සුළු වැරදි මෙන්ම ඇතැම්විට අත්වැරදීම් හේතුවෙන් බන්ධනාගාරගත වීමට සිදු වූ සිදුවීම්ද තිබේ.
වැරදි අවස්ථාවක වැරදි ස්ථානයේ සිටීම හේතුවෙන් මෙන්ම විවිධ ගැටලු හේතුවෙන් වෙනත් අයෙකුගේ වරදක් භාරගනිමින් සිරදඬුවම් නියම වූවෙකු, නොදැනුවත්කමට වරදක් කළ හෝ නොදැනුවත්කම හේතුවෙන් අත්වැරදීම් කළ පිරිසක්ද මේ අතර සිටිති.
බන්ධනාගාරයේ තදබදය වැඩිවීමත් සමග ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ඇතුළු අනෙකුත් කාර්යයන් වෙනුවෙන් රජයට දැරිය යුතු වියදම්ද වැඩි වෙයි. එම මුදල බදු ගෙවන ජනතාවගෙන් වැය වන අතර, එසේ වැය වන්නේද ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් භාවිත කළ හැකි මුදල්ය.
බන්ධනාගාරය තුළ සිටින පිරිස් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කරමින් වඩාත් ඵලදායි කටයුතු වෙනුවෙන් දායක කිරීමේ හැකියාව පවතී. ඒ හරහා ඔවුන් රට සංවර්ධනය කිරීමේ වැඩසටහන සමග සක්‍රියව සබන්ධ කර ගැනීමේ අවස්ථාවද පවතී.
අනෙක් අතින් ශ්‍රී ලංකාවේ සිරකරුවන් බන්ධනාගාරගත කර ඇති සිරගෙවල්වල තත්ත්වය ඉතාමත් දුක්ඛිත වෙයි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර අතරින් මහින්ද රාජපක්ෂ රජය නිර්මාණය කළ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය පමණක් මේ වනවිට හොඳ මට්ටමක පවතී. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන වැකිය වචන දෙකකට පමණක් සීමා වූ වැකියක් බවට මේ වනවිට පත්ව තිබේ.
මේ පිළිබඳ ප්‍රායෝගික හා පෞද්ගලික අත්දැකීම්ද මට තිබේ. ඒ අනුව බන්ධනාගාරවල තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් මැදිහත් වන අතරම, බන්ධනාගාරගත වන පිරිස් අඩු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් මැදිහත් වීමට මම අපේක්ෂා කරමි.
එතැනින් නොනැවතී මේ පිළිබඳ රජයේ අවධානය ඉතාමත් ඉක්මනින් යොමු කිරීමට ගත යුතු පියවරද මම ගන්නෙමි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!